දෙඤ්ඤම් බැටේ දේශපාලනය! | සිළුමිණ

දෙඤ්ඤම් බැටේ දේශපාලනය!

පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරයෙන් විසිරී ගිය ගිනි පුලිඟු සමාජ දේශපාලන ක්ෂේත්‍රවල දැල්වෙන්නේ මල් වෙඩි වලට වඩා වෙනස් බිහිසුණු සංඥා නිකුත් කරමින් බව සැඟවිය නොහැකිය. ඒ ගිනි පුලිඟු දල්වා ගිනි තැබීමේ වියරු මානසිකත්වය සහිත ස්වල්ප දෙනෙක් හෝ නොවෙතියි අපට කිව නොහැකිය. ඒ ගින්නෙන් කය උණුසුම් කර ගැනීමට අවශ්‍ය මෝඝ පුරුෂයෝ ද සිටිති. එහෙත් මෙවේලේ මේ රටට ආදරය ඇති කිසිදු දේශපාලනඥයෙක් හෝ පුරවැසියෙක් එබඳු අන්තයකට තල්ලු වී යතියි සිතිය නොහැකිය. එසේ වුවද මේ ආණ්ඩුව තුළ ම සමහරුන්ගේ මුරණ්ඩු ප්‍රතිචාර ඔස්සේ රට තුළ නිර්මාණය වී තිබෙන්නේ යහපත් දේශපාලන හෝ සමාජ වාතාවරණයක් නම් නොවන බව නොපැකිල ව ප්‍රකාශ කළ යුතුය. ව්‍යවස්ථාදායකය හා විධායකය අතර උද්ගතව තිබෙන ගැටුමේ බරපතලම ප්‍රතිඵලය වී ඇත්තේ කැබිනට් රැස්වීම් නතර වීම ය.

රාජ්‍ය නායකයා මෙන්ම කැබිනට් මණ්ඩලයේ ද ප්‍රධානියා වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් අවසන් වරට කැඳවන ලද හදිසි කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නවත්වන තෙක් යළි කැබිනට් හමුවක් නොපවත්වන බව ය. එයට අදාළ හේතු සාධක ද ජනාධිපතිවරයා විසින් ම පැහැදිලි කරනු ලැබ තිබුණි. ජනාධිපතිවරයාගේ සුවිශේෂ අවධාරණය වූයේ ඒ තේරීම් කාරක සභාව හමුවට ආරක්ෂක සේවා ප්‍රධානීන් කැඳවා ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීම අනතුරුදායක ක්‍රියාවක් බව ය. එසේම ඒ කමිටුව හමුවේ ආරක්ෂක අංශවල කිසිදු නිලධාරියෙක් සාක්ෂි ලබා දිය යුතු නැති බව ද ජනාධිපතිවරයාගේ ආස්ථානය විය. පාර්ලිමේන්තුවේ කථානායකවරයා ප්‍රකාශ කළේ ඒ තේරීම් කාරක සභාවට ඕනෑ ම නිලධාරියෙක් කැඳවීමට බලය තිබෙන බව ය. මෙය ජනාධිපතිවරයාගේ ක්‍රියාවට දැක්වූ විරෝධාත්මක ප්‍රතිචාරයක් බව දැනටමත් සමහරු ප්‍රකාශ කරති. එසේම මෙය පාර්ලිමේන්තුව සතු බලයක් බවත්, එයට මැදිහත් වීමට විධායකයට අයිතියක් නැති බවත් ආණ්ඩුව වෙනුවෙන් කරුණු දක්වන අයගේ තර්කයයි. ඇමෙරිකාව පවා මෙබඳු විමර්ශන සිදු කර තිබෙන බව ද ඔවුන්ගේ තවත් තර්කයකි. එහෙත් ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංසය හෝ ජර්මනිය වැනි රටවල් තම ආරක්ෂක ප්‍රධානීන් හා බුද්ධි අංශ නිලධාරීන් ගෙන්වා මෙබඳු ප්‍රශ්න කිරීම් සිදුකරන බවක් වාර්තා වී නැත. වරක් මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නයකදී බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ ප්‍රකාශ කර සිටියේ මා නීති වෙනස් කර හෝ මගේ හමුදා ආරක්ෂා කරන බව ය. අපේ කුකර්කවාදීහු ඒ කිසිවක් මායිම් නොකරති.

ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශය ලෙස අපේ ඇතැම් දේශපාලන චරිත පමණක් නොව රාජ්‍ය නොවන සංවිධාන පවා නමස්කාර කරන එංගලන්තයේ හැසිරීම එහෙම ය. එහෙත් හමුදා නිලධාරීන් දංගෙඩියට යැවීමේ සිහින දකින අපේ මානව හිතවාදීන්ට අවශ්‍ය කුමක්ද යන්න අමුතුවෙන් කිව යුතු නැත. කුමක් වුවත් මෛත්‍රී ජනාධිපතිවරයාගේ මේ ස්ථාවරය ආවාට ගියාට ගත් එකක් නම් නොවේ. මෙයට පෙර මිලේනියම් සිටි සිද්ධියෙන් එදා මෙරට රැක දුන් බුද්ධි අංශ නිලධාරීන්ට අත් වූ ඉරණම කාට අමතක වුවත් පරිණත දේශපාලනඥයන්ට මෙන්ම සමාන්‍ය ජනතාවට ද හොඳින් මතක තිබේ. එල්.ටී.ටී.ඊ. තුවක්කුකරුවන්ගේ ගොදුරු බවට පත් වු ඒ බුද්ධි අංශ නිලධාරීන්ට අත් වු ඉරණම තමන් යටතේ සිටින කිසිවකුට අත් කර දීමට මෛත්‍රී ජනාධිපතිවරයා සූදානම් නැති බව මේ ප්‍රතිචාරයේ හැඟවුම ය. එහෙත් ඉවක් බවක් නොමැතිව “දෙඤ්ඤම් බැටේ” න්‍යායෙන් මෛත්‍රී ජනාධිපතිවරයා හුදෙකලා කිරීමේ දුෂ්ට සැලසුමේ නිර්මාතෘවරුන්ට ඒ කිසිදු අවදානමක් වැදගත් නැත.

මෙහිදී තවත් කරුණක් දෙස අපගේ අවධානය යොමු විය යුතුය. එනම් මෙම තේරීම් කාරක සභාව මේ සියලු දෝෂ නිවාරණය කර රටට ශාන්තිය උදා කරන මහා බලයක් ලෙස හැඳින්විය හැකිද? ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයා මෙන්ම තේරීම් කමිටු සභාපතිවරයකු ලෙස ද අත්දැකීම් බහුල ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කරන්නේ මේ කමිටු වලින් සාධනීය ප්‍රතිඵලයක් ලැබී ඇත්තේ අවස්ථා කීපයකදී පමණක් බව ය. මෑතක සිට මේවා දේශපාලන මෙහෙයුම් බවට පත්ව තිබෙන දුර්වල කමිටු විශේෂයක් බව ඔහුගේ අවධාරණය විය.

