අර්බුදයෙන් ඉන්නේ සාමාන්‍ය ජනතාව නෙමෙයි දේශපාලන නායකයන් | සිළුමිණ

අර්බුදයෙන් ඉන්නේ සාමාන්‍ය ජනතාව නෙමෙයි දේශපාලන නායකයන්

හෙතෙම මෙරට වාම දේශපාලන දෘෂ්ටිවාදී අවකාශය වෙනතකට රැගෙන ගිය දේශපාලන චින්තකයකු වේ. ඔහුගේ ප්‍රධානත්වයෙන් ගොඩනැඟූ නව්‍යවාදී වාම දෘෂ්ටිවාදය හේතුවෙන් කිසිදු වාමාංශික ව්‍යාපාරයකට ඉන් නිදහස් වීමට නොහැකි විය. එපමණක් නොව මේ දෘෂ්ටිවාදීමය බලපෑම නිසා මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම කලා සංස්කෘතික ‍ක්ෂේත්‍රයේ ද කිසියම් වෙනසක් ඇති විය. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ ලේකම්වරයා මෙන්ම දේශපාලන විචාරකයකු වන ඔහු නමින් දීප්ති කුමාර ගුණරත්න ය. මේවනවිට රට තුළ පැන නැඟී තිබෙන දේශපාන විශ්‍රැත භාවයට හෙතෙම ඍජු ව හෝ වක්‍ර ව දායක වී තිබේ. එනිසා අප ඔහු සමඟ මේ සංවාදය ආරම්භ කළෙමු.

• 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ව අද බොහෝ වාද විවාද ඇති වෙමින් තිබෙනවා. නමුත් ජේ.ආර්. ජයවර්ධන මහතා 1978 දී නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම මඟින් සිදු කළේ ගෝලීය ප්‍රාග්ධනය ප්‍රසාරණය වීමට අවශ්‍ය පසුබිම සැකසීමයි. අද මේ අර්බුද ඇති වී තිබෙන්නේ, මෙකී යථාර්ථය නොදැන කටයුතු කිරීමට යෑම නිසා නේද?

මේක අප වටහ ගන්න ඕන ඉතිහාසයට සම්බන්ධ ගැටලුවක් විදියටයි. මේ ගැටලුව ආරම්භ වෙන්නේ 1970 - 77 කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි, සමසමාජ පක්ෂයයි එකතුව ඇති කරගත් සමඟි පෙරමුණ ආණ්ඩුව විසින් ගෙන ගිය දේශීය ආර්ථිකය, නැති නම් රාජ්‍ය ධනවාදී ආර්ථික රාමුව බිඳ දැමීමත් සමඟයි. 1977 දී ජේ.ආර් ජයවර්ධන එයාගේ සහෝදරයත් එක්ක එකතු වෙලා 1978 ව්‍යවස්ථාව හැදුවේ; ගෝලීය ධනවාදය නැතිනම් විවෘත ආර්ථිකය රට තුළ ක්‍රියාත්මක කරන කොට අවශ්‍ය වන දේශපාලන රාමුව සකස් කරගැනීමේ අරමුණින්. අද මේ තිබෙන ව්‍යවස්ථාවේ පදනම ඒකයි. 77 ට පෙර පැවති ආර්ථික රාමුව වෙනුවට ජේ.ආර් ජයවර්ධන ගෝලීය ධනවාදයේ ඊළඟ අදියරට මේ රට විවෘත කළා. ඒ කට මිනිස්සු කැමතිද? නැද්ද? කියන දේ ඔහුට අදාළ වුණේ නැහැ. අදත් කවුරු මොන දේ කිව්වත්, මොනතරම් විරෝධතා ප්‍රකාශ කළත්, 77දී මේ පටන් ගත්ත ගෝලීය ධනවාදී අර්ථික මොඩලය දිගටම යනවා. ඒක කාටවත් නවත්වන්න බැහැ. හරියට රා කල සොළොසක් බීපු ඇතා වගේ මේක අපේ පස්සෙන් එනවා.

