උඩරට ගිවිසුම කූට ලේඛනයක් | සිළුමිණ

උඩරට ගිවිසුම කූට ලේඛනයක්

  • මට ඕනම රජ­කෙ­න­කුගේ, නාය­ක­ය­කුගේ අස්සන දැක්ක ගමන් හඳුනාගන්න පුළු­වන්
  • 1815 මාර්තු දෙවන දින සිදු වූයේ උඩ­රට ගිවි­සුමේ වගන්ති කිය­ැවීම පම­ණයි
  • හරි වැරදි දැක දැකත් ආචාර්ය මහා­චා­ර්ය­වරුන් නිහඬව සිටියා
  • මේ ගැන මෙරට ඉති­හා­සය අධ්‍ය­යනය කරන අයගේ අව­ධා­නය යොමු­ව­නවා නම් වැද­ගත්

ලලිත් ගුණවර්ධන මහතා 1976 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධියක් ලබා 1977 වසරේදී ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට බැ‍ෙඳන්නේ ය. එදා සිට 2010 වනතෙක් වසර තිස්තුනක් අඛණ්ඩ ව එහි සේවයේ නියුතු වන ඒ ඔහු; එහිදී විහාරගම්, දේවාලගම්, නින්දගම්, තොම්බු ආදී පැරණි ලිපිලේඛන කියැවීම හා ඒවා සම්බන්ධයෙන් සිදුවන නඩු කටයුතුවලදී රජයේ සාක්ෂිකරුවකු ලෙස කටයුතු කළේය. පැරණි ලිපි ලේඛන කියැවීමේ මහත් අභිරුචියක් ඇති වූ නිසාම හේ පුරාණ ලේඛන පිළිබඳ ගැඹුරු දැනීමක් ඇති කර ගත්තේ ය. මෙනිසා ලංකා ඉතිහාසය පිළිබඳ බොහෝ දෙනා නොදත් තොරතුරු රැසක් දැනගැනීමට ඔහුට අවකාශ සැලසිණ. මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ ‘1815 උඩරට ගිවිසුම කූට ලේඛනයක්’ කෘතිය ජනගත වීම ය. මේ ඒ කෘතිය සම්බන්ධයෙන් ඔහු සමඟ කළ කතාබහකි.

මේ කෘතිය ලියන්න අවශ්‍ය පසුබිම සකස් වුණේ කොහොමද?

ලේඛනාගාරයේ ඇතැම් කටයුතු සඳහා නින්දගම්, විහාරගම්, දේවාලගම් පිළිබඳ කටයුතුවලට රජයේ සාක්කිකරුවෙක් විදියට මට උසාවි යන්න සිද්ධ වුණා. ඒ සම්බන්ධ ලිපි ලේඛන උසාවියට රැගෙන ගිහින් මේ සම්බන්ධයෙන් ඇත්ත නැත්ත පෙන්නන්න මට සිද්ධ වුණා. වරක් මට ශ්‍රී වික්‍රමසිංහ රජුරුවෝ එක්කරා දේවාලයකට කරපු පරිත්‍යාගයක් පිළිබඳ සන්නසක් පිළිබඳව කරුණු පැහැදිලි කරන්න සිද්ධ වුණා. එය පරික්ෂා කර බලා ඒ අස්සන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ නොවන බව මා ඔප්පු කර පෙන්නුවා. මොකද එහි තිබුණු කාල වකවානු අනුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවෝ අස්සන් කරන්න තියා ඉපදිලත් නැහැ. නඩුව අල්ලල විසි කළා. මේ විදියට බොහෝ අස්සන් පිළිබඳව හරි වැරදි ඉදිරිපත් කරමින් සාක්කිකරුවකු ලෙස කටයුතු කළේ මා යි. මෙවැනි කට යුතු කරගෙන යද්දි දේවාලගම්, විහාරගම්, නින්දගම් පමණක් නෙමෙයි අනෙකුත් ලිපි ලේඛන ගැනත් ලොකු දැනුමක් මට ලැබුණා. ඒ විදියට තමයි මේ කෘතිය ලියන්න මට පසුබිම සකස් වුණේ?

