ගෝඨා­භ­යගේ ආණ්ඩු­වක් යටතේ මහි­න්දටත් යන එන මං නැති වෙනවා | සිළුමිණ

ගෝඨා­භ­යගේ ආණ්ඩු­වක් යටතේ මහි­න්දටත් යන එන මං නැති වෙනවා

ළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණය හා එහිදී අප සැල­කිල්ල යොමු කළ යුතු කාරණා පිළි­බඳ එක්සත් වාමා­ශික පෙර­මුණේ පාර්ලි­මේන්තු මන්ත්‍රී ආචාර්ය ජය­ම්පති වික්‍ර­ම­රත්න මහතා සිළු­මිණ හා සංවා­ද­යට එක් වෙමින් පළ කළ අද­හස් මෙසේය

ජාතික ජන­බ­ල­වේ­ග­යට එකතු වූ ඔබ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදි පෙර­මුණේ හංසයා ලකු­ණින් තරග කරන අපේ­ක්ෂ­ක­යාට උදව් කරන්න ඕනෑ කියලා තීර­ණය කළේ ඇයි?

අවු­රුදු එක­හ­මා­රක් විතර අප ජනතා විමුත්ති පෙර­මුණ සමඟ වැඩ කළා. මැති­ව­රණ ප්‍රකා­ශන දිහා බල­පු­වාම ඔවුන්ගේ මැති­ව­රණ ප්‍රකා­ශ­නය බොහෝම අක­ර්ෂ­ණීය මැති­ව­රණ ප්‍රකා­ශ­න­යක්. ඒකේ කිසිම ප්‍රශ්න­යක් නැහැ. නුමුත් අද ඉතාම භයා­නක සත්ත්ව­යෙක් දත් විලි­ස්සා­ගෙන අපේ දොර­ක­ඩට ඇවිත් සිටි­නවා. 2015දී නව රජය බල­යට පත් කර­ගෙන වඩා ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අව­කා­ශ­යක් අප නිර්මා­ණය කර­ගත්තා. එසේ අත් කර­ගත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අව­කා­ශය අහිමි වීම පිළි­බඳ සැබෑ අව­දා­න­මක් තිබෙ­නවා.

අප සම්මත කර­ගත් යෝජ­නා­වේදී අප ප්‍රකාශ කළා, ශ්‍රී ලංකාවේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට ගෝඨා­භය රාජ­ප­ක්ෂ­ගෙන් හා ඔහු පිටු­පස සිටින අන්ත­වා­දී­න්ගෙන් පැහැ­දිලි අන­තු­රක් තිබෙන බව. ඒක මේ වෙනත් අය කිය­නවා වගේ එයා ආවොත් මෙහෙම වෙන්න පුළු­වන් වගේ අපැ­හැ­දිලි එකක් නෙමෙයි. සත්‍ය ලෙසම වෙන්න පුළු­වන් සහ දැන­ට­මත් වෙමින් පව­තින අන­තු­රක්. ඒ අන­තුර ඈත තියෙන එකක් නෙමෙයි දොර ළඟ­මයි තියෙන්නේ. යක්ෂයා දොර ළඟම ඉන්න නිසා අපට නැකත් හද හදා ගණන් බල බලා ඉන්න පුළු­වන් කමක් නැහැ. එය කෙසේ හෝ පරා­ජය කළ යුතු­මයි. ඒ අනුව ඇති වෙමින් තිබෙන තත්ත්වය ගැන වඩාත් බැරෑ­රුම්ව කල්පනා කරලා පක්ෂය අපෙන් කළ ඉල්ලී­මක් අනුව හංසයා ලකුණ යටතේ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදි පෙර­මු­ණෙන් ඉදි­රි­පත් වන අපේ­ක්ෂ­ක­යාට ඡන්දය දෙන්න ඕනෑ කියලා අපි තීර­ණය කළා.

ඔය කියන බර­ප­තළ අව­දා­නම මොකක්ද?

සම­හර අය මේ බර­ප­ත­ළ­කම නොතේ­රෙ­නවා වගේ හිටි­යට හොඳ­ටම තේරෙ­නවා. නමුත් ඔවුන් පක්ෂ­ය­කට හෝ යම් පුද්ග­ය­කුට තිබෙන කැමැත්ත මත එය නොස­ලකා හරි­මින් තිබෙ­නවා. ඔහුගේ අතී­තය මොකක්ද කියලා අපි මෙතැ­නදි කල්ප­නා­වට ගන්න ඕනෑ. සුදු වෑන් සංස්කෘ­තිය, රතු­ප­ස්වල වතුර ඉල්ලපු මිනි­ස්සුන්ට වෙඩි තැබූ ආකා­රය, කටු­නා­යක වෙඩි තැබීම, හලා­වත ධීව­ර­යන්ට පහ­ර­දීම, මාධ්‍ය­වේ­දීන් අත­රු­ද­හන් කිරීම, ක්‍රෑර ලෙස පහ­ර­දීම හා ඝාත­නය කිරීම, ශිරාණි බණ්ඩා­ර­නා­යක අග විනි­සු­රු­ව­රිය ව්‍යවස්ථා විරෝ­ධීව හා ශ්‍රේඨා­ධි­ක­ර­ණය නීති විරෝධී බව කියද්දි ධුර­යෙන් ඉවත් කළා. මේ වගේ දිග ලැයි­ස්තු­වක් තියෙ­නවා.