තවත් සරලව කිව්වොත්; ජේ. ආර් ව්‍යවස්ථාව හදන වෙලාවේ රාජ්‍ය මෙහෙය වන්න හරියට කඩදාසියක් තියෙන්න ඕන බව දැක්කා; ඒක එයා හැදුවා. දැන් ඒ කඩදාසිය තිබුණත් එකයි, නැතත් එකයි. ප්‍රාග්ධනය විසින් ඒ වැඩේ දිගටම කරගෙන යනවා. ඒ නිසා 18, 19, 20 කියලා එක එක කඩදාසි ගෙනත් වැඩක් නැහැ. 19 ආයි නැති කළත්, මේ බලය පාර්ලිමේන්තුවට ගියත් මේ ප්‍රශ්න ටික මේ විදියටම තියෙනවා.

• 78 ව්‍යවස්ථාවෙන් කළේ ගෝලීය ධනවාදය අපේ රට තුළ ප්‍රසාරණය කිරීමට අවශ්‍ය දේශපාලන රාමුව සකස් කිරීම කියලා ඔබ කිව්වා. එහෙම නම් පාර්ලිමේන්තු ක්‍රමයකට යෑමේ තේරුමක් තියෙනවද?

ජේ.ආර්ගේ ව්‍යවස්ථාව කියල කියන්නේ ගෝලීය ධනවාදය අපේ රටේ ක්‍රියාත්මක කිරීමට සකස් කළ ලේඛණයක් පමණයි. එහෙම නම් දැන් තේරෙන්න ඕන අපට ආයිත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට යන්න බැහැ කියලා. මොකද මේ වෙද්දි ඒ සියල්ල ප්‍රාග්ධනය විසින් වෙනස් කර අවසන්.

• ඒ ගැන පැහැදිලි කිරීමක් කළොත්?

වතුර, ඉඩම්, සංස්කෘතිය, ආගම, ජාතිය, ආදරය, ලිංගිකත්වය, ඥාති සබඳතා ඇතුළු සියලු මිනිස් සබඳතා මේ වෙද්දි හුවමාරු භාණ්ඩ බවට පත්වෙලා තියෙනවා. කොටින්ම අප කතා කරන අදහස් පවා වෙළෙඳපොළක් බවට පත්වෙලා. ෆේස් බුක්, යූටියුබ් එක්ක ගනුදෙනු කරනකම්; අපි මේවා වෙළෙඳපොළක් කියන කොට කවුරුවත් ඒක තේරුම් අරන් තිබුණෙ නැහැ. මේ වෙද්දී හොඳ අදහස්, නරක අදහස් කියල බෙදීමක් නැහැ. මේ මොහොතේ වැඩියෙන් විකුණන්න පුළුවන් අදහස මොකක්ද ඒක විකුණනවා. ඉරාජ්ල, අශේන්ල වගේ අය පෙන්වන්නේ මේ යථාර්ථයයි. අදහස් කියන්නේ හොඳින් විකිණිය හැකි දෙයක් බව ඔවුන් ඉතා හොඳින් අපට පෙන්වා දෙමින් තිබෙනවා. එතනදි මේ අදහස රටට හොඳයි ද? නරකයි ද? මේක ආගමික ද? සිංහල ද? බෞද්ධ ද? දෙමළ ද? මුස්ලිම්ද? ... කියන කිසිදෙයක් අදාළ වෙන්නේ නැහැ. අද සියලු දෙනා අදහස් විකිණීමේ යුද්ධයක පැටලී සිටිනවා. ඒනිසා අදහස් කියන්නේ ප්‍රාග්ධනය සංකේන්ද්‍රණය කරන දෙයක් මිසක් නලින් ද සිල්වා කියනව වගේ තවදුරටත් සදාචාර වාදයක් දේශනා කරන දෙයක් නෙමෙයි.

• සිංහල බෞද්ධ ස්වොත්තම ජාතිවාදය මේ මොහොතේ උපරිම උත්කර්ෂයට නංවා තිබෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?