 

එවක හිටපු නායකයන්ගේ අස්සන් මේ මේ එ්වා කියල ඔය තරම් විශ්වාසයෙන් අඳුන ගන්න පුළුවන් වුණේ කොහොමද?

මට මේ පැරණි ලේඛන එක්කම කටයුතු කරල ඕනම රජකෙනකුගේ, නායකයකුගේ අස්සන දැක්ක ගමන් අඳුනා ගන්න පුළුවන්කමක් තිබුණා. රජුරුවන්ගේ අස්සනක් නම් ඒක ශ්‍රී කියල අත්සන් කරන්න ඕන. වර්ෂය ලියන්න ඕන ශක වර්ෂවලින්. මේ හැම ශ්‍රී අක්ෂරයක්ම එක හා සමාන නැහැ. සමහරු වළල්ලක් ඇතුළෙ අස්සන් කරවා. සමහරු අර්ධ කවාකාරව අස්සන් කරනවා. මේ අය කිසියම් සැරසිල්ලක් යොදමින් තමයි තමන්ගේ අස්සන තබා තියෙන්නේ. ඒ ඕන ශ්‍රී අක්ෂරයක් දැක්ක ගමන් මට මේක අහවල් රජ්ජුරුවන්ගෙ කියල කියන්න පුළුවන්. මේ වෙනකොට රජවරු 17 දෙනකුගේ අස්සන් සහිත ලේඛනයක් මා පිළියෙල කර තිබෙනවා.

 

මේ කෘතියට අදාළ නිමිත්ත ඔබට ලැබෙන්නේ කොහොමද?

ඇහැලේපොල විසින් ප්‍රධානය කළ නින්දගමක් සම්බන්ධයෙන් නඩු කටයුත්තක් සඳහා රත්නපුර උසාවියෙන් මට කැඳවීමක් ලැබුණා. මා එහි ගොස් ඒ නින්දගම් සන්නස කියෙව්වා. අස්සනත් හරි; වර්ෂයත් හරි, ඒ නිසා නිවැරදියි කියල කිව්වාම; අනික් පැත්තේ කෙනා නෑ ඕක වැරදියි මේ තියෙන්නේ නිවැරදි අස්සන කියලා.

ලොකු පටලැවිල්ලක් ඇති වුණා. මං නඩුකාර උන්නාන්සෙගෙන් හය මාසයක් ඉල්ලගෙන ලේඛනාගාරයට ඇවිල්ලා මුළු ලේඛනාගාරයම දෙවනත් කරා. එතකොට තමයි මට තේරුණේ 1815 ගිවිසුමේ තිබෙන අස්සන් ව්‍යාජ අත්සන් බව. මේකට කවුරුවත් අස්සන් කරල නැහැ. මං මුලින්ම කළේ මේ ගැන පත්තරයට ලියපු එකයි. ඒකෙන් පස්සේ විශාල කැළඹීමක් ඇති වුණා. ඒකට හේතුව තමයි මේ ගිවිසුම නීත්‍යානුකූල පිටපතක් කියලා ඒ දක්වා හැමෝම විශ්වාස කිරීම. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු හතරකින් මෙය පිළිගෙන තිබෙනවා. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ ගම්පල නඩුවයි.

 

එසේනම් ඒ නඩු තීන්දුවේදී ඉදිරිපත් කරල තිබුණේ සත්‍ය පිටපත නොවේද?

නැහැ. ඒ සිද්ධියේදී උසාවියට ඉදිරිපත් කර තිබුණේ පිටපතක් පමණයි. මෙහි සත්‍ය පිටපත හමු වුණේ 1984 අපේ දෙපාර්තමේන්තුවේ වෙනත් ලිපිගොනුවක තිබිලයි. ඒක කවුරුන් හෝ විසින් හිතාමතාම සඟවා තිබුණා. උඩරට ගිවිසුම අත්සන් පිටපත් කරමින් පිටපත් ගණනාවක්‌ නිකුත් කර තිබුණා. සැබෑ පිටපත හෙවත් මුල් පිටපත සොයා ගන්නකම් මේ ගිවිසුමේ අත්සන් ගැන නිගමනයක්‌ දීම දුෂ්කර වී තිබුණා.

