න්‍යාය පත්‍රයක් නොමැතිව ගෙවුණ දවසක් | සිළුමිණ

න්‍යාය පත්‍රයක් නොමැතිව ගෙවුණ දවසක්

ගෙවුණු සතියේ පාර්ලිමේන්තුව පැවැතියේ එක් දවසකි. ඒ පසුගිය 5 වැනිදා ය. පෙර දින කිහිපයේ සිට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කටයුතු වර්ජනය කිරීම හේතුවෙන් ගෙවුණු පාර්ලිමේන්තු සභා වාරයට ඔවුන් කිසිවෙකුගේ සහභාගිත්වයක් දක්නට නොහැකි විය.

ඒ වන විට අභියාචනාධිකරණය විසින් අගමැති හා ඇමැති මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය තාවකාලිකව අත්හිටුවමින් රිට් අාඥාවක් නිකුත් කිරීම හේතුවෙන් රටේ තවත් කතාබහක් නිර්මාණය වෙමින් තිබිණි. ඒ නිසා පාර්ලිමේන්තුවේ කටයුතු වඩාත් උණුසුම්ව සිදුවෙතැයි බොහෝ දෙනා අපේක්ෂා කළද විපක්ෂය පමණක් නියෝජනය කිරීම හේතුවෙන් සවස් වන තෙක් පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවුණද එය එතරම් උණුසුම්ව නොපැවතිණි.

කථානායක කරු ජයසූරිය මහතාගේ මුලසුන හෙබවීමෙන් ආරම්භ වූ පාර්ලිමේන්තුවේ නිශ්චිත න්‍යාය පත්‍රයක් නොවූ අතර එදිනට පැවැත්වීමට තිබූ යෝජනාවද තාවකාලිකව ඉවත් කරන්නට විපක්ෂය කටයුතු යෙදීය. පාර්ලිමේන්තුව ආරම්භයේදීම පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අතර ඒ ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පාර්ලිමේන්තු ආවරණ කටයුතු සම්බන්ධයෙනි. පාර්ලිමේන්තු සභා වාරයන් පිළිබඳව සජීවි මාධ්‍ය අවරණයන් කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් ගුවන් විදුලි සංස්ථාවට මුදල් ගෙවූවද ඒවා නිසි පරිදි ඉටු නොවු බව කියවිණි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේ “ රාජ්‍ය මාධ්‍ය පාලනය කිරීමට ආයතන සභාපතිවරුන්ට බලයක් නැහැ. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් පාර්ලිමේන්තුවට ගෙන්නා රාජ්‍ය මාධ්‍ය පාලනය කරන ආකාරය ගැන සොයා බලන්න“ යනුවෙනි. එදින ජනමාධ්‍ය හැසිරීම ගැන මන්ත්‍රී මරික්කාර් , මන්ත්‍රි හර්ෂ ද සිල්වා මෙන්ම මන්ත්‍රී ජෝන් අමරතුංග ද කතා කළහ.

එදින පාර්ලිමේන්තුවේ සභාවාර කල් තැබිමේ විවාදයට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා රසවත් කතාවක් කළේ සභාවේ සිටි සැවොම සිනා ගස්සවමිනි.

එදින පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙකු අදහස් දැක්වූයේ විවිධාකාර දෝෂාරෝපණ ගෙන එමිනි. පසුගියදා පැවැති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදි ජනාධිපතිවරයා දැක්වු අදහස් ද ඊට ඉවහල් විය.

“ඊයේ සම්මේලනයේදි ගමරාල යැයි කියා ගන්නා කෙනෙක් රනිල් වික්‍රමසිංහ මහතාට බැණ වැදුණා.

මේ ගමරාල ලෙස පෙනී සිටින කෙනා කවුදැයි අපට සොයන්න සිදුවෙනවා.“ එසේ පැවැසූයේ මන්ත්‍රී නලින් බණ්ඩාරය. මේ අතර මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා චෝදනා කළේ තමන්ට හිමි වරප්‍රසාදයක් වකෙසේ වෙතත් පාර්ලිමේන්තුව කල්දැමීමේ සාකච්ඡාව ආරම්භ වීමට මත්තෙන් විවිධ මන්ත්‍රීවරුන් විසින් සිය කතා කරගෙන යෑම පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතාට රිස්සුවේ නැත.

ඔහු පැවැසුයේ එලෙස පැය ගණනාවක් තිස්සේ තමන්ගේ දුක් ගැනවිලි කියමින් කාලය කා දැමීම අපරාධයක් බවයි.

සභා වාරය කල්දැමීමේ විවාදයේදි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා රසවත් කතාවක් කළේය. ඔහුගේ ඒ කතාවේ සියලු උදාහරණ සපයා ගත්තේ පංච තන්ත්‍රයෙනි.

පාර්ලිමේන්තුව 12 වැනිදා සවස 1 ට කල් තැබිණි.

 

Comments