මා මෙය හඳුන්වන්නේ ජාතිවාදයේ සූර්තාන්ත මොහොත කියලයි. ඒක දැන් නෙළුම් කුලුනේ අකුණු සන්නායකයේ කෙළෙවර තියෙන්නේ, අන්න ඒතරම් උඩට ගිහින් තියෙන්නේ; මේ තමයි උපරිම මට්ටම. ඒකට මීට වඩා උඩට යන්න බැහැ. ඇත්තටම මේ තත්ත්වය ඇති කළේ අප විසින්.

මීට පෙර ජාතිකවාදය කියන්නේ ආධ්‍යාත්මික වාදයක්. නැතිනම් ආත්මීය සංකල්පයක්. නලින් ද සිල්වා තමයි මුලින් ම මේ වැඩේ පටන් ගත්තේ. දැන් මේක ෆේස් බුක් එක ඇතුළේ ලයික් ෆාම් එකක් බවට පත්වෙලා. මේ අදහසට ලයික් කීයක් වැටෙනවද? ලයික් එකකට කීයක් ගෙවනවද? මේක දැන් ඒ ගානට වැටිලා තියෙන්නේ. ඒනිසා මේක අද එක එක්කෙනා විකුණන භාණ්ඩයක් බවට පත්වෙලා. මහින්ද මහත්තයා එයාට ඕන විදියට මේක විකුණනවා, රතන හමුදුරුවෝ එයාට ඕන විදියට මේක විකුණනවා... මේ විදියට එක එක්කෙනා ඒ ඒ අයට ඕන ඕන විදියට මේක විකුණනවා. මේ අයට අමතරව ඉරාජ්, අශේන් වගේ අයත් මේක විකුණනවා. අපට ඕන නම් මේක ප්‍රසාරණය වුණේ කොහොමද? කියල විශ්ලේෂණය කරල බලන්න පුළුවන්.

• ජාතිකවාදයේ ‘මේ මොහොත‘ ඔබ විග්‍රහ කර ගන්නේ කොහොමද?

ලංකාවේ වාමාංශික ව්‍යාපාරය ජාතිකවාදය සම්බන්ධයෙන් දක්වපු ප්‍රතිචාරය වුණේ; ඒ තුළ පැවති දැඩි දක්ෂිණාංශික භාවය නිසා මේ දේ සිද්ධ වුණා කියන එකයි. එහි අදහස වෙන්නේ බලහත්කාරයෙන් මේ අදහස් සමාජගත කිරීම මඟින් මේ දේ කළා කියන එකයි. උදාහරණයක් විදියට සිංහල වීරවිදහන (පස්සේ ජාතික හෙළ උරුමය) සුළු ජාතීන් බිය ගන්වා අධිපති ජාතිවාදී මතවාදයට ඔවුන් යටත් කළ ආකාරය පෙන්වා දෙන්න පුළුවන්. අනෙක් පසින් තවත් ජාතිකවාදයක් ජවිපෙ විසින් ඉදිරියට ගෙනාවා. ඒක මහින්ද රාජපක්ෂ විසින් ඩැහැ ගත්තා. ඊට පස්සේ මේක රටට දැයට ආදරේ කරන ප්‍රගතිශීලී ජාතිකවාදී ව්‍යාපාරයක් බවට පත් වුණා. මේ ජාතිකවාදයට වම විසින් ගෙනා විවේචනය වුණේ බඩු බෙදන ජාතිකවාදය කියන එකයි. කාපර්ට් පාරවල් දෙනව; කොන්ක්‍රීට් පාරවල් දෙනවා; ආණ්ඩුවේ රැකියා දෙනවා; සිල් රෙදි බෙදනවා; ඔරලෝසු බෙදනවා... මේක සමහරු නම් කරේ බැසිල්ගේ ජාතිකවාදය කියලයි. ඒ මොකද බැසිල් විසින් බඩු බෙදල බෙදල මේ ජාතිකවාදය හදපු නිසා.

