මාධ්‍ය නිද­හස, මාධ්‍ය­වේ­දියා සහ වාර්තා­ක­ර­ණය ගැන සිළුමිණෙන් ප්‍රශ්න පහක් | සිළුමිණ

මාධ්‍ය නිද­හස, මාධ්‍ය­වේ­දියා සහ වාර්තා­ක­ර­ණය ගැන සිළුමිණෙන් ප්‍රශ්න පහක්

න මාධ්‍යය යනු රටක සිවු වැනි ආණ්ඩුව යනුවෙන් සැලකේ. එහෙත් මාධ්‍ය නිදහස යනු මාධ්‍ය හිමිකරුවන්ට අවශ්‍ය නිදහස නොවේ. මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් වෙයි. එය සුරැකීම මාධ්‍යකරුවන්ගේ යුතුකමයි. මාධ්‍යවේදියාගේ නිදහසට මැදිහත් නොවීමෙන් වඩා සත්‍යවාදී තොරතුරු ජනතාවට රැගෙන යෑමට පාවිච්චි කිරීම මාධ්‍යවේදීන්ගේ වගකීමයි. මෙරට පසුගාමී මාධ්‍යකරණය යළිත් සිහිපත් කරවන සිදුවීම් කිහිපයක් සමඟ මාධ්‍ය නිදහස පිළිබඳ කතා බහ නැවත කරලියට පැමිණෙන්නට විය. ලෝක දේශපාලනයේ කේන්ද්‍රය ජනමාධ්‍ය බවට පත්වී තිබේ. මාධ්‍ය නිදහස යනු සීමා මායිම් නැති නිදහසක් නො‌ෙව්.

 

ජනතාවට සත්‍ය තොරතුරු රැගෙන යාමේ අතර මැදියා මාධ්‍යකරුවාය. පක්ෂග්‍රාහී වෙමින් කටයුතු කිරීම මාධ්‍යකරුවන්ගේ කාර්යභාරය නොවිය යුතුය. සිය මාධ්‍ය අයිතිවාසිකම් රැකගෙන කටයුතු කිරීමට මාධ්‍යයට හැකිනම් එය වඩා ප්‍රගතිශීලි වනු ඇත. මාධ්‍යකරුවා වඩාත් සත්‍යවාදී මිනිසකු යැයි ජනතාව තුළ යම් මතයක් ගොඩ නැඟී ඇති නිසාම දේශපාලඥයන්ට පාලකයන්ගේ කතාවලට වඩා මාධ්‍ය පිළිබඳ යම් විශ්වාසයක් ජනතාව තුළ වෙයි. අපක්ෂපාතිව හා සමබරව වාර්තා කිරීම මාධ්‍යයේ වගකීමකි. විවිධ න්‍යායපත්‍ර හමුවේ ඇතැම් මාධ්‍යකරුවන් කටයුතු කරනු ලබයි. සිව්වැනි ආණ්ඩුව වන මාධ්‍ය විසින් ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රික ලක්ෂණ රැක ගනිමින් සිය කාර්යය ඉටු කළ යුතු බව අවිවාදිතය.

මධ්‍යස්ථව, සබුද්ධිකව පාලකයන්ට සහ ජනතාවට සැබෑ දිශානතිය පෙන්වන්නෙකු ලෙස මාධ්‍යවේදියා නිසි තැන සිට ගනිමින් කටයුතු කළ යුතුය. මාධ්‍යයේ වඩා වැදගත් කාර්ය භාරය එයයි.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්

1.ජනමාධ්‍ය කියන්නේ ලෝකයේ ඉතිහාසය පුරාවටම බලපෑම සහගත මැදිහත්වීමේ ආකෘතියක්. අපි එයට සිවුවන ආණ්ඩුව කියලා කියනවා. ජනතාව එසේ නැත්තම් මිනිසා කියලා කියන්නෙත් හිතන පතන කතා කරන සහ අදහස් හුවමාරු කරන සත්වයෙක් නිසා, ඒ හුවමාරු කරන අදහස් එකිනෙකා අතර පවතින්නේ, එහෙමත් නැත්තම් ගලා යන්නේ ජන මාධ්‍ය තුලයි.

ඒ නිසා පුවත්පත්, ගුවන් විදුලිය , රූපවාහිනිය එහෙම නැත්නම් ඒ සියල්ලටම වඩා අලුත් ඩිජිටල් අවකාශය ඔස්සේ හෝ මතු කරන අදහස් ගලා යනවා, ඒ නිසා ජනමාධ්‍ය කියන්නේ මිනිස් සමාජය බහා තබා තියෙන, එහෙම නැත්තම් මිනිසා ජීවත්වන වටපිටාව තුළ විසිරිච්ච අදහස් පද්ධතියක්, කැටිකරගත් අවකාශයක්.   

