ජන්ම සිය­වස සම­රන කොළඹ යුගයේ කවියෝ | Page 2 | සිළුමිණ

ජන්ම සිය­වස සම­රන කොළඹ යුගයේ කවියෝ

හෙළ සාහිතයේ කොළඹ යුගය යනු කවියේ පෙරළිකාර සමයෙකි. එහි ඇරැඹුමට පෙරාතුව බොහෝ විට කවි ලියැවුණේ ආගමික පණිවිඩ, ජාතික ප්‍රබෝධය, නිදහස් සටන, දේශීයත්වය, සාරධර්ම යන මාතෘකා ඔස්සේ ය. එහෙත් කොළඹ යුගයේ කවියෝ එම සීමා වැට කඩොලු බිඳ හෙළූහ. සොබා සිරිය, ගැමිකත, වනරොද, ඇළ දොළ ඔහුට රස මැවූ මාතෘකාවෝ වූහ.

මේ බොහෝ කවීහු එක ම කාල පරාසයක් තුළ ජන්ම දායාදය ලද්දෝ ය. අද ඉන් කිහිප දෙනෙකු පිළිබඳ පමණක් මේ සටහන තබන්නේ අනෙක් සියලු කවීන් කෙරෙහි වන බැතිබර ගරුත්වය ද සමඟිනි.

ආදායම් පාලක නිලධරයකු ලෙස ‍ෙස්වය කළ විමලරත්න කුමාරගම කවියා සොඳුරු වන පෙත, දිළිඳු දිවි පෙවෙන ඇසුරු කර ගනිමින් මනරම් පද වැල් ගෙතුයේ අපූරු අයුරිනි. එතුමා වන්නියේ දිවි පෙවෙත, අයියනායක දෙවිඳු අඩවිය පිළිබඳ ලියූ කවියෙන් මතු වූ මිහිර අපමණ ය. කුමාරගමයන් උපත ලද්දේ 1919 ජනවාරි මස 18 වන දින යි. අප මේ ගෙවන්නේ එතුමන් ගේ ජන්ම සියවසයි.

කපිල ඊ. සෙනෙවිරත්න කවියා 1818 - අගෝස්තු මස 22 දින උපත ලද්දෙකි. කවි කලාව ජන්මයෙන් ම උරුමව පැමිණි ඔහුට වයස අවුරුදු හතරේ දී සිය මව අහිමි වෙයි. කපිල කවියා ද තුරුණු වියේ දී ළය රෝගයකින් ඔත්පළ වූයේ ය. එහෙත් ඔහු ගේ කවි මිහිර ඔත්පළ වූයේ නොවේ. ඔහු දිගට ම කවි ලීවේ ය. සිය මව මිය ගොස් තිස් වසරක් ගෙවුණ ද ඔහුට එය දැරිය නොහැකි වේදනාවට ‍ෙහ්තුවකි. ලෙඩ ඇ‍ඳේ සිට ඔහු එය සිහිපත් කළේ මෙසේ ය. “තිස් වසරකට පෙර දවසක ඇහැළ මහේ මගෙ මව මළා... යනුවෙනි. එම පද වැල ලියා සුළු දිනෙකට පසුව ඔහු ද දිවියෙන් සමු ගත්තේ වයස අවුරුදු තිස් හතරේ දී ය.

කොළඹ යුගය ගැන කතා කරන විට මීමන ප්‍රේමතිලක යනු සැබෑ ම යෝධයෙකි. පුවත්පත් කලාවේදියකු, සිළුමිණ ප්‍රධාන කර්තෘවරයකු ලෙසින් ජන මාධ්‍යයට ද ඔහුගෙන් සිදු වූයේ අපරිමිත මෙහෙයකි. ගැමි සිරිය, ශෘංගාරය, විරහව, බොදු බැතිය, ආදරය ඈ විවිධ තේමා ඔස්සේ ඔහු රචනා කළ කවි ලක්ෂ ගණනකි. ඒ කවි මිහිර සදාකල් රස විඳිය හැකි ය. එක් දහස් නවසිය හැට ගණන්වලදී ඔහු විසින් සංස්කෘතිය කළ නවීන පද්‍ය රචනා සංග්‍රහය අපොස සාමාන්‍ය පෙළ විෂය පුස්තකයක් ද විය. පොත්පත් රැසක් කළ ඔහු තම ජීවිතය අලළා ලියූ ‘මගේ ප්‍රේමය කලාව සහ ජීවිතය හරබර රසබර ග්‍රන්ථයකි. කිසිවකුටත් නොවූ දැක්මක් වූ මීමන කවියේ සදා ජීවමානය.

1918 දී කළුතර දිස්ත්‍රික්කයේ නෑබඩ දී උපත ලද එච්.එම්. කුඩලිගම කවියා ද සැබෑ සොඳුරු මිනිසෙකි. පියකරු පෙනුමෙන් හෙබි ඔහු පියකරු අදහස් කවියෙන් ලොවට දායාද කළේය. සිංහල ෂෙලී නම් විරුදාවලියෙන් හැඳින්වුණු කුඩලි, පී.බී. හා සිළුමිණ පුවත්පතින් කවි සංවාද තුළින් මතු කළ මිහිර අපමණය. පී.බී. උපන්නේ 1917 දීය.

මේ අයුරින් අපට සිහිගැන්විය හැකි ආදරණීය කලාකරුවෝ කවියෝ බොහෝ ය. අප මේ සටහන තැබුවේ කොළඹ යුගය රසෙන් මිහිරෙන් වෙළූ ජන්ම සියවස සපුරණ කවියන් කිහිප දෙනෙකු සම්බන්ධව ය. අප අතර යළි ඉපිද කවි රසය බෙදීමට මේ මහ කිවිවරුනට වරම් ලැබේවායි අපේ පැතීමයි.

Comments