මගේ අදහස වෙන්නේ ජාතිකවාදය සම්බන්ධයෙන් ඔය අදහස් දෙක ම වාස්තවිකයි. ඒවා මඟින් කියැවෙන්නේ මිනිසාගේ බාහිර ලෝකය මොකක් හෝ හේතුවක් මඟින් පාලනය කරන බවයි. තවත් සරලව කිව්වොක් පැරණි වම කිව්වේ; මිනිස්සු ජාතිවාදයට ගිහින් තියෙන්නේ සමාජ ක්‍රමය ගැන විධිමත් අවබෝධයක් නොමැති කමින් මුලාවක පැටලී ඉන්න නිසයි; ඒ නිසා ඒ අයට හරි අදහසක්, විද්‍යාවක් දුන්නම ඒ අය නිවැරදි අදහසට පැමිණෙනව කියලයි; නැත්නම් සම්මා දෘෂ්ටියට එනවා කියලයි. නමුත් කීදෙනෙක් ඇවිත් ඔය කියන සම්‍යක් දෘෂ්ටිය දේශනා කළා ද?

අපි දැක්කා පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියලා වෙනම පක්ෂයකුත් මේක කියන්න හැදුණා. ඒ අය යන යන තැන්වල ඔය සම්‍යක් දෘෂ්ටිය දේශනා කළා. හැබැයි මොකද වුණේ. ඒක කියන්න කියන්න පක්ෂ සාමාජිකයෝ අඩු වුණා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේක මේ බලහත්කාරය නිසා හරි, බඩු බෙදල හරි, සම්‍යක් දෘෂ්ටිය දේශනා කරල හරි ගොඩගන්න පුළුවන් එකක් නෙවෙයි කියලා. මේක අප දෘෂ්ටිවාදයක් කියල වටහා ගන්න ඕන.

මේ මොහොතේ ජාතිවාදය කියල කියන්නේ දෘෂ්ටිවාදයක (Ideology)ට. ඇයි ඒකට දෘෂ්ටිවාදයක් කියල කියන්නේ; මේ ධනවාදී සමාජය තුළ ජීවත් වෙද්දි සියලු මිනිස් සබඳතා හුවමාරු භාණ්ඩ බවට පත් වෙනවා. උදාහරණයක් විදියට පිරිමින් විසින් මේ රටේ කොයිතරම් අර්බුද තියෙනව කියල කිව්වත්, කිසිදු ස්ත්‍රියක් අර්බුදයක ඉන්න බව අපට පේන්නේ නැහැ. මේ තත්ත්වය නිරීක්ෂණය කරන්න කියල මං පිරිමින්ගෙන් ඉල්ලා සිටිනවා.

බලන්න ලංකාවේ ස්ත්‍රීන් දිහා. ඒ අය හොඳ ඩෙනිම් එකක් ඇඳලා, කොන්ඩේ ටින්ට් කරල නැත්තම් ස්ට්‍රේට් කරලා, ෆෙදර්කට් කපලා, ලිප්ස්ටික් කියුටෙක්ස් ගාලා, සුදු වෙන්න එක එක පෙති ජාති බීලා, ක්‍රීම් ජාති උලළා, පෙකනිය පේන්න ටොප් එකක් ඇඳල, මොබයිල් ෆෝන් එකක් අරගෙන හැන්ඩ්ස් ෆ්‍රී කනේ ගහගෙන හරි උජාරුවෙන් පාරේ යනවා. කොන්ඩේ හුළඟට වැනෙන නිසා ඒ අය හරි නිදහස්කාමී කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ෂැම්පු දාළා, කන්ඩිෂනර් දාළා, වොෂ් කරල තියෙන නිසා තමයි ඒ විදියට කොණ්ඩේ හුළඟේ පාවෙලා යන්නේ. නැතුව ඒ අයගෙ ඔළුව නිදහස් නිසා නෙමෙයි. එයාල බලන්නේ බොළඳ ටෙලිඩ්‍රාමා. මේ අය ඉන්නේ අතිශයින් විනෝදකාමී ලෝකයක. එහෙම නම් මේ රටේ පිරිමින්ට විතරද; මේ අර්බුදය තියෙන්නේ.. කියල ප්‍රශ්නයක් අපිට එනවා. එතකොට රටේ බාගයකට වැඩි පිරිසකට මේ කතා කරන ප්‍රශ්න අදාළ නැද්ද?. ඒ නිසා මේ අය කියන කතාවල තියෙන්නේ අර්ධ සත්‍යයක් පමණයි. රටේ බහුතරයකට ඔය කියන අර්බුදය දැනිල නැහැ.