2.ලංකාවේ මාධ්‍ය නිදහස කියන්නේ එක දවසක වැඩක් නෙවෙයි, මේක අපේ රට බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් වූ දා ඉඳලම තිබුණා . ඒ අනුව මේ රටේ මාධ්‍යට විශාල ඉඩක් තියනවා. රාජ්‍යයය පෞද්ගලික යන දෙඅංශයම ජනමාධ්‍ය ක්ෂේත්‍රය ඉතාම සක්‍රීය විදිහට දායක වෙනවා, සමහර රටවල් තියෙනවා රජයේ ජනමාධ්‍ය නැහැ. පෞද්ගලික අංශයේ විතරයි තියෙන්නේ. ලංකාවේ මේ දෙඅංශයම තියෙනවා. ආසියාවේ බොහෝ රටවල්වල මේ අංශ දෙකම තියෙනවා. එතකොට මේ අංශ දෙක ලංකාව ඇතුළේ විශාල නිදහසක් භුක්ති විඳිනවා . ලංකාවේ ජනමාධ්‍ය ඇතුළේ කතා කරන්න බැරි මාතෘකාවක් නැහැ. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ජනමාධ්‍ය අවකාශය නියාමනය වීමයි, ඒ කියන්නේ ආචාර ධර්ම පද්ධතියක් ඇතුළේ වැඩ කිරීමයි.

නියාමනය, ආචාර ධර්ම පද්ධතිය සහ මාධ්‍යවේදීන්ට තියෙන පුහුණුව යන කාරණා තුනම ඉතාම වැදගත්. නමුත් ලංකාව ඇතුළේ මේ සංකල්ප තුනේ ගැටුම්කාරීත්වයන් තියෙනවා.

3.මෙහි පැති දෙකක් තියෙනවා, එකක් තමයි මාධ්‍ය නියාමනය කිරීම. ඒක රජයකට අයත් දෙයක්. මාධ්‍ය නියාමනය එක පැත්තකින් සිදු වෙනවා, ඒ වගේම මාධ්‍යයටත් පුළුවන් ස්වයං නියාමනයක් හදාගන්න. ඒ නිසා මාධ්‍ය නියාමනය කියන කාරණය රජයෙන් වගේ ම අදාළ මාධ්‍ය ආයතනයෙනුත් සිදු කරනවා. හැබැයි මාධ්‍ය ආචාර ධර්ම කියන දේ රජයෙන් ලබාදිය යුතු නැහැ. මාධ්‍ය පුහුණුව කියන දේ පුද්ගල බද්ධ දෙයක්. ඒක වෙන වෙනම පුද්ගලයන් විසින් සිදු කළ යුතු දේවල් ඒ නිසා මාධ්‍ය නියාමනය, මාධ්‍ය ආචාර ධර්ම, පුහුණුව කියන කරුණු තුනම මාධ්‍යයට තිබිය යුතුයි. එක පැත්තකින් රාජ්‍යයටත් මැදිහත් වෙන්න පුළුවන් තව පැත්තකින් පෞද්ගලික අංශය විසිනුත් සිදු කළ යුතුයි.

4.කැළැල කියන කාරණය, ඒ ඒ දෘෂ්ටි කෝණයන්ට අනුව සිදු වන දෙයක්. ජනතා විමුක්ති පෙරමුණ වේවා කිසියම් රජයක් වේවා, ඒ ඒ කාලවල විපක්ෂයේ සමහර දේශපාලන කණ්ඩායම් සහ එල්ටීටීඊ සන්නද්ධ ව්‍යාපාරය පවා ජන මාධ්‍යයට විවිධ බලපෑම් එක් එක් කාලවලදී සිදු කළා.

ඒක නිසා ඒ බලපෑම්වලින් සමාජය ගලවන්න සිද්ධවෙන්නේ විශාල මහන්සියකින්. ඉතින් 83 ඉඳලා 2009 වෙනකම් උතුරේ වෙච්ච තත්ත්වයත්, ඒ වගේම 71 දී සහ 89 දී දකුණෙ වෙච්ච තත්ත්වයත් මේ රටට විශාල බලපෑමක් සිදු කළා. ඒ බලපෑම් දෙකට අමතරව ඒ ඒ රජයන් අතරත් විවිධ බලපෑම් සිදුවෙලා තියෙනවා.

