නෝක්කාඩු බැල්මක් කිය­න්නෙත් නිර්මා­ණ­යක් | සිළුමිණ

නෝක්කාඩු බැල්මක් කිය­න්නෙත් නිර්මා­ණ­යක්

ගලා එන්නේ - ගලා එන්නේ

මගේ සිතුවිලි දහර ඔස්සේ

ඈත මුහුදේ රැල්ල මැද්දෙන්

ඈත අහසේ නිල්ල මැද්දෙන්

සීත කඳුවැටි - පාළු මීදුම්

සීත කඳුරැලි - සෝක කඳුළැලි

කෙරෙන් මතු වී ගලා එන්නේ

මගේ හදවත වෙතට එන්නේ

නඟා අත් යුග - සලා ඉඟ සුඟ

පවා මඳහස - වවා සෙනෙහස

කොයින් දෝ ඔබ හමා එන්නේ...

සේකරයන්ට කවි සිතිවිලි ගලා ආවේ එසේ ය. ඒ නිර්මාණාවේශය සිතෙහි ජනිත කරවන ආහ්ලාදජනක බව සම කළ හැක්කේ කුමකට ද? වැව් තාවල්ලක ඉර බැස යන නිමේෂයේ සිතට නංවන ශෝකාකුල විරහව වරෙක ගීයක් විය හැකි ය. රෑ මැදියමේ සේපාලිකා මල් පිපෙන්නට අරඅඳින නිමේෂය සුපහන් ගී පදයක් සිතේ නින්නාද කරනු ඇත. ගොම්මන් අඳුර විනිවිද හිත කීරිගස්වමින් ඇසෙන උලලේනාගේ විලාපය තවත් කවි සංකල්පනාවක් ඇති කරනු විය හැකි ය. නිර්මාණකරුවාගේ මනසේ අදහසක් උත්පාදනය වීමට මේ කුමක් ම හෝ හේතුකාරක විය හැකි ය.

ලියෝ ‍‍ටොල්ස්ටෝයිට කඩිසි-මුරටි නම් රමණීය කතාව ලිවීමට අදහස් පහළ වූයේ කඩා බිඳ දමා තුබුණු බර්ඩොක් පඳුරක් දැකීමෙනි. ටොල්ස්ටෝයි කොකේසස්හි කලක් ජීවත් ව නොසිටියේ නම්, කඩිසි-මුර‍ටි පිළිබඳ කතාව ඒ වන විට අසා නොතිබියේ නම්, නිකම් ම නිකම් බර්ඩොක් පඳුරක් නිසා එකී කතාව පටබැඳීමට තුඩුදුන් සිතිවිලි ධාරාව පහළ නොවනු ඇත.

ඇන්ටන් චෙ‍කොෆ් වරක් තමා නිර්මාණකරණයට යොමු වූයේ කුමක් නිසා ද යන්න ගැන ලියූ සටහනක් මට කියවන්නට ලැබිණි. අප හිතමිත්‍ර කමල් පෙරේරා ලියූ ‘ඇන්ටන් චෙකො‍ෆ්’ නම් ග්‍රන්ථයේ ඒ බව මෙසේ සඳහන් වේ: “ඇත්තට ම මා ලිවීමට පෙලඹුණේ උපන් දා සිට ම අගහිඟකම්වලින් පිරුණ අපේ ජීවිතවලට පිළියම් සොයනු පිණිස ය.” එය එසේ වුව ද චෙකොෆ් නම් අපූර්ව ලේඛකයා පසු කලෙක ලොව පුරා සිටින බොහෝ නිර්මාණකරුවන්ගේ ඇගැයුම් සහගත අනුකරණයට ලක් වීමට තරම් සුදුස්සකු වූ බව ‍නොරහසකි.

චෙකොෆ් කොතරම් ආයාසයෙන් ලේඛනය හැදෑරුවේ ද යන්නට කදිම කතාවක් මා මතකයට නැ‍ඟේ:

වරක් මැක්සිම් ගෝර්කි ඇන්ටන් චෙකොෆ් හමු වීමට ගියේ ය. එවිට චෙකොෆ් සිටියේ ටොල්ස්ටෝයිගේ පොතක් අකුරින් අකුර පිටපත් කරමිනි.

