මෙදා පාර මාතලේ කාටද? | සිළුමිණ

මෙදා පාර මාතලේ කාටද?

 "මාතලේ දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11ක් පුරා විහිදුණු ගම්මාන 1373 කින් සමන්විත ලක්ෂ 04කට අධික ජනගහනයක් වෙසෙන ප්‍රදේශයකි. ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී

මාතලේ දිස්ත්‍රික්කයේ නවක ඡන්දදායකයන් 6073ක්ද සමඟ ඡන්දදායකයෝ 407569ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති."

 

ලංකාවේ තවත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සුදානම්ව පවති. දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් තම නාම යෝජනා බාර දුන්නේය.පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජන මතය උරගා බැලිමට පසුගිය කාල පරාසය තුළ පාර්ලිමේන්තුව නියෝජනය කළ මහජන නියෝජිතයන්ගෙන් දිස්ත්‍රික්කයට යම් කිසි කාර්යයක් වූවාද යන්න විමසා බැලීම කාලින අවශ්‍යතාවකි.

 

ශ්‍රී ලංකාවේ මධ්‍ය ප්‍රදේශය ලෙස සැලකෙන මාතලේ දිස්ත්‍රික්කය වර්ග කි.මී.1993.3කින් සමන්විතය. උතුරෙන් අනුරාධපුරයද නැගෙනහිරින් පොෙළාන්නරුව, බදුල්ල හා අම්පාරද, දකුණින් මහනුවර ද, බටහිරින් කුරුණෑගල ද යන දිස්ත්‍රික්කවලින් මායිම් වන මාතලේ දිවයිනේ ස්වභාවික සම්පත්වලින් අනුන ප්‍රදේශවලින් එකකි.

ලොව අති විශිෂ්ට නිර්මාණයක් වූ සීගිරියද සොබා දහමේ අපූර්වතම දායාදයක් වන නකල්ස් කඳු වැටිය ද පිහිටි මාතලේ දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 ක් පුරා විහිදුණු ගම්මාන 1373 කින් සමන්විත ලක්ෂ 04 කට අධික ජනගහනයක් වෙසෙන ප්‍රදේශයකි.

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී මාතලේ දිස්ත්‍රික්කයේ නවක ඡන්දදායකයන් 6073ක්ද සමඟ ඡන්දදායකයෝ 407569ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.

මාතලේ දිස්ත්‍රික්කය මැතිවරණ කොට්ඨාස 4කින් සමන්විත වන අතර පල්ලේපොළ, ගලේවෙල හා දඹුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් සැදුම් ලත් දඹුල්ල මැතිවරණ කොට්ඨාසයේ ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 142,138කි.

අඹන්ගග කෝරලේ, නාවුල, ලග්ගල හා විල්ගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල එකතුවෙන් සැදුණු ලග්ගල මැතිවරණ කොට්ඨාසයේ ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 74,409 කි.

මාතලේ හා යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් සැදුම්ලත් මාතලේ මැතිවරණ කොට්ඨාසයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 90,964ක් වේ. උකුවෙල හා රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඇතුළත් රත්තොට මැතිවරණ කොට්ඨාසයේ මෙවර ඡන්දදායකයන් සංඛ්‍යාව 100,058 කි.

පිළිගත් දේශපාලන පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් අපේක්ෂකයන් අටදෙනා බැගින් ඉදිරිපත් කළ හැකි අතර මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගනු ලබන්නේ පස්දෙනෙකි.

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවැති මහා මැතිවරණවලදී වරින් වර දෙපසට දෝලනය වුණු මාතලේ දිස්ත්‍රික්කය ශ්‍රීලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල ජයග්‍රහණය කරන විට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල මාරුවෙන් මාරුවට පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ.

