බෞද්ධ යතිවරුන් පංචස්කන්ධ වීම | සිළුමිණ

බෞද්ධ යතිවරුන් පංචස්කන්ධ වීම

ගලගොඩඅත්තේ ඥාණසාර හිමි විවෘත අධිකරණයේදී කාන්තාවකට තර්ජනය කර අපහාස කිරීම සම්බන්ධයෙන් අපරාධමය නඩුවක වරදකරු වූයේ මේ මෑතකදීය. එසේම ඇඹිලිපිටිය ප්‍රදේශයේ භික්ෂුවක අධිකරණයේ සිතාසියක් භාරදීමට ගිය පොලිස් නිලධාරියකුට පහර දී ඔහු මරාදැම්මේද මේ පසුගියදාකය. එසේම රුහුණ විශ්වවිද්‍යාලයේ නවක භික්ෂු ශිෂ්‍යයකුට නවකවධය දීමේ මුවාවෙන් නිරුවත් කර ශාරීරික හිංසනයකට පත් කළැයි තවත් භික්ෂූන් පිරිසක් චෝදනා ලැබුවේද මේ ඊයේ-පෙරේදා ය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ භික්ෂුවකද ළමා අපචාර වරදකට චෝදනා ලබා වැඩිකල් නැත. මේ තරම් අපරාධමය වරද සිදු වත්දීත් ඒ සම්බන්ධයෙන් භික්ෂූන් චෝදනා හෝ දඬුවම් හෝ ලබත්දීත් ඒ ඒ භික්ෂූන් සම්බන්ධ නිකාය කාරක සභා මුනිවත රැකීම අප වටහාගත යුත්තේ කෙසේද?

ගලගොඩඅත්තේ ඥාණසාර හිමි තම යතිවර භූමිකාව පසෙක ලා නොදැමුණු අ‍ෙයකු ලෙස හැසිරෙන්නට පටන්ගත්තේ සෑහෙන කලකට පෙර සිටය. වරක් නීතිමය තත්ත්වයන් උල්ලංඝනය කරමින් වාහනයක් ධාවනය කර අධිකරණයෙන් වරදකරු විය. එසේම බේරුවල, ගාල්ල හා මහනුවර ජාතිවාදි ගැටුම්හිදී ඒ ගැටුම් අවුළුවන්නට සහාය වීයැයි චෝදනා එල්ල විය.

මෙනයින් ඒ හිමිගේ හැසිරීම හා භාවිතය කිසි සේත්ම බෞද්ධ යතිවරයකුට ඔබින අන්දමින් පෝෂණය වී නොතිබිණි.

ඥාණසාර හිමි අවස්ථා කිහිපයක නිකාය මහානායකවරුන් හමු වී තම ව්‍යාපාරයේ කටයුතු පිළිබඳ උජාරුවෙන් කතා කළේය. එහෙත් ඒ උජාරුව තමන්ට ඌනනය කරගනිමින් මහානායක හිමිවරු ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට ආශීර්වාද කළා මිස, ඔහුගේ බෞද්ධවිරෝධි භාවිතාව ගැන වචනයක් හෝ නොකීහ. එය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඇගයීමක් විය; ධෛර්යසම්පන්න කිරීමක් විය. එනිසා පොදු සමාජයට ආ විට ඔහු තවතවත් සමාජවිරෝධි වැඩවලම යෙදිණි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ භික්ෂු සංස්ථාව තම තරුණ සංඝ පරම්පරාවේ හැසිරීම හා භාවිතය සම්බන්ධයෙන් සංවේදි නොවීම කනගාටුවට කරුණකි.

සංඝ සමාජය තම සාමාජිකයන් බරපතළ වැරදි කරත්දී නෑසු කනින් නුදුටු ඇසින් සිටීම බරපතළ සමාජ ව්‍යසනයකි. සංඝ සමාජය වරදින් මුදාගැනීම සඳහා ඊටම ආවේණක ස්වයං විනය මාලාවක් සංඝ සමාජයට තිබිය යුතුය. එසේම ඒ සම්බන්ධයෙන් කටයුතු කර වැරදි කරන සංඝ සමාජයේ සාමාජිකයන්ට දඬුවම් පැමිණවිය යුතුය. එහෙත් දන්නා ඉතිහාසය තුළ එවැන්නක් අසන්නට ලැබී නැත. විනයවිරෝධිව හැසුරුණු භික්ෂූන් කිසිම දඬුවමකට ලක් කර නැත.

