ගුරුවරයා පලවා හැරීම | Page 2 | සිළුමිණ

ගුරුවරයා පලවා හැරීම

 

මං ගෙදර දුවල ගිහින් වෙච්ද දේ තාත්තට කිව්ව.

‘ඔයාව ඉස්කෝලෙට බාර දීල අනිත් මිනිස්සුන්වයි ඔයාවයි කරදර ගොඩක පැටලෙව්ව මදිවට මාවත් ඒකට පැටලිච්චි එක ගැන මට කනගාටුයි’ තාත්ත කිව්වා.

‘මං මේක කිව්වෙ නිකමට. නැත්නන් අන්තිමේදි ඔයා කියයිනෙ ඔයාට කිසිදෙයක් කිව්වෙ නෑ කියලා. ඒකයි මං කිව්වෙ’ මං කිව්වා.

‘මං පොලිස් කොමසාරිස් ළඟට ගියා. එයා බොහොම මිත්‍රශීලි මනුස්සයෙක්. එයා එච්චර අපූරු මනුස්සයෙක්ය කියල මං හිතුවෙත් නෑ’

‘ඔය මනුස්සය ගැන මාත් අහල තියෙනවා. ඇත්තම කියනව නං ඔය යකා මගෙ පුතාටත් වධ දීල තියෙනවා. හැබැයි කිසිකෙනෙක් මිනිහට විරුද්ධව පැමිණිලි කරල නෑ. ළමයින්ට වධ වේදනා දෙන එක අනීතිකයි. ඒත් ඔයා පැමිණිල්ලක් කරනකල් කරන්ඩ දෙයක් නෑ. මිනිහ මගෙ දරුවව පේල් කරයි කියල බයට මටත් මිනිහට විරුද්ධව යමක් කරන්ඩ බෑ. ඒ හින්ද මිනිහට ඔන්නොහෙ වධදිදී ඉන්ඩ අරින එක හොඳයි. ඒක මාස කීපෙක ප්‍රශ්නයක්නෙ. ඉන්පස්සෙ මගෙ දරුව වෙනින් පන්තියකට යනව’ ඔහු කිව්වා.

‘මං මෙතෙන්ට ආවෙ පැමිණිල්ලක් කරන්ඩ! මං වෙන පන්තියකට යන්ඩ හිතන්නෙ නෑ. මං ජීවිත කාලෙම මේ පන්තියෙ ඉන්ඩ සූදානම්’ මං කිව්වා.

‘ඔයා කරන්ඩ යන වැඩේ මං අගය කරනවා. මං හෙට එනව!’ ඔහු කිව්වා.

‘ඊළඟට මං නාගරික කමිටුවෙ සභාපති හම්බවෙන්ඩ දිව්වා. තමං ගොම ගොඩක් කියල ඔහු මට ඔප්පු කරල පෙන්නුවා. හරියට අමු ගොම ගොඩක් වගේ. එච්චරටම කැතයි. එයා මොකක්ද දන්නවද කිව්වෙ? මෙච්චරයි ‘මං දන්නවා. ඒකට කරන්ඩ දෙයක් නෑ. ඔය ළමයට තියෙන්නෙ දෙන දඬුවම් විඳගෙන ඉන්න එකයි. ඒව දරාගෙන ඉන්නෙ කොහොමද කියල ඉගෙන ගන්ඩ වෙයි’

‘වැරදියි කියල මට හිතෙන කිසිම දෙයක් මං ඉවසගෙන ඉන්නෙ නෑ’ මං කිව්වා.

‘ඒක එහෙම නං මට ඒ වගකීිම අතට ගන්ඩ බෑ. ඔය ළමය උප සභාපති ළඟට යන්ඩ! සමහරවිට එයාට පුළුවන් වෙයි ඔයාට උදව්වක් කරන්ඩ’ ඔහු කිව්වා.

මාව උප සභාපති ළඟට යැව්වට මං ගොම ගොඩට ස්තුති කරන්ඩ ඕනෑ. මගෙ අත්දැකීම්වල හැටියට ඒ මුළු ගමේම හිටිය වටිනා කියන මනුස්සය එයා විතරයි. එදා අවුරුදු අටක් නමයක් විතර වයසෙ හිටිය මං එයාගෙ ගෙයි දොරට තට්ටු කරනකොට ‘ඔව් ඇතුළට එන්ඩ!’ කියල කිව්වා. එයා බලාපොරොත්තු වෙන්ඩ ඇත්තෙ මහත්මයෙක්. ඒ හින්ද මාව දැකපු හැටියෙ පොඩ්ඩක් එහෙ මෙහෙ උණා.

‘සමාවෙන්ඩ! මට තනිඇහැ මාස්ටර් ගැන පැමිණිල්ලක් කරන්ඩ තියෙනවා’ මං කිව්වා.

තනි ඇහැ මාස්ටර් පන්තියෙ ළමයින්ගෙ ඇඟිලි අස්සෙන් පැන් සල් දාල ඇඟිලි මිරිකනව කියන කතාව විශ්වාස කරන්ඩ බැරුව වගේ උප සභාපති මා දිහෑ බලාගෙන හිටියෙ පුදුම වෙලා.