1984 වර්ෂයේ ජාතික ලේඛනාගාර හිටපු අධ්‍යක්‌ෂ ආචාර්ය හරිස්‌චන්ද්‍ර ද සිල්වා මහතා මෙහි මුල් පිටපත සොයා ගත්තා. එ් පිටපත හා වෙනත් පිටපතක්‌ ආශ්‍රයෙන් පිටපත් දෙකක්‌ නිකුත් කර ඇති බව අපට වැටහුණා. මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතා උඩරට මහ කැරැල්ල තුන්වැනි කාණ්‌ඩයට ඇතුළත් කළ පිටපතත් ජාතික ලේඛනාගාරයේ ඇති මුල් පිටපතත් සසඳන විට පැහැදිලි වෙනසක්‌ හතර කෝරළේ දිසාව වූ පිළිමතලව්වේගේ අත්සන සම්බන්ධයෙන් අපට පෙනී ගියා. මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතාගේ ග්‍රන්ථයේ හතර කෝරළේ දිසාවේ වශයෙන් ඇති පිළිමතලව්වේ (කනිෂ්ඨ) අස්සන හුදකලාව ඇති අතර ජාතික ලේඛනාගාරයේ ඇති මුල් පිටපතේ මෙය වටා පොල් ගෙඩියක මෙන් පෙනුමක් තිබුණා. මේ ගිවිසුමේ පිටපත් දෙකක්‌ දෙයාකාරයෙන් පිටපත් වී ඇති බව ඉන් අපට තහවුරු වුණා.

මේ රටේ හිටිය බ්‍රිතාන්‍ය පාලකයෝ තමන්ගේ ලිපිවල මුල් පිටපත් යවන්නේ එංගලන්තේ පිහිටුවා තිබුණු යටත්විජිත මහලේකම් කාර්යාලයට. නමුත් ඔවුන් මේකේ විතරක් මුල් පිටපත නොයවා කොපියක් යැව්වේ ඇයි? කියන ප්‍රශ්නය අපට මෙතනදී මතු වුණා. ඔවුන් එකපැත්තකින් මේ රටේ රට වැසියා රැවැට්ටුවා; අනෙක් පැත්තෙන් එංගලන්තයත් රැවැට්ටුවා. මේ දෙගොල්ලන්ම මේ අය විසින් රැවැට්ටුවා.

ලස්සනම වැඩේ තමයි මෙහි මුල් පිටපත 1984දී හම්බ වුණාට පස්සෙ අපේ රටේ ආචාර්ය මහාචාර්යවරු එකතුවෙලා මේකේ ඇත්ත නැත්ත හරිවැරැද්ද හොයන්නේ නැතිව එවැන්නක් සිදු නොවූ ලෙස මුණිවත රැකීමයි.

 

1796 දී මුහුදුබඩ පළාත් ලන්දේසීන්ගෙන් අල්ලාගත් ඉංග්‍රීසින් ; 1815 පෙබරවාරි 18 වැනි දින ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගැනීමත් සමඟ මුළු රටේම පාලකයා බවට පත්වෙනවා. 1796 සිට 1815 දක්‌වා ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනය කරන් ඔවුන්ට ගිවිසුම් හෝ සම්මුතීන් අවශ්‍ය වුණේ නැහැ. එහෙම නම් මෙවැනි ගිවිසුමක්‌ ඔවුන්ට අවශ්‍ය වුණේ ඇයි?

මෙහෙම ගිවිසුමක් ඔවුන්ට ඕන වුණේ එවකට බලවත්ව සිටි උඩරට සිංහල ප්‍රධානීන් අවනත කර ගැනීමට අවශ්‍ය වූ නිසා. සිංහල ප්‍රධානීන් වටා ජනතාවත්, ආගමික නායකයනුත් සිටියා.

