ජනපතිවරණය ළං වන විට පොහොට්ටුවට වන දේ බලාගන්න පුළුවන් | සිළුමිණ

ජනපතිවරණය ළං වන විට පොහොට්ටුවට වන දේ බලාගන්න පුළුවන්

පළාත් සභා මැතිවරණය කෙසේ හෝ ජනාධිපතිවරණයට පළමුව පැවැත්වීමට කටයුතු යොදන බව ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

පළාත් සභා විසුරුවීම ආරම්භ වුණේ 2017 වසරේ සිට උතුරු මැද, නැඟෙනහිර හා සබරගමුව විසුරුවා දැන් අවුරුදු එකහමාරකට ආසන්නයි. එතුමා තමයි එක්සත් ජාතික පක්ෂ රජයේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නායකයා වෙච්ච මේ රටේ අගමැති පුටුවේ රනිල් ඉන්න ආණ්ඩුවක් තියෙන්නේ. මේ අය දැන් කළ යුත්තේ රට ගෙනියන්න පුළුවන් අයකුට ජනතා විශ්වාසය තියෙන අයකුට පාලන බලය දීමට නීත්‍යානු කූලව ආණ්ඩුව විසුරවලා මහ මැතිවරණයක් පවත්වන එකයි.

එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් පවසා තිබුණා ජාතික ආණ්ඩු සංකල්පයකට යන්න බැරි වුණොත් මහ මැතිවරණයකට යා යුතු බවට...

බැරි වුණොත් කියන කතාවෙම තියෙනවනේ ඒකෙ පිටුපස තියෙන තේරුම මොකක්ද කියන එක. මේ ආණ්ඩුව හරියට දෙපැත්තට අදින ඔළු දෙකේ හරකෙක් වගේ. කෝ දැන් ජනාධිපතිතුමා පෙන්වන්න එපැයි බැඳුම්කර මගඩියෙ වාර්තාව? ඒක පෙට්ටගමේ දාගෙන ඉඳලා හරියන්නෙ නැහැනෙ. කොමසාරිස්වරුන් දීපු නිර්දේශ ක්‍රියාත්මක කරන්න ඕනනෙ.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙ ස්ථාපිත කරපු විශේෂ ජනාධිපති කොමිෂන් සභාව පහුගිය ආණ්ඩුවේ දූෂණ හොයන්න පත් කළා. එහිදී එම කොමිසමෙන් වාර්තා 33ක් ලබා දුන්නා. කෝ එක වාර්තාවකවත් නිර්දේශ ක්‍රියාත්මක වුණාද? තව දුරටත් මේ ආණ්ඩුවට ජනවරමට පිටුපාන්න දෙන්න බැහැ. ඒකයි මහ මැතිවරණයක අවශ්‍යතාව ඇති වන්නේ.

අපි ඔක්කොම එක ගමනක් එකට යනවා කියපු වාසුදේව නානායක්කාර මහතා පහුගිය මාධ්‍ය සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ මහතා දැඩි දෝෂ දර්ශනයට ලක් කළා...

තිරය පිටුපස යුද ගිනි තියෙන්නේ. මහින්ද රාජපක්ෂ ඉස්සරහට දාගෙන හිටියට එතුමාට ජනාධිපතිවරණයට එන්න බැහැ. ගෝඨාභය රාජපක්ෂට නඩු තියෙනවා. බැසිල් රාජපක්ෂට නඩු තියෙනවා. නාමල් රාජපක්ෂට නඩු තියෙනවා. මහින්ද රාජපක්ෂ සමඟ ඉන්න තව සැලකිය යුතු පිරිසකට නඩු රැසක් තියෙනවා. මේ සමහර නඩු දැන් අහන්න පටන් අරන් තියෙන්නෙ. ඩී.ඒ. රාජපක්ෂ සොහොන ගැන නඩුව අහන එකට විරෝධයක් පෑවේ ඇයි? තමන් නිර්දෝෂී නම් කඩිනමින් නඩුව අහල ඉවර කරන්න කියන්න එපායැ.