“මේ පොත ‍වෙළෙඳපොළේ විකිණීමට තිබෙනවා! ඇයි ඔබ මෙය අතින් පිටපත් කරන්නේ?” ගෝර්කි ඇසී ය.

“මෙය අලෙවියට තිබෙන බව මා දන්නවා. මා මෙය පිටපත් කරන්නේ තවත් පොතක් අවශ්‍ය නිසා නො වෙයි. ඔබ දන්නවා නේ ටොල්ස්ටොයිගේ ලිවීමේ රටාවේ ඇති අපූර්ව බව? ඒ රටාව මට පොත කියවන විට හමු වනවා. ඊටත් වඩා මේ පොත පිටපත් කරද්දී මට එය හසු වනවා. මේ පොත පිටපත් කිරීමෙන් මා ඔහුගේ ලිවීමේ රටාව හඳුනා ගන්නවා...”

මේ කතාව මා කියැවූවේ දෙනගම සිරිවර්ධනයන්ගේ ‘පුවත්පත් විශේෂාංග රචනය’ නම් කෘතියෙනි.

නොබෙල් සම්මානලාභි ගාබ්‍රියෙල් ගාර්සියා මාර්කේස් ලේඛනයට පිවිසුණේ කෙසේ දැ යි ඔබ දන්නෙහි ද? ඔහු දිගින් දිගට ම එක් එක් වර්ගයේ පොත් කියවමින් තම ජීවන දිශානතිය සකසා ගන්නා අයුරු පිළිබඳ සිතමින් කල් ගෙවන අතරතුර, දිනක් ඔහුට ප්‍රාන්ස් කෆ්කාගේ රූපාන්තරණය නම් කතාව කියවන්නට ලැබෙයි. එහි සඳහන් වූ පරිදි අමුතු හීන දැකීමෙන් අනතුරු ව ග්‍රෙගර් සැම්සා ඒ උදෑසන අවදි වූයේ ය.

තමන් විශාල කුරුමිණියකු බවට පත් වී ඇති බව ඔහු දැන ගත්තේ එවිට ය. මාර්කේස් සඳහන් කරන පරිද්දෙන් ‘ඔහු ඇ‍ක්‍ෂෙන් බිමට නොවැටුණා පමණි!’ “මෙවැනි දේ ලිවිය හැකි යැ යි මා දැන සිටියේ නැත.” ඒ ඔහුගේ ප්‍රකාශය යි. ඉනික්බිති පසු දා සිට ම ඔහු ලියන්නට පටන් ගත්තේ ය. අද ගාබි්‍රයෙල් ගාර්සියා මාර්කේස් කොලරා කාලේ ආලේ බඳු කෘති රැසක් ලියා, විශ්ව සාහිත්‍යයේ සුවිසෙස් ලකුණක් තැබූ කීර්තිධර ලේඛකයකු බවට පත් වී සිටී.

එක් එක් ලේඛකයන් තම නිර්මාණ ගමන් මඟට ප්‍රවේශය ගන්නා විවිධ ක්‍රම තිබේ. එය අරුත්බර වදනක්, සිහිනයක්, නෝක්කාඩු බැල්මක්, ජලතරංග නංවන ගංගා දිය මතට වැටී දිදුලන හිරු කිරණක්, ප්‍රේමයෙන් වියෝ වීමක්... මේ කුමක් හෝ විය හැකි ය. මේ සිතිවිලි වරෙක නිසල ජලය මෙන් ශාන්ත ය; තවත් වරෙක කුණාටුවක් මෙන් චණ්ඩ ය; වරෙක අපමණ මෘදු ය; තවත් වරෙක ඊතල මෙන් හදවත් පසාරු කරන්නේ ය. ඒ කුමක් වුවත් එය ගසක මුලින් ම හට ගන්නා පලය මෙන් නැවුම් ය.

[email protected]

Comments