ඒ විතරක් නෙමෙයි හෙළ පුද සිරිත්වපට සම්ප්‍රදායන්වලට සංස්කෘතිකමය ආකාරයෙන් ඔවුන් බැදී සිටියා. මේ නිසා ද්වීපාර්ෂවීය ගිවිසුමක අවශ්‍යතාව ඉංග්‍රීසීන් තේරුම් අරන් හිටියා.

මේ සඳහා ඉංග්‍රීසින්ට තිබුණු හදිසිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගෙන සති දෙකක්‌ යන්න මත්තෙන් උඩරට ගිවිසුම සිංහල ප්‍රධානීන් ඉදිරියේ කිය­ැවීමෙන්ම පේනවා. මේ ගිවිසුම සකස්‌ කරන්න සිංහල පාර්ශ්වය පැත්තෙන් ඇහැලේපොල, කපුවත්තේ (පිළිමතලව්වේ), මොල්ලිගොඩ හා මිල්ලෑව දිසාවද සහභාගි වී අති බවත්; ඉංග්‍රීසි පාර්ශ්වය වෙනුවෙන් සිංහල භාෂාව පිළිබඳ මනා පරිචයක්‌ ලබා සිටි ඉංග්‍රීසි ආණ්‌ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තක ජෝන් ඩොයිලිත්; ආණ්‌ඩුවේ නියෝජ්‍ය ලේකම් වූ ඡේම්ස්‌ සදර්ලන්ඩ් මහතාත් ක්‍රියාකර තිබෙනවා.

ඒ සඳහා ඔවුන් යෙදූ උපාය මොකක්ද?

උඩරට ගිවිසුම ආරම්භ වන්නේ “ක්‍රිස්‌තු වර්ෂ එක්‌වා දහස්‌ අටසිය පහළොහක්‌ වූ මාර්තු මස දෙවැනි දින නොහොත් සිංහල වර්ෂ ප්‍රමාණයෙන් ශක වර්ෂ එක්‌වා දහස්‌ සත්සිය තිස්‌හයට පැමිණි අවුරුද්දේ නවම් මස අවසනවක්‌ තීර්ථය ලත් ගුරු දින...” යනුවෙන් සඳහන් කරමින්. මෙයට උඩරට මහජනතාව වෙනුවෙන් ඇහැලේපොල මහ නිලමේ, මහ අදිකාරම් හා සත් කෝරළේ දිසාව වූ මොල්ලිගොඩ, දෙවන අදිකාරම් හා සබරගමුවේ දිසාව වූ පිළිමතලව්වේ (කපුවත්තේ) සතර කෝරළේ දිසාව වූ පිළිමතලව්වේ (කනිෂ්ඨ) ඌවේ දිසාව වූ මොනරවිල, මාතලේ දිසාව වූ රත්වත්තේ, තුන් කෝරළේ දිසාව වූ මොල්ලිගොඩ (කනිෂ්ඨ), වලපනේ දිසාව වූ දූල්ලෑවේ, වෙල්ලස්‌සේ හා බින්තැන්නේ දිසාව වූ මිල්ලෑව, තමන්කඩුවේ දිසාව වූ ගලගම, නුවර කලාවියේ දිසාව වූ ගලගොඩ අස්සන් කළ බව සඳහන්ව තියෙනවා. මෙයට එංගලන්තයේ මහ රජු වෙනුවෙන් රොබර්ට්‌ බ්‍රවුන්රිග් ආණ්‌ඩුකරු අස්සන් තැබූ බවත්; එ් අස්සන් සහතික කරමින් ඉංග්‍රීසි ආණ්‌ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තක ජෝන් ඩොයිලි හා ඉංග්‍රීසි ආණ්‌ඩුවේ නියෝජ්‍ය ලේකම් ඡේම්ස්‌ සදර්ලන්ඩ් අස්සන් තැබූ බවත් සඳහන් කරනවා. මින් හැඟවෙන්නේ 1815 මාර්තු දෙවන දින සිදු වූයේ උඩරට ගිවිසුමේ වගන්ති කියැවීම පමණක්‌ බවයි. අස්සන් කරන ලද්දේ පසුව බව පෙනී යනවා.