මේ ගිනි සේරම දැන් පත්තු වෙලා තියෙන්නේ. ශ්‍රීලනිපයයි පොහොට්ටුවයි ඩීල් එකක් දාගෙන ඉන්නෙ. ඒකෙ එක කෙළවරක් තමයි පොහොට්ටුව ආයිත් ශ්‍රීලනිපයත් එක්ක එකතු වෙලා ජන්දෙකට එනවද නැත්ද කියන එකක් බවට පත්වෙලා තියෙන්නේ. ඒකෙ එක ප්‍රතිඵලයක් තමයි ඔය පළාත් සභා මැතිවරණයක් ඕනෑ කියන එක.

පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඉන්නෙ බැසිල් එක්ක. පොහොට්ටුව අයිති බැසිල්ට. සන්ධානයත් ශ්‍රීලනිපයත් අයිති මෛත්‍රීට. දැන් ඒගොල්ල එකතු වෙලා බලනවා මහින්ද එක්ක එකතු වෙලා කරගන්න බැරිවෙච්ච දේ බැසිල් එක්ක එකතුවෙලා කරගන්න පුළුවන්ද කියලා. බැසිල් - මෛත්‍රී එකඟතාවකට එනකොට පොහොට්ටුවේ ගැටුම් වර්ධනය වෙනවා. පොහොට්ටුවේ පෙති එක එක ගැලවෙනවා. ඒක කවදාවත් පිපෙන්නෙ නැහැ.

වෙල්ගම එක පැත්තක බලාගෙන ඉන්නවා. බැසිල් - ගෝඨා තවත් පැතිවල ඉන්නවා. ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා මහින්ද නම් කරන්නේ නැහැ, මේ අර්බුදය නිසා. ඉස්සරහට තව හොඳ හොඳ දේවල් වෙයි.

ඔබ පක්ෂය දැඩි ලෙස උත්සාහ කරන්නේ විධායක ජනාධිපති ධුරය ඉවත් කරන්නයි. නමුත් ජනාධිපතිවරණයක් පළමුව ආවොත් එය පල රහිත වනවා නේද?

මේ අවස්ථාවේ කෙසේ හෝ පාර්ලිමේන්තුවේ බහුතරයෙන් ඒ තත්ත්වය ඇති කළ යුතුයි. පාර්ලිමේන්තුවට බලය ලබා දිය යුතුයි. අසීමිත බලතල ඇති විධායක ධුරය ඉවත් කිරීමට අප ගත හැකි හැම ප්‍රයත්නයක්ම ගන්නවා. මහ මැතිවරණයක් ලබාගැනීමත් ඒ සඳහා යම් හෝ මඟ පාදන ක්‍රමවේදයක්.

ජනතාව මෙවර බලා සිටියා ආණ්ඩුව යළිත් ඉන්ධන මිල අඩු කරයි කියලා. නමුත් මිල වැඩි වුණා.

ආණ්ඩුව කියන්නෙ මහා ආර්ථික ඔස්තාර්ල ඉන්නවා කියලනෙ. ඒත් ඩොලර් එක රුපියල් 185ට කිට්ටු වෙනකල් ගියා. රටේ ආර්ථික වර්ධන වේගය කොහෙද තියෙන්නෙ. ආණ්ඩුව බදුයි දඩයි ගහන ආර්ථිකයක් හදල තියෙන්නෙ. එහෙම ආණ්ඩුවකින් ඉන්ධන පමණක් නෙමෙයි කිසිම සහනයක් බලාපොරොත්තු වෙන්න බැහැ. අපි අහනව ආණ්ඩුවේ ඇමැතිවරුන්ගෙන් දන්න කෙනෙක් මේ මිල සූත්‍රය පැහැදිලි කරල දෙන්න කියල. මේ මිල සූත්‍රය නෙමෙයි ඉන්ධන මත පටවන ලද අධික බදු බරක් තියෙන්නේ.

Comments