බෞද්ධ සමාජය තුළ යතිවරයන්ට විශාල සමාජ බලයක් පවතී. ඒ බලය ගොඩනැඟී ඇත්තේ සමාජ සංස්කෘතියත් සමඟය. බෞද්ධ සමාජයේ යතිවරයා සමාජ නායකයෙකි. ජන ජීවිතයේ පැනනඟින ඕනෑම ප්‍රශ්නයකට ගිහියන් දිව යන්නේ බෞද්ධ යතිවරයා වෙතය. මරණයකදී, මඟුලකදී, අසනීපයකදී හා වෙනත් ඕනෑම සමාජ ගැටලුවකදී ගැමියා පිහිට පැතුවේ බෞද්ධ යතිවරයාගෙනි. එහෙත් ඒ යතිවරයා තම සතුව තිබූ මහජන ගෞරවය හා විශ්වාසය බරපතළ ලෙස බිඳගෙන තිබේ. මේ වන විට විශාල සමාජ බලයක් හා විශ්වාසයක් ගොඩනැඟී තිබූ පන්සලේ යතිවරයා හාස්‍යයක් බවට රූපාන්තරණය වී ඇත.

උඩකැන්දවල සිරි සරණංකර, මහාචාර්ය වල්පොල රාහුල, පොල්වත්තේ බුද්ධදත්ත හා හේන්පිටගෙදර ඥාණසීහ හිමිවරුන් දැන් සමාජය තුළ නැත. ඔවුන් අරගල කළේ සමාජ විමුක්තිය උදෙසාය. එමඟින් අවධාරණය කළ යුත්තේ ජීවිත විමුක්තිය සඳහා යතිවරයකු අනිවාර්යෙන් තම ජීවිතය කැප කළ යුතු බව නොවේ. එහෙත් ඒ යතිවරයා සමාජ විමුක්තිය උදෙසා හෝ අවම වශයෙන් අරගල කළ යුතුය. අතීතයේ සමාජ නායකයන් ලෙස බෞද්ධ යතිවරුන් මහජන අවකාශය තුළ දීප්තිමත්ව බැබලළුණේ එබැවිනි.

දැන් ඉන්නා වූ බහුතරයක් භික්ෂූන්ට මහජන අවකාශය තුළ පිළිගැනීමක් නැත. ඊට හේතුව ඔවුන් තුළ බෞද්ධ ශීලය හෝ කිසිම විෂයයක දැනුමක් හෝ නැති නිසාය. එසේම ඔවුන් සමාජය වෙනුවෙන් මහන්සි වී වැඩ කර, මහජන ආදරය හෝ දිනාගෙන නැත. මේ බහුතරය සමාජ ප්‍රභූන් බවට පත්ව ඇත්තේ පාදඩ සමාජය තුළ මැද පාන්තික අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙනි. එනිසා එවැනි භික්ෂූන් අග-නාගරික කොළඹ සමාජයේ ප්‍රබල සිවිල් බලයක් ගොඩනඟාගෙන ඇත. එහෙත් ඔවුන් සතුව ධර්මය හෝ වෙනත් විෂයයක ප්‍රවීණත්වයක් නැත.

බෞද්ධ සමාජය තුළ මේ ධ්රුවීකරණය වී ඇති බෞද්ධ දර්ශනයෙන් පිටස්තර සිවුරුධාරි චරිතවල ආධිපත්‍යය අවලංගු කළ යුතුව ඇත. එසේ නොවන්නට සමාජය තුළ විශාල විනාශයක් ඇති කරනු ලබන්නේ මේ සිවුරුධාරි පංචස්කන්ධයන් විසිනි. ඒ භාවිතාව අහෝසි කරන්නට නම් එහි උභතෝකෝටිය ප්‍රශ්න කළ යුතුව ඇත. එය කළ හැක්කේ බුද්ධිමත් සමාජයට පමණි.

 

Comments