1989 වසරේ පැවති මහ මැතිවරණයේදි ජයග්‍රහණය කරන්නේ එක්සත් ජාතික පක්ෂය වන අතර ඔවුන් ඡන්ද 88869ක් ලබා ගෙන මන්ත්‍රීධුර හතරක් හිමි කරගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද 45717ක් රැගෙන පරාජයට පත් වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වන්නේ එක් මන්ත්‍රීධුරයකි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු විජේරත්න බණ්ඩා මහතා මනාප 31635ක් ලබාගන්නා අතර ඇලික් අලුවිහාරේ මහතා මනාප 31004ක් ලබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත් වන අතර පී.බී කවිරත්න මහතා මනාප 23541ක්ද වී.ජි ජිනදාස මහතා මනාප 22941ක්ද ලබාගෙන මාතලෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූහ.

එම මැතිවරණයේදි පළමු වරට පාර්ලිෙම්න්තු මන්ත්‍රීවරයකු ලෙස තේරි පත් වන නන්දිමිත්‍ර ඒකනායක මහතා ලබා ගත් මනාප සංඛ්‍යාව 17941කි. 1989 පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් අතරින් දැනට ජිවතුන් අතර සිටින්නේ නන්දිමිත්‍ර ඒකනායක මහතා පමණි.

ඉන් පසුව පැවැත්වෙන 1994 මහ මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුමුඛ පොදුජන එක්සත් පෙරමුණය. එම මැතිවරණයේදී පොදු ජන එක්සත් පෙරමුණ ඡන්ද 102680ක් ලබාගෙන මන්ත්‍රීධුර තුනක්ද එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 100121ක් ලබාගෙන මන්ත්‍රීධුර දෙකක්ද ලබා ගැනීමට හැකි විය.

1994 මැතිවරණයේදී පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මනාප 52437ක් ලබා ගත් අතර දෙවන වරටත් පාර්ලිෙම්න්තුවට තේරී පත් වන නන්දිමිත්‍ර ඒකනායක මහතා මනාප 51919ක් ලබාගත් අතර මොන්ටි ගොපල්ලව මහතා මනාප 40555ක් ලබාගෙන පාර්ලිෙම්න්තුවට තේරී පත් විය. 1989 පාර්ලිෙම්න්තුව නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ ඇලික් අලුවිහාරේ මහතා මනාප 61526ක් ද වී.ජි ජිනදාස මහතා මනාප 35474ක් ලබා ගෙන නැවත 1994 දී පාර්ලිමේන්තුවට තේරී පත් වූහ.

2000 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී නැවතත් ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණයි. එහිදී මොන්ටි ගොපල්ලව මහතා 1994 වසරේ ලබාගත් මනාප සංඛ්‍යාවම ලබා ගැනීමට සමත් වන අතර මනාප 40397ක් ලබා ගෙන මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වන අතර නන්දිමිත්‍ර ඒකනායක මහතා ලබාගන්නේ මනාප 39585කි. එම මනාප 1994 වසරේ ලබාගත් මනාප සංඛ්‍යාවට වඩා අඩු ප්‍රමාණයකි. ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත් වන අතර එම මනාප ප්‍රමාණය 42366කි. නමුත් එය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා 1994 වසරේ ලබාගත් මනාප සංඛ්‍යාවාට වඩා අඩු ප්‍රමාණයක් විය.

ලාංකිය දේශපාලනයේ උණුසුම්කාරී වාතාවරණයකදී 2001දී වසරේ දී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන අතර මාතලේ දිස්ත්‍රික්කයේද පිල් මාරු කිරීම් සිදු වූ අතර නන්දිමිත්‍ර ඒකනායක මහතා එක්සත් ජාතික පක්ෂයට එක් විය. එම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන අතර ඔවුන් මන්ත්‍රී ආසන තුනක්ද පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන දෙකක්ද දිනාගත්තේය.

ඇලික් අලුවිහාරේ මහතා මනාප 75620ක් ලබා ගත් අතර ඔහුගේ වැඩිමහල් පුත්‍රයා වන රංජිත් අලුවිහාරේ මහතා මනාප 72553ක් ලබාගෙන ප්‍රථම වරට පාර්ලිෙම්න්තුවට තේරී පත් විය. එහිදී සංජීව කවිරත්න මහතා මනාප 37226ක් ලබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත් වන්නේද ප්‍රථම වරටය.

