සමාජයට අලුත් ආකෘතියක් අවශ්‍යයි | සිළුමිණ

සමාජයට අලුත් ආකෘතියක් අවශ්‍යයි

සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් වඩාත්ම උනන්දු වී ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගිවිසුම සම්බන්ධයෙන් විරෝධය පා පසුගිය සිකුරාදා වැඩවර්ජනයක් කැඳවා තිබිණි. ඒ අනුව රට පුරා රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා අසරණ රෝගීහු ලක්ෂ ගණනක් පීඩාවට පත් වූහ.

කිසිම හේතුවකට වැඩවර්ජනය කිරීමේ අයිතිය සෞඛ්‍ය සේවාවට හිමි නොවිය යුතු අයිතියකි. එවැනි වැඩවර්ජන නිසා පීඩාවට පත් වන රෝගි ජනතාව සුවපත් කිරීම, වෙනත් වැඩ වර්ජනයකින් සිදු වන ආර්ථික හානියක් ප්‍රතිපූරණය තරම් පහසු දෙයක් නොවේ. එහෙත් කුමන හේතුවක් නිසාවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩවර්ජන තහනම් කිරීමට රජය පෙලඹෙන්නේ නැත. කළ යුත්තේ එවැනි වැඩවර්ජන තහනම් කර, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්මික ආරාවුල් විසදීමට පූර්ණ බලැති කොමිසමක් පත් කිරීමයි. එබඳු පියවරක් නොගන්නා තාක් රෝගීන් පත් වන අසරණකමට රජයද වගකිව යුතුය.

එහෙත් එසේ රෝගීන් පීඩාවට පත් වන විට ප්‍රශ්නය විසඳීම රජයේ වගකීමක්යැයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කල්පනා කිරීම වගකීම් විරහිතය. රජය පවතින්නේ ප්‍රශ්න විසඳීමට බව සත්‍යයකි. එහෙත් නානාප්‍රකාර විෂයයන්ට අදාළ ගැටලු පෙන්වමින් වැඩවර්ජනය කරන වගකීම් විරහිත හැසිරීමකදී ඒ වගකීම පවතින්නේ රජයට පමණක් නොවේ. සමාජය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී වෘත්තීයවේදි සංවිධානයකට සමාජ වගවීමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අමතක කිරීම භයානක අත්දැකීමකි.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ආර්ථික ගිවිසුමක් හුවා දක්වමින් වැඩවර්ජනය කිරීම ආචාරධාර්මික වරදකි. එහෙත් වෘත්තීයවේදි සංවිධානයක් ලෙස එවැනි දේශපාලන කරුණු සම්බන්ධයෙන් උනන්දු වීම ප්‍රශස්තය. ප්‍රශ්නය වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ආර්ථික ගිවිසුම් සම්බන්ධයෙන් වඩා පුළුල් දැක්මක් නොවීමත් ඒ සම්බන්ධයෙන් ගෝත්‍රවාදිව කටයුතු කිරීමත්ය.

ලෝකය මහා බලවතුන් දෙදෙනා වටා ධ්රුවීකරණය වූ යුගය අවසන් වී දැන් ආර්ථික කණ්ඩායම් (Economic Blocs) ලෙස අලුතින් සකස් වෙමින් තිබේ. ඒ සකස් වීම තුළ ආර්ථික ගිවිසුම් ඇති වීම තාර්කිකය. ඒවා ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික විය හැකිය. කුමන පාර්ශ්වික වුවත් ආර්ථික වශයෙන් එකට එකතු වීම අවශ්‍යම කරුණකි. ලෝකය තුළ අනාගතය රැඳී ඇත්තේ ඒ එකතු වීම තුළය.

වහල් බැමි බිඳ වැඩවසම් ක්‍රමය ඇති වන විට සමාජ සංවර්ධනයේදී එය ඉතා වැදගත්ය. එහෙත් එවිටද යම් යම් සමාජ කණ්ඩායම්වලට අසාධාරණයක් සිදු වේ. වහල් බැමි බිඳෙන විට වහල්හිමියාටත් ඔහුගෙන් යැපෙන්නාටත් අලුත් මඟක් සොයාගැනීමට සිදු වේ. එහෙත් ඒ නිසා වහල් බැමි බිඳී යෑම ප්‍රශස්ත නොවන්නේයැයි කිසිවකුටත් කිව නොහැකිය. ඒ අන්දමින්ම පවතින ක්‍රමය බිඳවැටී අලුත් ක්‍රමයක් ඇති වන විට සියලු දෙනා අලුත් සන්දර්භයට සූදානම් විය යුතුය.

පවතින වෙළෙඳපළ රාමුව බිඳදමා අලුත් වෙළෙඳපළක් බිහි වන විට අගතියට පත් වන පිරිසක්ද වෙති. එහෙත් ඒ නිසාම අලුත් වෙළෙඳපළෙන් ඇති කරන සමාජ සංවර්ධනය ප්‍රතික්ෂේප කළ නොහැකිය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තේරුම් ගෙන ඇත්තේ පවතින වෙළෙඳපළ බිඳවැටීමේදී සිදු වන අලාභය ගැන පමණි. අලුත් වෙළෙඳපළක් බිහි වන විට සිදු වන වාසිය ඔවුන් තේරුම් ගෙන නැත. එය ගෝත්‍රවාදි ආකල්ප නිසා සිදු වන්නකි.

සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම පමණක් නොව, කුමන වෙළෙඳ ගිවිසුමක් ක්‍රියාත්මක වුවද පවතින සන්දර්භය වෙනස් වීම වැළැක්විය හැක්කක් නොවේ. එහෙත් ඒ නිසා අලුතින් නිර්මාණය වන වෙළෙඳපළ වාසිය බැහැර කළ නොහැකිය. ප්‍රශ්නය වන්නේ පැරණි වෙළෙඳපළ වරප්‍රසාද ගැන ඇති වන උනන්දුව අලුත් වෙළෙඳපළ වාසි සම්බන්ධයෙන් ඇති නොවීමයි. ඊට හේතුව අලුත් සන්දර්භයට නිර්මාණාත්මකව මුහුණ දෙන්නට හැකියාවක් නොවීමයි.

පවතින ආර්ථික සන්දර්භය කුඩුපට්ටම්වී විනාශ වී යෑමම ප්‍රගතිශීලිය. එවිට අලුත් සන්දර්භයක් සඳහා ආකෘතියක් නිර්මාණය වේ. එය පසුගාමි රටක පිළුණු වූ භාවිතාවකට අවශ්‍යම දෙයකි. එවිට සමාජයක ආකල්පද යළි සකස් වේ. ආර්ථික ව්‍යූහයක් යළි සකස් වන විට රටක සමාජයක ආකල්ප හා මිනිස් පරිකල්පනා සියල්ල ඒ අනුව වෙනස් වේ. ඒ සඳහා සමාජය සූදානම් වීම අත්‍යවශ්‍ය කරුණකි.

-අබරන්

[email protected]

Comments