’ඇයි ඉතිං කවුරුවත් එයාට විරුද්ධව පැමිණිලි කරන්නෙ නැත්තෙ?’ ඔහු ඇහුවා.

‘එතකොට තමන්ගෙ දරුවට තවත් වධදෙයි කියල බයටයි මවුපියෝ පැමිණිලි කරන්නෙ නැත්තෙ’ මං කිව්වා.

‘ඔයා බය නැද්ද?’ ඔහු ඇහුවා.

‘නෑ. මොකද මං ෆේල්වෙන්ඩ ලෑස්තියි. එච්චරයිනෙ එයාට කරන්ඩ පුළුවන්. මං මේක ඉවරයක් වෙනකං හැප්පෙනවා! එක්කො එයා ඉඳී; නැත්තං මං ඉඳී. අපි දෙන්නටම එතන ඉන්ඩ බෑ!’ මං එහෙම කිව්වා.

ෂම්භු ඩුඩේ මට ළඟට එන්ඩ කියල කතා කෙරුවා. ඒක තමයි උප සභාපතිගෙ නම. මං ළඟට ගියාම එයා මගෙ අත අල්ල ගත්තා.

’මං කවදත් විප්ලවකාරයන්ට කැමතියි. ඒත් ඔය දරුවගෙ වයසෙ ඉන්න කෙනෙකුට විප්ලවකාරයෙක් වෙන්ඩ පුළුවන් වෙයි කියල මං කවදාවත් හිතුවෙ නෑ. මං සුබ පතනව’ ඔහු කිව්වා.

අපි දෙන්න යාළු වුණා. ඒ යාළුකම එයා මැරෙනතුරා තිබුණා. ඒ ගමේ විසිදාහක විතර ජනකායක් හිටියා. ඒත් ඒක ඉන්දියාවෙදි ගමක්. ලක්‍ෂයක්වත් හිටියෙ නැත්තං ඒක ඉන්දියාවෙදි නගරයක් නෙමේ. ලක්‍ෂ පහළොවක් හිටියොත් ඒක මහ නගරයක්. ඉතින් කිසිම දවසක ඒ තරම් හැකියාවක් තියෙන වැදගත් කෙනෙක් ඉන්දියාවෙ කිසි ගමකදි මට හම්බවෙලා නෑ.

’බය වෙන්ඩ එපා! ඔය මිනිහට දඬුවම් ලැබෙන්ඩ ඕනැ. එයාගෙ සර්විස් එක ඉවරයි. එයා සේවා දිගුවක් ඉල්ලල තියෙනවා. ඒත් අපි එයාට ඒක දෙන්නෙ නෑ. ඒ හින්ද හෙට ඉඳල එයාට ඉස්කෝලෙ ඉන්ඩ ලැබෙන එකක් නෑ’. ඔහු කිව්වා

’ඒක පොරොන්දුවක්ද?’ මං ඇහුවා.

අපි දෙන්නට දෙන්නගෙ ඇස්වලට එබුණා. ඔහු හිනාවෙලා මෙහෙම කිව්වා. ‘ඔව් ඒක පොරොන්දුවක්’

පහුවදා තනි ඇහැ මාස්ටර් ඉස්කෝලෙ දාල යන්ඩ ගිහින් තිබුණා. ඉන් පස්සෙ මට එයාව දකින්ඩ හම්බ වුණේ නෑ. මං කීප සැරයක් එයාගෙ ගෙදරට ගිහින් දොරට තට්ටු කෙරුවා. ඒත් එයා නෙමේ එළියට ආවෙ. බයගුල්ලෙක්. සිංහහම පොරොවගත්තු බැටළුවෙක්.

මගෙ වැඩෙන් ගම පුරා උත්සවශ්‍රීයක් ඇති වුණා. එයා ගම් ප්‍රදේශෙ බලවතෙක් වෙලානෙ හිටියෙ. එක දවසෙන් මං එයාව විසිකරල දැම්මා. මිනිස්සු මට ගෞරව කරන්ඩ පටන් ගත්තා.

‘මේ මොන විකාරද? මං මොකුත් කෙරුවෙ නෑ. මං කෙරුවෙ එයාගෙ වැරදි පෙන්නපු එක විතරයි’ එතකොට මං කිව්වා.

එයා තමන්ගෙ ජීවිත කාලෙ පුරා ම ළමයින්ට වධ දීපු එක ගැන මං පුදුම වෙනවා. ඒත් ඒ කාලෙ මිනිස්සු හිතපු හැටියට ඒක තමයි අධ්‍යාපනය. කටින් නොකිව්වට තාමත් හුඟක් ඉන්දියානුවො හිතන්නෙ ගහන්නෙ බණින්නෙ වද දෙන්නෙ නැතුව ළමයකුට උගන්ඩ බෑ කියලා. ඒක තමයි ඒගොල්ලො හිතන අධ්‍යාපනය.

 

ලබන සතියට ...

අදහස්