පොදුජන එක්සත් පෙරමුණට හිමි වු මන්ත්‍රී ආසන දෙක සඳහා තේරී පත් වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මනාප 49959ක් ලබා ගත් අතර ප්‍රථම වරට පාර්ලිමේන්තුව නියෝජනයක් හිමි වු බන්දුල යාලේගම මහතා ලබාගත්තේ මනාප 35450කි. එම මැතිවරණයේදී තේරී පත් වූ මන්ත්‍රීවරුන් පස් දෙනා අතුරින් තිදෙනෙක්ම නවක මන්ත්‍රීවරු වුහ. ඒ, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ රංජිත් අලුවිහාරේ, සංජිව කවිරත්න සහ පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කළ බන්දුල යාලේගම යන මහත්වරුය.

2004 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණය එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරන අතර ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව සැදූ සන්ධානයකිනි. එහිදී මාතලේ මැතිවරණ ඉතිහාසයේ පළමු වරට කාන්තාවක පාර්ලිමේන්තුවට තේරී පත් වන අතර ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ සුජාතා අලහකෝන් මහත්මියයි. ඇය මනාප 57234ක් ලබාගත් අතර ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා මනාප 54711ක් ද ප්‍රථම වරට පාර්ලිෙම්න්තුවට තේරී පත් වන රෝහණ දිසානායක මහතා මනාප 37091ක්ද ලබා ගැනීමට සමත් වුහ.

එක්සත් ජාතික පක්ෂයේ පිය පුතුන් වන ඇලික් අලුවිහාරේ මහතා මනාප 39649ක් ලබා ගත් අතර රංජිත් අලුවිහාරේ මහතා මනාප 47152ක් ලබාගෙන පාර්ලිෙම්න්තුවට තේරී පත් වූහ.

නැවත 2010 වසරේ පවත්වන පාර්මේන්තු මැතිවරණයෙන්ද ජය ලබන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය වන අතර ඔවුන් මන්ත්‍රීධුර හතරක් දිනාගැනීමට සමත් වු අතර සන්ධානය නියෝජනය කරමින් තරග වැදුණු ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා මනාප 65077ක්ද ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා මනාප 47133ක්ද නන්දිමිත්‍ර ඒකනායක මහතා මනාප 35734ක්ද රෝහණ දිසානායක මහතා මනාප 32803ක් ද ලබා ගැනීමට සමත් වූහ. එම මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ එක් මන්ත්‍රීධුරයක් වන අතර ඒ මනාප 31529ක් ලබාගත් වසන්ත අලුවිහාරේ මහතාය.

2015 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂය විසිනි. එහිදි වසන්ත අලුවිහාරේ මහතා මනාප 75926 ක්ද රංජිත් අලුවිහාරේ මහතා මනාප 74785 ක්ද, රෝහිණී කවිරත්න මහත්මිය මනාප 41766 ක්ද ලබාගෙනය.

එම මැතිවරණයේදී එක්සත් ජනනා නිදහස් සන්ධානයට හිමි වූයේ මන්ත්‍රීධුර දෙකක් වන අතර ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා මනාප 79309 ක්ද ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා මනාප 61920 ලබාගත්හ.

නැවත වතාවක් පාර්ලිමේන්තු මැතිවරණයකට මාතලේ ජනතාව සුදානම්ව සිටිති. 1989 වසරේ සිට මේ දක්වා මාතලේ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු මෙන්ම වෙනත් ක්‍ර්‍රියාවලි තුළ දැක්වූ දායකත්වය මැන බැලීම කාලීන අවශ්‍යතාවකි.

නාමයෝජනා දී ඇති පිරිස අතරින් සැබෑවට දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමට කැප වීමෙන් කටයුතු කරන සැබෑ ජනතා නියෝජිතයන් පස් දෙනෙකු තෝරා ගැනීම ජනතා පරමාධිපත්‍ය හිමි ඡන්දදායකයාගේ වගකීමක් හා යුතුකමක් වන්නේය.

 

Comments