පාර්ලිමේන්තු ක්‍රමයේ ප්‍රබල අංගයක් ලෙස භාවිත කළ යුතු විශේෂ විද්වතුන් හා ප්‍රාමණිකයන්ගෙන් සමන්විය යුතු තේරීම් කාරක සභා දැන් ක්‍රියා කරන ආකාරය පිළිබඳ අමුතු අටුවා ටීකා ඉදිරිපත් කළ යුතු නැත. ජනතාවට ද ඒ පිළිබඳ ව මනා අවබෝධයක් ඇත. මහ බැංකු මගඩිය විමර්ශනයට පත් කළ තේරීම් කමිටුව ක්‍රියා කළ ආකාරය මෙන්ම එදා ප්‍රසිද්ධියට පත් “ෆුට් නෝට් කල්ලිය” අපට සිහිපත් කරන්නේ කුමක්ද? මේ තේරීම් කමිටුව එදා රාජපක්ෂ යුගයේ ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුතුමිය නෙරපීමේ ක්‍රියාදාමය විමර්ශනය කළ තේරීම් කමිටුවට වඩා වෙනසක් නැති බව ද තවත් සමහරු ප්‍රකාශ කරති. එසේම මේ තේරීම් කමිටුව ඒක පාක්ෂික වූවකි. එහි බහුතරය මේ ආණ්ඩුව සුරකීම සඳහා කැප වී සිටින අය පමණක් නොව සමහරුන් ජනාධිපතිවරයා සමඟ ගැටුම් ඇති කරගත් අය බව ද පෙනේ. ජ.වි.පෙ. නියෝජිතයකු මෙහි සිටියත්, පොදු ජන පෙරමුණේ තර්කයක් වන්නේ මෙහි විමර්ශනයට ලක්වන කරුණු සම්බන්ධ චූදිතයෙක් ජ.වි.පෙ. ජාතික ලැයිස්තුවේ ඇතුළත් ව සිටි හෙයින් ජ.වි.පෙ.ට මේ කමිටුව නියෝජනය කිරීමට සදාචාරාත්මක අයිතියක් ද නැති බව ය. වාසුදේව මන්ත්‍රීවරයා ඒ බව කථානායකවරයාට ලිඛිතව ද දන්වා තිබුණි.

මේ පසුබිම තුළ ජනතාව තුළ ද කමිටුව පිළිබඳ යහපත් චිත්‍රයක් ඇති නොවේ. බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ ද මේ කමිටුවේ අරමුණ මේ ප්‍රහාරයේ සියලු වැරදි, චෝදනා ජනාධිපතිවරයා මත පැටවීම විය හැකි බව ය. ජනධිපතිවරයා හා අගමැතිවරයා අතර තිබෙන විරසකය ගැන දන්නා ජනතාවට මෙයින් සිදුවිය හැකි දේශපාලන ප්‍රතිලාභ ගැන අමුතු අටුවා අවශ්‍ය ද නැත. ශ්‍රී ල.නි.ප.යේ අදහස වී තිබෙන්නේ මෙය ජනාධිපතිවරයා ඉලක්ක කර ගත් විමර්ශන කමිටුවක් බව ය. ඒ බව පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැහැදිලි ව දක්වා තිබේ. මෙතෙක් රැස් වූ තේරීම් කාරක සභාව ක්‍රියා කළ ආකාරය, ප්‍රශ්න කළ ආකාරය තුළින් ද යම් යම් නිගමන වලට එළඹිය හැකිය. එහෙත් අපි ඒ සඳහා ඉක්මන් නොවෙමු. අපගේ සාමාන්‍ය අදහස වන්නේ මේ දෝෂයෙන් ආණ්ඩුවට සම්පූර්ණයෙන් මිදිය නොහැකි බව ය. ආණ්ඩුව ඇතුළේ ගැටුම් විසඳා ගෙන රට ඉදිරියට යෑමේ වගකීමෙන් අගමැතිට හෝ ඇමතිවරුන්ට නිදහස් විය හැකිද?

මේ සියල්ලට අමතරව දැනට මේ ප්‍රහාරය පිළිබඳ ව අධිකරණමය ක්‍රියාමාර්ගයක් ද සිදුවන බව වාර්තා වේ. එබඳු වාතාවරණයක් තුළ මේ කමිටුව පැවැත්වීම ද උචිත නොවේ. එසේම මේ වන විට මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් මේ ප්‍රහාරය පිළිබඳ ව විමසා බැලීමට පත් කරන ලද කමිටුවේ සංක්ෂිප්ත වාර්තාවක් ද නීති අංශයට යොමුව ඇතැයි ද වාර්තා වේ. එසේ නම් ඒ කිසිවක් නොතකා ජනාධිපතිවරයාගේ සාධාරණ ඉල්ලීම් පවා නොතකා මේ කමිටුව පවත්වා ගෙන යන්නේ කුමක් නිසාද යන්න අපටත් විමතියකි. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පසුගිය දිනක ප්‍රකශ කර තිබුණේ ද අද පාර්ලිමේන්තුවේ සිටින 225 කෙරෙහි ම ජනතාව තුළ ඇත්තේ කළකිරීමක් බව ය. මේ යථාර්ථය දේශපාලන රැකියාවේ නිරතව සිටින බොහෝ අය නොදන්නා සෙයකි!

