අනේ අපොයි පහේ සිංහල පොත | සිළුමිණ

අනේ අපොයි පහේ සිංහල පොත

 

අධ්‍යාපන සරසවියේ සුදු නෙලුම් පිපී ඇත. සරසවි දූ දරුවන් සිතින් සිපගත් මොහොතේ ජනිත උද්දාමයෙන් පෑන අතට ගතිමු. සරසවි දූ පුතුනට එසේ යහපත් ලෙස සලකද්දී පහ ශ්‍රේණියේ දරු දැරියන්ට මදි පුංචිකමක් කළෝ කවරහුද? පහේ ශිෂ්‍යත්ව විභාගය හේතු කොටගෙන අසරණ ගැමි දරුවෝ අදත් අප්‍රමාණ පීඩාවකට ගොදුරු වෙති. ගුරුවරුන් ලෙස පෙනී සිටින හිත් පිත් නැතිව මුදලට යට වූ ජාවාරම්කරුවෝ උපකාරක යැයි රෑ දහයටත් පන්ති පවත්වති.

මේ අසරණ ගැමි දරු දැරියන් ඇතුළු පහ ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සමස්ත දරුවන් උදෙසා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විද්වතුන් ලවා සැකසූ “සිංහල කියවීම් පොත” කෙරෙහි සැබෑ ගුරුවර ගුරුවරියන්ගේ නිසි අවධානය මෙතෙක් යොමු වී නැති ද? යොමු වූවත් ඔවුහු මුනිවත රකිමින් සිටිත් ද? මේවාට වැය කරන මහජන මුදල් හා ඒවායින්ම යැපීම උදෙසා මේවාට අරක්ගත් තැනැත්තන් තැනැත්තියන් සිංහල විෂයට කරන විනාශය දැක ඇස් කන් පියාගෙන සිටීම සුදුසු ද?

පහ ශ්‍රේණිය සිංහල කියවීම් පොතට ඇතුළත් ප්‍රධාන පාඩම් අතරට රස විඳීම් උදෙසා යයි පද්‍ය රචනා කිහිපයක් යොදා තිබේ. කොළඹ යුගයේ දෙවැනි පරපුර නියෝජනය කරන පී.බී. අල්විස් පෙරේරා විරචිත “පැසුණු පැන” පද්‍ය රචනයෙන් උපුටා ගත් පැදි සතරත් තුන්වන පරපුර නියෝජනය කරන ලක්ෂාන්ත අතුකෝරලගේ පද්‍ය රචනයකින් උපුටා ගත් පැදි දෙකත් කිසිම ගැටලුවකින් තොර ය. පළමු පරපුරෙහි ප්‍රවීණයා වූ කුමාරතුංග මුනිදාසයන්ගේ එක් පද්‍යයකින් සෑහී සිංහල භාෂාවෙහි අගය කියා පෑම ද අගය කළ හැකිය. එහෙත් ළමා සාහිත්‍ය උදෙසා රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පුද ලැබූ බව සඳහන් කරමින්, ඒ හේතුකොටගෙනම ලේඛක මණ්ඩලයටත් පිවිස සිටින විපුලි නිරෝෂණී හෙට්ටිආරච්චිගේ පැදි සතරෙන් අවසන් පද්‍යයේ ගැටලුවක් නොමැති ද?

“කඩපිල් සල්පිල් අස

බඩ කට පිනවන යස

කඩ කෑමෙන් නෙක රස

වැඩ වෙද පිරුණත් කුස”

මෙය මේ කෘතියෙහි ම ඇතුළත් සිය බස උගෙන එහි රසයෙන් මත් වන්න යැයි පවසන කුමරතුඟුවන්ගේ මතයට ගරු කිරීමේ මඟ සලසන්නක් ද? “කඩපිල් සල් පිල් යන වදන්වල අරුතෙහි වෙනස කුමක් ද?