• එහෙම නම් ඒක දැනිල තියෙන්නේ කාටද?

දැනිල තියෙන්නේ වෙන කාටවත් නෙමෙයි; මාධ්‍යවලට. අද මාධ්‍ය මෙහෙය වන ඒවයේ අයිතිකාරයෝ ගොඩක් අය දන්නේ පැරණි ධනවාදය ගැන, මීට අවුරුදු තිහ හතළියකට ඉස්සෙල්ලා ඉස්කෝලවල ඉගෙන ගත්ත දේවල්. ඒගොල්ලො දන්න ෆේස්බුක් එකක් හරි, මේකේ තියෙන ඇල්ගො රිදම් එකක් හරි මේ අය දන්නේ නැහැ. මේ අය කේම්බ්‍රිජ් ඇනලිටිකා එකෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ව දිනෙව්වේ කොහොමද කියලාවත් දන්නේ නැහැ. ඉතින් පහුගිය කාලේ ප්‍රාග්ධනය නිසා සමාජ සම්බන්ධතා වෙනස් වුණු විදිය දිහා බලල මේ මිනිස්සු අම්මෝ අයියෝ අපෝ කියල කෑගහල කලන්තේ දානවා. ඒ අයට ඇතිවන කම්පනය සහ අනන්‍යතා අර්බූදය තමයි මේ දක්වා ප්‍රකාශ වෙමින් තිබෙන්නේ. එහෙම නැතුව මේ ප්‍රකාශ වන්නේ පොදු මහජන මතයක් නෙමෙයි. ඒ ගොල්ලෝ බයවෙලා ඒ අයම කෑගහනවා.

මිනිහෙක් ගිහින් කණ්ණාඩියක් ඉස්සරහා රැවුල කප කප ඉන්න ගමන් පිටිපස්සෙන් ගිහින් ඕඕ ගාල කෑගැව්වම මූණත් කපාගෙන බයවෙලා දඟලන්නේ අන්න ඒවගේ එකක් තමයි වික්ටර් අයිවන්ලාටත් වෙලා තියෙන්නේ. දැන් ඒ අයගේ ධනවාදය පිළිබඳ පැරණි ඥානවිභාගාත්මක රාමුව බිඳ වැටිලා. ඒ නිසා ප්‍රාග්ධනය වැඩ කරන විදිය මේ අයට තේරෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ ඒ අය විසින් පරණ බිය සමාජගත කරන්න උත්සාහ ගැනීමයි. එහෙම බයක් වෙන්න ඕන නැහැ. මොකද මේ සිස්ටම් එක ගෝලීයකරණය වෙලා තියෙන නිසා පැරණි රාජ්‍ය අහෝසි වෙලා ඉවරයි. ඒක තාම මේ අය දන්නේ නැහැ.

• ඉදිරියේදී වෙන්න ඕන මොකක්ද?

ඉදිරියේදි වෙන්න ඕන නූතන ධනවාදය ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන ආකාරය දන්නා දේශපාලන පුද්ගලයන් ඉදිරියට පැමිණීමයි. මෙතෙක් ලංකාවේ දේශපාලන බලය හෙබ වූ ප්‍රභූතන්ත්‍රය විසින් ධනවාදය පාලනය කරපු විධි ක්‍රමය කඩාගෙන වැටිලා තියෙනවා. ඒකෙන් ඒ අය අද කම්පාවට පත්වෙලා තියෙනවා. මේ කම්පාවට පත් වීමත් සමඟ ඒ අයගෙ ජීවිතවල ඇති වෙලා තියෙන හිස්කම පුරවන්න මොකක් හෝ කතාවක් ඕනනේ. ඊජිප්තුවාසීන්ගේ රහස ඊජිප්තුවාසීන්ටත් රහසක් කියන්න වගේ මෙහෙ තියෙන දේශපාලන අර්බුදය ඔවුන්ට තේරෙන්නේ නැහැ. නමුත් ඒක ආර්ථික අර්බුදයක් නෙමෙයි.