ඇත්තවශයෙන් ම මේ ආණ්ඩුවේ කාර්යභාරය අවසන් වී ඇතැයි කියන අය ද සිටිති. ආණ්ඩුව ගෙදර යා යුතු බව කියමින් ජ.වි.පෙ.ද දැන් වීදි බැස සිටියි. මේ අර්බුද විසඳීමේ එක ම මඟ මහමැතිවරණයක් බව ද සමහරු කියති. එහෙත් ඒ සඳහා සියලු පක්ෂ එකඟව යෝජනාවක් සම්මත කළ යුතුය. 19 වැනි ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබුණු බලය ගල්කර දමා තිබේ. එපමණක් නොව මේ වනවිට රටට ම පැහැදිලි වන්නේ අද උද්ගතව තිබෙන මේ අර්බුදයට හේතුව 19 වැනි සංශෝධනය බව ය. එමඟින් රටේ තිබුණු ව්‍යවස්ථාව අච්චාරුවක් වී තිබෙන බව ය. අප යෝජනා කරන්නේ රටට අලුත් ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව නම් නොවේ. 19 වැනි ව්‍යවස්ථාව නිසා පොලිස්පතිවරයාවත් අස් කර ගත නොහැකි ජනාධිපතිවරයෙක් නිර්මාණය වී තිබෙන බව ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන දිනේෂ් ගුණවර්ධන මහතා ද පසුගිය දිනක ප්‍රකාශ කර තිබුණි. කුමක් වුවත් මේ ආණ්ඩුවට මුවා වූ විවිධ බලවේග වල අවශ්‍යතා අනුව ජනතාව අපේක්ෂා කළ ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට නොහැකි වූ බව ද සමහරු අද පිළිගනිති.

දේශපාලන, සමාජ ක්ෂේත්‍රවල උත්සන්න වී ඇති ගැටුම්, අර්බුද සමනය කිරීමේ එක ම මඟ අලුත් මහජන වරමක් ලබා ගැනීම බව දේශපාලනය පිළිබඳ ප්‍රාමණිකයන්ගේ අදහස ය. සමහරුන්ගේ අදහස ජනාධිපතිවරයණයකින් මේ ප්‍රශ්නය විසඳා ගත හැකි බව ය. එහෙත් ආණ්ඩුව ඉදිරිපත් කරන අපේක්ෂකයා පරාජයට පත් වුවහොත් යළිත් සිදු විය හැක්කේ ද ව්‍යවස්ථාදායක විධායක ගැටුම විනා අන් දෙයක් නොවේ. දැන් රට අබියස පෙළ ගැසෙන දේශපාලනයෙන් පැහැදිලි වන්නේ වත්මන් ජනාධිපතිවරයාට මේ ආණ්ඩුව සමඟ සහජීවනයක් ගොඩ නඟා ගත නොහැකි බව ය. ස්වදේශිකත්වය මත හා දේශපාලනික සාරධර්ම මත පදනම් වූ අලුත් රටක් අපේක්ෂා කරන මෛත්‍රීගේ දැක්ම සමඟ මේ ආණ්ඩුවට ගමන් කිරීමට ද නොහැකිය.