5.ඒ කරුණේ පැති දෙකක් තියෙනවා, එකක් මාධ්‍ය නිදහස කියන එක හැමකෙනාටම හිමිවිය යුතු දෙයක්. ඒක රජයේත් පෞද්ගලික

අංශයේත් දෙකේදීම. ඒ වගේම, පෞද්ගලික අංශය ගත්තොත් එහි මාධ්‍ය ආයතන හිමිකරුවන් කියන අයගේ පෞද්ගලික අභිලාෂයට වඩා සමාජ අභිලාෂයන් තෝරාගැනීම තමයි වෙන්නේ, මෙතනදි ඇත්තටම සමාජ අභිලාෂයන් රාශියක් තියෙනවා. කාඩ් කුට්ටම් වගේ, කොයි කොළේද ඉස්සරහට දාන්නද කියන එක තීරණය කරන්නේ කවුද කියන එකයි ඔය ඔබ අහන ප්‍රශ්නේ, ඒක තීරණය කරන්න රජයේ නම් එහි ප්‍රධානියෙක් ද, පෞද්ගලික අංශයක නම් ඒකෙ ඉන්න ප්‍රධානියා ද කියලා, ඕක ඉතින් ඇත්තටම පිළිතුරක් හරියටම නැති නමුත් වැදගත් ප්‍රශ්නයක්, ඒ කියන්නේ සමාජ අභිලාෂ, එහෙමත් නැත්නම් සමාජ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේ තියෙන අභිලාෂ සහ ප්‍රශ්න තුළින් කිනම් දේද ඉදිරියට ගන්නේ කිනම් දේද යටට යන්නේ කියන එක තීරණය කරන්නා කවුද කියන එක තමා ඔබ අහන්නේ, හැබැයි ඒ ප්‍රශ්නයට පිළිතුර මේකයි කියලා හරියටම කියන්න බැහැ. එක එක තලයන් තුළ සමහර කාලයක ඒකෙ ක්‍රියාත්මක වෙන්නේ සමාජයේම පිළිගත් ආකෘතීන් ඇතුළේ, සමහර කාල වල එහෙම වෙන්නේ නෑහැ, සමහර කාලවල ඒක වෙන්නේ එක එක පුද්ගල බද්ධ සාධක මත, ඒ නිසා මේ දෙකම තියෙනවා.

 

 ජනතා විමුක්ති පෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

1.ජනතාවට සත්‍ය දැනගැනීමේ අයිතියක් තියනවා. ඒ අයිතිය නිසි ලෙසින් සාක්ෂාත් විය යුතුයි. ඒ වගේම තොරතුරු සන්නිවේදනය කිරීමේ නිදහස ලබාදිය යුතුයි. සාවද්‍ය විග්‍රහවලින් වැළකිය යුතුයි. වැරදි විග්‍රහයන් යම් මාධ්‍යවලින් සන්නිවේදනය වීම වරදක්. සත්‍ය තොරතුරු නිවැරදිව දැනගැනීම මාධ්‍ය නිදහසේ මූලික අංගයක්.

 

2.හැමදාම මාධ්‍ය පාලනය කරන්නේ මාධ්‍ය හොබවන්නේ පවතින ආණ්ඩුවයි. මාධ්‍යවලට බලපත්‍ර දෙන්නේ පවතින ආණ්ඩු විසින්. මාධ්‍යවලට විදුලි සංදේශ නියාමන කොමිසම බලය ලබා දෙනවා. එයත් රජයට අයත් ආයතනයක්. මුද්‍රිත මාධ්‍ය ප්‍රාග්ධනය හසුරුවන්නේ පවතින ආණ්ඩුවල බලඅධිකාරිත්වයට යටත්වයි. හැමදාම වගේ කවර ආණ්ඩුවක් බලයේ සිටියත් ඒ ආණ්ඩුවේ බලඅධිකාරියට යටත් වෙලයි මාධ්‍ය පවතින්නේ. මේ රටේ සැබෑ මාධ්‍ය නිදහසක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

3.තොරතුරු ලබා ගැනීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනතාවගේ මූලික අයිතිවාසිකමක්. ඒ අයිතිය රජය අනිවාර්යෙන්ම ලබා දිය යුතුයි. ජනතාවට නිවැරැදි තොරතුරු ලබාදීමට නිදහස් මාධ්‍ය පැවැත්මක් තහවුරු කළ යුතුයි. මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය මැදිහත් වෙලා ගත යුතු දෙයක් නොවෙයි. ජනතාව වෙනුවෙන් ජනතාව වෙත ලබා දිය යුතු දෙයක්.