සුප්‍රකට ඉතිහාසඥයකු වූ පෝල්.ඊ. පීරිස්‌ මහතා සිය Sinhala and Patriots ග්‍රන්ථයෙන් මෙසේ සඳහන් කරනවා. “භාෂා දෙකෙන්ම පැහැදිලි පිටපත් දෙක බැගින් පිළියෙල කිරීමට සිදු වූ නිසා ලේඛනයට අස්සන් තැබීමට දින කිහිපයක්‌ම ගත විය. සිංහල අස්සන්කරුවන් වූයේ අතරතුර විශ්‍රාමයේදී බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරවරයාගෙන් පත්වීම් ලැබු මහ දිසාපතිවරුන් හතර දෙනෙකුත් සුළු දිසාපතිවරු හයදෙනෙකුත් සහ මාර්තු 18 වන දින තම අත්සන ස්‌ථාපිත කළ ඇහැලේපොල දිසාවත් යන අය වෙති. යකඩ කුරක ආධාරයෙන් තල්පතක ලිවීමට පුරුදුව සිටි මේ පිරිසට පාත්තයකුගේ පිහාටුවක්‌ තීන්තවල ඔබා කොළයක ලිවීම නුහුරු අත්දැකීමක්‌ විය.” යනුවෙන් සඳහන් කරනවා.

ඔහු මේ වක්‍රොක්තියෙන් කියන්නේ පෑන වෙනස්‌ වූ නිසා අස්සන වෙනස්‌ වූ බව අපට පිළිගන්න කියලයි. උඩරට ගිවිසුම පැහැදිලි පිටපත් දෙක බැගින් යළි යළිත් සකස්‌ කිරීමට සිදු වූ නිසා අස්සන් කිරීම ප්‍රමාද වූණා කියලයි. එ්ත් මෙම ගිවිසුම 1815 මාර්තු 2 දිනට පෙරාතුව අවස්‌ථා ගණනක දී භාෂා දෙකකින් පිළියෙල කර තිබෙනවා. අස්සන්වල පවතින බරපතළ වෙනස්‌කම් ගැන ඔහුට අවබෝධයක්‌ ලබා ගැනීමට අවශ්‍ය අනෙක්‌ මූලාශ්‍රය නොලැබුණු බවක්‌ මේ කියමනෙන් සනාත වෙනවා.

මේ කරුණ සම්බන්ධයෙන් ‘උඩරට ගිවිසුම’ කෘතිය මඟින් නුවරඑළියේ හේමපාල මහතා මෙහෙම කියනවා. “ගිවිසුමේ දැක්‌වෙන ඇහැලේපොලගේ අස්සන රාජ්‍ය ලේඛනාගාරයේ වෙනත් ලේඛනවල ඇති ඇහැලේපොලගේ අස්සනට වඩා වෙනස්‌ය. ගිවිසුමෙහි එසේ අස්සන් කරන්නට ඇත්තේ තමා විසින් එසේ වැදගත් ලේඛනයක අත්සන් කිරීම නිසාත්, ආණ්‌ඩුකාර බ්‍රවුන්රිග්ගේ අත්සන ඇති පෙළේම තමා ද අත්සන් කරන නිසාත් විය හැකි යෑයි අදහස්‌ දැක්‌වීමට සිදුවනු ඇත.” මේ ඉතිහාසඥයා අපට සිතන්නට කියන්නේ ඇහැලේපොල බ්‍රවුන්රිග් ඉදිරියේ වෙව්ලවා ගිය බවයි. එහෙත් ඔහුගේ ක්‍රියා කලාපය විමසන්නකුට ඔහු නිර්භීත උඩරට ප්‍රධානියෙක්‌ බව තේරුම් ගන්න ඒතරම් අපහසු නැහැ. ඒනිසා මේය ඔවුන් හිතාමතාම කළ ක්‍රියාවක් බව අපට තේරුම් ගන්න පුළුවන්. මේ පිළිබඳව මෙරට ඉතිහාසය අධ්‍යයන කරන අයගේ අවධානය යොමුවෙනවා නම් එය ඉතාම වැදගත්.

Comments