රාජ­පක්ෂ මහ­ත්තයා වටේ ඉන්න බල­වේග ඉතාම අන්ත­වාදී හා වෛරී අද­හස් තියෙන උද­විය. හොඳම උදා­හ­ර­ණය තමයි ගෝඨා­භය මහතා නාය­ක­ත්වය දෙන වියත් මඟ සම්මේ­ල­න­යේදී මේජර් ජන­රාල් කමල් ගුණ­රත්න කිය­නවා නව ව්‍යව­ස්ථා­වක් සඳහා උදව් කරන ඕනෑම කෙනෙක් එල්ලලා මරන්න ඕනෑ. මරලා දණ හිසින් උඩට මිනි­ය­වත් උස්සන්න දෙන්න හොඳ නැහැ කියලා. ඒ වගේම හිටපු මන්ත්‍රී සහ නාවික හමු­දාවේ උසස් නිල­ධා­රි­යෙකු වන සරත් වීර­සේ­කර ඔහුත් කියා සිටියා නව ව්‍යව­ස්ථා­ව­කට සහාය දෙන අය රාජ්‍ය­ද්‍රෝ­හීන් හැටි­යට සල­කලා එල්ලු­ම්ගස් යවන්න ඕනෑ කියලා. එයින් පේන්නේ ඔවුන්ගේ පාල­න­යක් ආවොත් මේ රටේ පුර­වැ­සි­යන්ට මුහුණ දෙන්න වෙන තත්ත්වය. මේ වෙද්දි ඒ අය කට­වල් වහ­ගෙන ඉන්නේ සුළු ජාතික ප්‍රජා­වගේ ඡන්ද ගන්න ඕන නිසා.

ඔබ­ලාගේ සම­ස­මාජ ව්‍යාපා­රය සමඟ දේශ­පා­ල­නය ආරම්භ කළ නලින් ද සිල්වාත් එතැන සිටි­නවා නේද?

කියන්න කන­ගා­ටුයි ඔහු තමයි අද මේ සිංහල ජාති­වාදී කොට­ස්ව­ලට නාය­ක­ත්වය දෙන න්‍යාචා­ර්ය­ව­රයා. එතුමා ගෝඨා­භය නම් කරන්න කලින් කිව්වා.“ ගෝඨා­භය නම් කරන්න දෙයක් නැහැ. මේ රටේ ජාති­ක­වාදී බල­වේග ඔහු පිළි­අ­රන් ඉව­රයි. ශ්‍රී ලංකා පොදු ජන පෙර­මු­ණට තියෙන්නේ එය අනු­මත කරන්න විත­රයි” කියලා. මේ ළඟදි කිය­නවා “අපි ගෝඨා­භය එක්ක හදන්නේ මහින්ද පන්නයේ ආණ්ඩු­වක් නෙමෙයි. අපි හදන්න යන්නේ ගෝඨා­භය රාජ­ප­ක්ෂගේ ආණ්ඩු­වක් ”. ඒ නිසා අපිට හිතා­ගන්න පුළු­වන් ගෝඨා­භය රාජ­ප­ක්ෂගේ ආණ්ඩුව මොන වගේ ආණ්ඩු­වක් වෙයිද කියලා. මේකෙන් තෙරුම් ගන්න පුළු­වන් එක දෙයක් තමයි ඔවුන්ගේ අණ්ඩු­වක් යටතේ මහින්ද රාජ­පක්ෂ මහ­ත්ත­යාට තැනක් නැති වෙලා යනවා කියන එක.