2015 මෙරටේ රාජ්‍ය නායකයා බවට පත් වූ මෛත්‍රී ජනාධිපතිවරයා කැප වූයේ ද එබඳු රටක් ගොඩ ගැනීමට ය. දුගී භාවය, දූෂණය, අල්ලස දුරු කිරීම මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවන් දුරලීම මෛත්‍රීගේ දේශපාලනයේ සාධනීය අංග විය. එහෙත් අද ඒ කිසිවක් ගැන කතාවක් නොඇසෙයි. මේ රට කාන්තාරයක් වීම වැලැක්වීමටත් පරිසරය හා ගහකොළ රැක ගැනීමටත් හේතු වී තිබෙන වන සංහාරය නැවැත්වීමට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තීරණය ද ආපසු කැඳවීමට අද සමහරුන්ට අවශ්‍යව තිබේ. මේ වන විට මොරටුව වඩු කාර්මිකයන් ජනාධිපතිවරයාට එරෙහිව උසි ගන්වනු ලැබ තිබේ. එහෙත් ජනාධිපතිවරයා කිසි විටෙක පාරම්පරික වඩු කාර්මාන්තය විනාශ කිරීමට සූදානම් නැත. වන විනාශය නිසා රටට සිදුවන විපත වලක්වා ගැනීමේ සද්චේතනාවෙන් ඉදිරිපත් වු ජනාධිපතිවරයාට කෙරෙන පදනම් විරහිත හා වෛරී චෝදනා දේශපාලන මෝඝ පුරුෂයන්ගේ නිරුවත ප්‍රකාශ කරන්නක් පමණි.

කුමක් වුවත් අද රට පත්ව තිබෙන දේශපාලන සමාජ කැළැඹිල්ල අප්‍රමාද ව සමනය කර ගැනීම සියලු පාර්ශ්වයන්ගේ වගකීම බව නිසැක ය. තවමත් වාර්ගවාදී ගිනි ඇවිලවීමට තරම් බලවත් ගිනිපුපුරු දේශපාලන මූග්ධයන්ගේ මුවින් ගලා යන බව ද අපට පෙනේ. සංහිඳියාව හා සමගිය සඳහා “එකට සිටිමු” යන උදාර පණිවිඩය රැගෙන මෛත්‍රී ජනාධිපතිවරයා ගම් දනව් වල දූෂ්කර ක්‍රියා කරද්දී හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා ප්‍රකාශ කරන්නේ මුස්ලිම් ජනයා මේ රට තුළ සුළු ජාතියක් වුවත් ගෝලීය වශයෙන් ප්‍රබල හා මහ ජාතියක් බවත් ය. හිස්බුල්ලාගේ මනස තුළ රැව් දෙන්නේ කුමක්ද? ඔහුගේ ප්‍රකාශයේ හැඟවීම කුමක්ද? රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඔහුගේ මේ ප්‍රකාශය හෙළා දැක තිබුණි. හිස්බුල්ලා, අසාද් සාලි යන හිටපු ආණ්ඩුකාරවරුන් දෙදෙනාට මෙන්ම ආණ්ඩුවේ ඇමතිවරුන් දෙදෙනෙකුට ද විවිධ චෝදනා නැඟෙමින් තිබේ. කාන්තන්කුඩි පල්ලියේ සභාපති අබුසාලි උවයිස් මවුලතුමා පාර්ලිමේන්තු තේරීම් කමිටුව හමුවේ ලබා දුන් සාක්ෂියේ හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයාගේ හැසිරීම් ගැන ද නොයෙක් අනාවරණයන් කර තිබුණි. මුස්ලිම් සමාජය භීතියට පත් කළ අරාබිකරණය නැමැති බිහිසුණු රෝග ලක්ෂණ හිස්බුල්ලාට තිබෙන බව කෙනකුට පෙනේ නම් එහි පුදුමයක් ද නැත. මඩකලපුවේ ශරියා විශ්වවිද්‍යාලය හා පුංචි අරාබියක් ගොඩනැඟීමේ ක්‍රියාන්විතයට ඔහුගේ දායකත්වය කෙබඳුදැයි වැඩිකල් නොගොස් තහවුරු වනු ඇත. අපි එතෙක් මේ මුස්ලිම් අන්තවාදයට උඩ ගෙඩි දුන් ඊනියා දේශපාලන චරිත ගැන කිසිවක් සඳහන් නොකරමු.