මේ මොහොතේ අපගේ සිහියට ඇදී එන්නේ මාලිනී බුලත්සිංහල ගායිකාවගේ එක් ගී පදමාලාවකි. “තාර පාර දිග පාට පාට කඩ සල්පිල් සෙවණැල්ලේ” මෙය ඇසූ මුල් අවස්ථාවේම අප සමඟ සේවය කළ සිංහල පිළිබඳ ගරු කටයුතු දැනුමකට හිමිකම් කී හිමිනමකගේ මුවින් පිටවූ වදන් සමඟ මුවග නැගුණු අපහාසය මුසු සිනාව කිසිසේත් අමතක කළ නොහැකිය.

“ මොනවද අර ලියල තියෙන්නෙ?”

එවක අප සමඟ සිටි අද දවසේ පුවත්පතක සේවය කරන තවත් සිංහල ගුරුවරයකු ප්‍රකාශ කළේ ගීතය මැද්දට ලොකු කඩ හා පොඩි කඩ යැයි වරහන් ඇතුළත යොදන ලෙස ගායිකාව දැනුවත් කළ යුතු බවයි.

තවත් රස විඳීම් පද්‍යයක මෙවන් පාදයකි “ළහිරු හිරු එළිය නොවැ ගලන්නේ” ළපටි හිරුගේ හිරු එළිය නොවෙද ගලන්නේ යැයි පස්වෙනි ශ්‍රේණියේ දරුවාට කියා දීමට සිදු වන බවක් පෙනේ.

අධ්‍යාපනය වෙනුවෙන් පොත පත සකස් කිරීමේදී සිංහල පමණක් නොව, හැම විෂයයක් උදෙසාම මීට වඩා සැලකිලිමත් විය යුතු නොවේ ද? වෙසෙසින් ඉතිහාසය, භාෂාව, ආගම වැනි විෂයයන් කප්පාදු කර ඇති යුගයක මෙවන් අණ්ඩර දෙමළ කුඩා දරු දැරියන්ට නොදීමට වගකිව යුත්තෝ වගබලා ගනිත්වා.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන දෙන්නෝ කවර තැනැත්තෝ ද? මේවා ලබන්නෝ කවර කුසලතා ඇත්තෝ ද? යන්නත් මේ සමඟ ම අනාවරණය වන බව ද ලියා තැබීම වැදගත් යැයි හැ‍ඟේ.


 අතකස සම්මාන උලෙළ 26 දා

 

1935 අප්‍රේල් මස වික්ටොරියා උද්‍යානයේදී පි.බි අල්විස් පෙරේරා ,විල්සන් හෑගොඩ ප්‍රමුඛ කවියන් කිහිප දෙනෙකු ඇරඹු කොළඹ කවි සමාජය පසුව අගනුවර තරුණ කවි සමාජය ලෙස දෙස් විදෙස් ජනාදරයට පත්විය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්මත එකම කවි සමාජය වන අතකසය එදා මෙදා තුර සිංහල සාහිත්‍ය කවිය පෝෂණයට මහගු මෙහෙවරක් ඉටු කරන ලදි. 2020 ජනවාරි 26 දින උදෑසන 9.30ට දෙහිවල ඇස් ද ඇස් ජයසිංහ ශාලාවෙිදි පැවැත්වෙන එම උලෙළේදී කවිය සාහිත්‍ය පොෂණයට මහගු මෙහෙවරක් ඉටු කරන කවියන් ජනමාධ්‍යවෙිදීන් කලාකරුවන් 12 දෙනෙකු ඇගයිමට සුදානම්ය .

වත්මන් අතකසය ගෙන යන්නේ ඒ දවස අතකසය බැබැළවු බොරලැස්ගමුවේ විමලසිරි පෙරේරා ,විල්සන් හෑගොඩ , සේසිරි විජේසේකර යන මහා කිවිවරුන්ගෙ පුතුන් වන බොරැලැස්ගමුවේ ප්‍රනිත් පෙරේරා ,අනුර හෑගොඩ , ආසිරි විජේසේකර යන තිදෙනා ප්‍රමුඛ කණඩායමය. කලාකාමි සැමට එදිනට සහාභාගි වන්නට හැකි බව අතකස සමලේකම් ආසිරි විජේසේකරයන් දන්වා සිටි.

Comments