එතුමා ළඟ යම් අධි­කා­රී­වාදී අද­හස් තිබුණා වුණත් වසර පන­හ­කට ආසන්න කාල­යක් දේශ­පා­ල­න­ඥ­යකු ලෙස කට­යුතු කරලා ජනතා අද­හ­ස්ව­ලට පිටින් යන්න අදි­මදි කරන ස්වභා­ව­යක් එතුමා තුළ තිබුණා. අව­සාන කාලයේ එතුමා එහෙම කළා නමුත් ඒක ඔහු පහ­සු­වෙන් නෙමෙයි කළේ. නමුත් ගෝඨා­භ­යට එවැනි සංවේදී භාව­යක් නැහැ. මං එක වේලා­වක මහින්ද මහ­ත්ත­ය­ගෙන් ඇහුව්වා “හදි­සි­යේ­වත් ගෝඨා­භය මහ­ත්තයා ජනා­ධි­පති වුණොත් 19යට කොහො­මද බල­පාන්නේ කියලා”. එයා කිය­නවා “ගෝඨාට ඕවා ප්‍රශ්න­යක් නැහැ. එයාට ඔය නීති බල­පාන්නේ නැහැ කියලා”. ඒ නිසා අපි දන්නවා මේ අය බල­යට ආවොත් මේ රටේ ඇති වෙන්නේ පැසි­ස්ට්වාදී ක්‍රෑර අන්ත­වාදී පාල­න­යක්. එහෙම වුණාම අපි අාපසු යන්නේ කතා කරන්න බැරි කාලෙ­කට, නිද­හස නැති කාලෙ­කට සුදු වෑන් එන කාලෙ­කට.

 නමුත් ඔහු වැඩ කරන්න දක්ෂ අයකු බව කිය­නවා. 

ඔය කියන්නේ නාග­රික සංව­ර්ධන අධි­කා­රිය ආර­ක්ෂක අමා­ත්‍යං­ශය යටතේ තියා­ගෙන කරපු දේවල් වෙන්න ඕනෑ. ඔව් එතුමා නගර අලං­ක­ර­ණය කළා. ඒව­ගේම පැල්පත් නිවා­ස­වාසී ජන­තාව ඒ අයගේ නිවා­ස­ව­ලින් බල­හ­ත්කා­ර­යෙන් එළි­යට ඇදලා දැම්මා. පොලි­සි­යට ගිහින් පැමි­ණි­ල්ලක් කරන්න, තමන්ගේ අයි­තිය වෙනු­වෙන් නඩු මඟට යන්න ඉඩ දුන්නේ නැහැ. ජන­තාව බය වෙලා හිටියේ. අපි දන්නවා පාරක් ලොකු කරන්න ගියත් මිනි­ස්සුන්ගේ හඬට කන්දෙන්න ඕනෑ. ඔවුන්ගේ විරෝ­ධය ප්‍රකාශ කරන්න ඉඩ­දෙන්න ඕනෑ. කෙනෙ­කුට අවශ්‍ය නම් උසාවි යන්න පුළු­වන් නමුත් ඔහු නාග­රික සංව­ර්ධන අධි­කා­රිය පාල­නය කරපු කාලයේ එහෙම අව­කා­ශ­යක් ඇති කළේ නැහැ. ඉස්සෙ­ල්ලම ඒ ස්ථාන­ව­ලට හමු­දාව ඇරියේ. ගිහින් කිය­නවා පාර ලොකු කරන්න යන්නේ වහාම ඉවත් වෙන්න කියලා. එහෙම තමයි ඒවා වුණේ. බැරි­වෙ­ලා­වත් ඔහු ආවොත් ඒවගේ නීතිය වල්වැ­දුණු යුග­යක් ස්ථිර වශ­යෙන් ම එනවා. ඒක කාට­වත් වළ­ක්වන්න බැහැ.

 මේ අව­ස්ථාවේ ජන­තා­වට හා සෙසු වාමා­ශි­ක­යන්ට ඔබ කරන යෝජ­නාව මොකක්ද?. 

අපට දක්ෂි­ණාං­ශික පක්ෂ සමඟ විශාල ප්‍රශ්න තිබෙන ඒක ඇත්ත. නමුත් අපට දේශ­පා­ල­නය කරන්න පුළු­වන් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අව­කා­ශ­යක් තිබු­ණොත් විත­රයි. ඒ නිසා වාමා­ශි­ක­යන් වන අපි දැන් න්‍යායන් කතා කර කර ඉඳලා වැඩක් නැහැ. යක්ෂයා දොර­ක­ඩ­ටම ඇවිත් ඉන්නේ. ඒ නිසා වාමා­ශි­ක­යන් විදි­යට ජාතික ජන­බ­ල­වේ­ග­යට අපි ආරා­ධනා කර­නවා. න්‍යායික ප්‍රශ්න අපි පසුව විසඳා ගනිමු. මේ වෙලාවේ බැටළු හම පෙර­වා­ගෙන එන මේ යක්ෂයා පරා­ජය කළ යුතු­මයි. ඒ සඳහා පළමු මනා­පය දෙන්න කියන්න බැරි නම්; දෙවන මනා­පය හෝ හංසයා ලකුණ යටතේ තරග කරන නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මු­ණට ලබා­දෙන්න කට­යුතු කරන්න කියල ඉල්ලී­මක් කර­නවා.

 

Comments