උතුරේ තමිල්නාඩු මොඩලයේ පාලනයක් හෝ ඊළාම් විජිතයක් පිළිබඳ සිහින දුටුවෝ අද පසු බැස සිටිති. එසේම නැගෙනහිර පුංචි අරාබියක් ගොඩනැඟීම හා අරාබි පන්නයේ මුස්ලිම් සමාජයක් නිර්මාණය කිරීමේ සිහිනය ද අද පුපුරා යමින් තිබේ. එහෙත් වර්ගවාදී තක්කඩි දේශපාලන මනසින් ආතුර වූ අය තවමත් අරාබි සිහින දකිමින් සිටින බව ද අප මතක තබා ගත යුතුය. අපට කිසි දිනක දෙමළ ජනතාව ගැන මෙන්ම මුස්ලිම් ජනතාව ගැන ප්‍රශ්නයක් නොවීය. ඔවුහු අපගේ ‍ඵෙතිහාසික මිතුරෝ ද, නෑයෝ ද වෙති. එහෙත් දේශපාලන පවිටෝ මේ ජාතිභේද වැපිරූහ. අදත් එය ම සිදුවේ නම් අපි කාට කියමුද? ප්‍රශ්නය තිබෙන්නේ ඒ ජාතිකත්වයන් දඩමීමා කර ගනිමින් දියත් වන ත්‍රස්තවාදයයි. මෛත්‍රී ජනාධිපතිවරයා දින කීපයකට පෙර මුලතිව් වලදී ප්‍රකාශ කළේ මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙකු බිහිවීමට ඉඩ දිය නොහැකි බව ය. මේ පාස්කු ප්‍රහාරයේ අරමුණ එබඳු ත්‍රස්තවාදයක් බිහිකර ගැනීම බව ද ජනාධිපතිවරයාගේ අවධාරණය විය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබුණේ ද ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන් සිංහලෙන් එකකුත් දෙමළෙන් තව එකකුත් කියන දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව ය. එදා දෙමළ ජාතිවාදය පසු පස සිටි ඇතැම් බටහිර බලවේග මේ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරකයන්ට අනුබල දෙන්නේ ද යන සැකය ද සමහරුන් තුළ වේ. ආණ්ඩුකාර ධුර වලින් ඉල්ලා අස්වීමට සිදු වූ අසාද් සාලි මෙන්ම හිස්බුල්ලාද කිසියම් වෛරයකින් හෝ චකිතයකින් ප්‍රකාශ කළ යුතු නැත. ඔවුන්ගේ වගකීම වන්නේ ද මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට මුස්ලිම් ජන මනස සකස් කිරීම මිස අන් දෙයක් නොවේ. ඇඳුමෙන්, පැළඳුමෙන්, හැසිරීමෙන්, සංස්කෘතියෙන් අරාබි පන්නයට තම ජනතාව තල්ලු කිරීමේ වරද නිවැරදි කිරීමේ වගකීමට වගකිවයුතු මුස්ලිම්වරුන් ඇතුළු සියලු මුස්ලිම්වරුන්ට ඒ වරද නිවැරැදි කිරීමේ වගකීම ඉතිහාසය විසින් පවරනු ලැබ තිබේ. එසේම “අපි මුස්ලිම් වෙමු. මුස්ලිම්වරුන්ට අත නොතබනු” වර්ගයේ අහංකාර වහසි බස් දොඩන අයගේ අරාබි උන පැතිරයාම වැලැක්වීම ද ආණ්ඩුව සමඟ සිටින මුස්ලිම් දේශපාලනඥයන්ගේ වගකීමකි. එබඳු මූග්ධ ප්‍රකාශ වලින් ඇති කෙරෙන ජාතිවාදී උත්තේජනය තවත් ගැටුමකට අත වනන බව ද සියල්ලෝ ම වටහා ගත යුතු වෙති. බල්ලන් බිරුවත් තවලම ඉදිරියට යනු ඇතැයි උජාරු බස් තෙපලන්නන්ගෙන්ද ජාතික සංහිඳියාවට සිදුවන්නේ විපතක් බවද පෙන්වා දිය යුතුය. ජනපති - අගමැති - විපක්ෂනායක යන තිදෙනාම මෙහිදී පක්ෂයට බලයට වඩා රට, ජනතාව හා ජාතික ආරක්ෂාවේ වගකීම වෙනුවෙන් කැපවනු ඇතැයි ද ජනතාව අපේක්ෂා කරති.

 

Comments