4.හැමදාම රජයන් තමන්ගේ පැවැත්ම උදෙසා මාධ්‍ය පාවිච්චි කරනවා. බලය පවත්වාගන්න මාධ්‍ය බෙදා ගන්නවා ඒ නිසා මාධ්‍ය නිදහස පිළිබඳව කතිකාවක් ඇතිවිය යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ 2001 දී ස්වාධීන කොමිෂන් සභා හඳුන්වා දෙන්න හැදුවා. ස්වාධීන කොමිෂන් සභාවක් සම්මත කරන්න කියලා අපි යෝජනා කළා. එය අපි කළේ ආණ්ඩු මාධ්‍ය පාලනය කරන නිසා. අදටත් ස්වාධීන මාධ්‍ය කොමිසමක අවශ්‍යතාව තදින් දැනෙනවා. මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන් වෙත විවිධ කාලවලදී විවිධ මර්දනයන් ක්‍රියාත්මක කළා, මාධ්‍යවේදීන් ඍජුවම ශාරීරිකව මානසිකව කායිකව මර්දනයන් වෙනවා, එය එදා සිට අද දක්වා තවමත් සිදු වෙනවා, එයට එරෙහිව ජනතාවගේ පැත්තෙන් සටන් කරලා අද තියන ප්‍රමාණයට හෝ මාධ්‍ය නිදහස ලබාගෙන තියෙන්නේ. නමුත් එය ප්‍රමාණවත් නැහැ. තව බොහෝ ලබා ගත යුතු දේවල් තියනවා. මාධ්‍ය නිදහස කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සමඟ ගැටගැසුණු දෙයක්.

 

5.මාධ්‍යවේදින් හා මාධ්‍ය හසුරුවන්නන්ගේ ප්‍රාග්ධනය විසින් ස්වාධීන මාධ්‍යවේදීන්ට තමන්ගේ කටයුතු හෘද සාක්ෂියට අනුව කරන්න බැරිවෙලා තියනවා. තමන් නියෝජනය කරන ආයතනයට බලඅධිකාරියට යටත් වියයුතු තත්ත්වයක් තියනවා, එය ශෝචනීය තත්ත්වයක්. කොන්ද කෙළින් තියාගෙන ඉන්න වරදාන වරප්‍රසාදවලට යටවෙන්නේ නැති මාධ්‍යවේදීන් යම් පමණක් මේ හැසිරවීමේ වරදට එරෙහිව කටයුතු කිරීමට උත්සාහ කළත් බහුතරයක් මාධ්‍යකරුවන්ට එසේ කළ නොහැකි වෙලා තියනවා .

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී  ඉමිතියාස් බාකිර් මාකර්

1.මාධ්‍ය නිදහස ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික අංගයක්. ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක මූලික මිනිස් අයිතිවාසිකමක් මෙන්ම පැවැත්මත් සමඟ බැඳී පවතින්නක්. විශේෂයෙන් නිවැරදි තොරතුරු ජනතාවට ලැබෙන්නේ නැතිනම් මිනිසුන් වැරදි තීන්දු ගන්න පුළුවන්. මාධ්‍ය නිවැරදි තොරතුරු ජනතාවට ලබාදීමෙන් ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම ආරක්ෂා වෙනවා. එකම කාසියක දෙපැත්ත වගේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස. මාධ්‍ය නිවැරදිව හැසිරවීමට අදීනව කටයුතු කිරීමට මාධ්‍යවේදීන්ටත් යුතුකමක් තියෙනවා.

2.මමත් විපක්ෂ පක්ෂයේ ඉන්නේ ඒ වගේම මමත් ජනතාවගෙන් එක් අයෙක්. මම නම් තෘප්තිමත් වෙන්නේ නැහැ මාධ්‍ය නිදහස පිළිබඳව. නිදහස් මාධ්‍ය භාවිතයක් තියනවා කියලා ජනතාවගෙන් කෙනෙක් මෙන්ම විපක්ෂයේ කෙනෙක් කියලත් මම තෘප්තිමත් වෙන්නේ නැහැ. මාධ්‍ය ගතහොත් පුද්ගල හිමිකාරිත්වය සහ රජයේ හිමිකාරිත්වය මතයි සියලු දේවල් රඳා පවතින්නේ. ආණ්ඩුව හිමිකාරිත්වය කිව්වට දේශපාලන පක්ෂයක හිමිකාරිත්වය විදිහටයි අපි මෙය දකින්නේ. නිදහසක් බලාපොත්තු වෙන්න පුළුවන් තැනක මාධ්‍ය තියනවාද. මේ වනවිට මාධ්‍ය හිමිකාරිත්වය වාණිජ අරමුණ දිනා ගැනීම උදෙසා දේශපාලනික අරමුණුවලටත් යොමුවෙලා තියෙනවා. පක්ෂග්‍රාහි අරමුණුවලට යන මාධ්‍ය නිසා මිනිසුන්ට නිවැරදි තොරතුරු ගලානොයන අවධානමක් අපි දකිමින් තියනවා . මේ වනවිට ආණ්ඩුවට විශාල මාධ්‍ය බලයක් නිර්මාණය වෙලා තියනවා.