මේ මොහොතේ එහෙම අර්බුදයක ඉන්නේ ඇමරිකාව, එංගලන්තය හා යුරෝපය වගේ රටවල්. ඒත් මේ වෙලාවේ චීනය හෝ රුසියාව එවැනි අර්බුදයක නැහැ. මොකද ධනවාදය හරියට මෙහෙය වන්නේ ඒ අය. ඒ නිසා මේ මොහොතේ අර්බුදයෙන් ඉන්නේ සාමන්‍ය ජනතාව නෙමෙයි දේශපාලන නායකයන්. ඒ අයට මේ ක්‍රමය දුවන විදිය තේරෙන්නේ නැහැ.

මෙතනදි දෘෂ්ටිවාදය කියල කියන්නේ; මෙන්න මේ හිස්තැන පුරව ගන්න ධනවාදය අපව මෙහෙයවන ක්‍රමය පිළිබඳව තේරුම් ගන්න විද්‍යාවක් නිර්මාණය කර ගැනීමටයි. එහෙම නැති ඕනෑම කෙනෙක් මේකට බය වෙනවා. ඩාර්ක් නයිට් වගේ චිත්‍රපටි නිර්මාණය වෙලා තියෙන්නේ මේ තත්ත්වය තේරුම් කරන්නයි. මේ බය නැති කර ගන්න නම් අපටත් ඕන ඩාර්ක් නයිට්ලා. අපව පාලනය කර ගන්න අප විසින් ම කැඳවන අදහස් මාලාවක් අවශ්‍යයි. අන්න ඒ අදහස් මාලාව තමයි දෘෂ්ටිවාදය.

• එහෙනම් මිනිස්සු තාමත් ජාතිවාදය සරණ යන්න උත්සාහ ගන්නේ ඇයි?

මම කාට හරි බයවෙලා නෙමෙයි ජාතිවාදයට යටත් වෙන්නේ. නැත්තම් බඩු දෙන හින්දත් නෙමෙයි. එහෙම නැත්තම් හමුදාව දාල බය කරන නිසත් නෙමෙයි. මම මෝඩ නිසාත් නෙමෙයි. මම හරිම බුද්ධිමත්. මම මේ ජාතිවාදය නරකයි කියලත් දන්නවා. එහෙම නම් ඇයි මම ජාතිවාදයට යන්නේ? මම දන්න අනිත් අය මේක පස්සේ දුවනව කියල හිතෙන නිසා.

හැමෝම යන්නේ ඒ පැත්තට නම් මම මේකට විරුද්ධ වුණත් වැඩක් නැහැ. ඒ නිසා මාත් ඒ පැත්තටම යනව කියලා තීරණය කරනවා. මම ජාතිවාදයට යන්නේ මගේ අනෙකා නිසා; අනෙකාගේ විශ්වාසය නිසා. මම නම් මේකට විරුද්ධයි. නමුත් කවුරුන් හෝ මෝඩයො පිරිසක් ඉන්නවා, මේක විශ්වාස කරන. මමත් ඒ රැල්ලටම යනව මිසක් මං විතරක් මොකටද ඒ අයට විරුද්ධ ව ඡන්දය දෙන්නේ. එනිසා මේ මොහොතේ දෘෂ්ටිවාදය කියලා කියන්නේ අනෙකා මත පරායත්ත වන විශ්වාසයටයි. මෙන්න මේ තත්ත්වය අවබෝධ කර ගත්තොත් මේ දෘෂ්ටිවාදයෙන් මිනිස්සු ඉවත් වේවි. ඒ සඳහා අප කළ යුත්තේ එවැනි අනෙකෙක් නොමැති බව ඔවුන්ට වටහා දීමයි.

ඡායාරූප - රන්දික අහංගම

Comments