3.රජයක් විසින් ලබාදෙන දෙයක් නොවෙයි. ප්‍රජාතන්ත්‍රීක සමාජයක මූලික අයිතියක්. මාධ්‍යයට නිදහසත් සමඟ වගකීමකුත් තියනවා. නිවැරදි තොරතුරු ලබාදීමට ස්වයං ශික්ෂණයක් තිබිය යුතුයි . ජනමාධ්‍යවල වගකීම පිළිබඳව අපි සැලකිලිමත් විය යුතු වන්නේ ප්‍රජාවත් සමඟ බැදිලා තියන නිසා. මාධ්‍යයේ නියැළිලා ඉන්න අයට ඉතා වැදගත් ස්වයං ශික්ෂණයක් තිබිය යුතුයි. ජනතාවත් සමඟයි ඒ වගකීම බැඳිලා තියෙන්නේ. එය ලොකු අභියෝගයක්.

4.ජනතා විමුක්ති පෙරමුණ බිත්තියට හේත්තු කරන්නට මෙවැනි ප්‍රශ්න ගොඩනැගීමේ අපෙක්ෂාවයි. අඩු පාඩු කම් ජනතා විමුත්ති පෙරමුණේ එක් යුගයක තිබුණා විය හැකියි. ඒ අය අද වනවිට ප්‍රජාතන්ත්‍රවාදි රාමුවක් තුළ හැසිරෙන්නට උත්සාහ කරනවා. අතිතයේ කැළැල් පෙන්වලා ලේබල් ඇලවීමක් නොවෙයි කළ යුතු වන්නේ. ඒ අය මතු කරන ප්‍රශ්නවලට රජයක් ලෙස පිළිතුරු දිමයි වැදගත් වෙන්නේ. ඉතිහාසය ජනතාව දන්නවා. තමන්ගේ වැරදි වහගන්න අනෙක් පාර්ශ්ව පලිහක් කරගැනීම නොවෙයි වැදගත් වෙන්නේ. අනෙක් අයට මඩගහන්න ගිහින් ආණ්ඩුව විසින් මාධ්‍යයට කරන හානිය වහගන්න බැහැ. නිදහස් මාධ්‍ය කලාව කොටුකරන්නේ සීමා කරන්නේ නැතුව වැඩ කරන්න කියල අපි රජයෙන් ඉල්ලන්නේ.

5.ආණ්ඩුව විසින් මෑතක සිට ඍජු නොවන තර්ජනයක් මාධ්‍යයට එල්ල කරනවා. මාධ්‍ය ආයතනවල අයිතිකරුවන්ගේ නිදහස නොව මාධ්‍ය නිදහසයි තිබිය යුතු වන්නේ. ලෝකයේ දියුණු රටවල මාධ්‍ය ස්වාධීනයි. නමුත් අද අපේ මාධ්‍යකරුවන්ට වෙනත් අයගේ න්‍යාය පත්‍රවලටත් වැඩකරන්න වෙලා. අද මාධ්‍යකරුවන් බය කරන්න හදනවා. කාටද මේ තර්ජන ආණ්ඩුව එල්ල කරන්නේ. එය අසාධාරණයි. මේ පවතින ක්‍රමවේදය ප්‍රතික්ෂේප කළ මාධ්‍යවේදීන්ට මේ රටේ ඉන්න පුළුවන් වුණාද? මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහසක් ගැන කතා කරලා එය සමාජගත කරන්න අලුතින් උත්සාහයක් කරනවා. කළ යුතු වන්නේ මාධ්‍ය නිදහස ලබා දීමයි. ප්‍රජාතන්ත්‍රවාදය තුළ තිබිය යුතු මූලික අයිතියක් මාධ්‍ය නිදහස. දේශපාලකයන්ට ජනතාවට මාධ්‍යවේදීන්ට මේ මාධ්‍ය නිදහස පිළිබඳව නිවැරැදි තොරතුරු පිළිබඳව වගකීමක් තියනවා. එවිට ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට යනවා. අධිපතිවාදය හිස ඔසවනවා. අද ඒ අභියෝගයටයි අප මුහුණ දී තියෙන්නේ.

Comments