කුඩලිගම කව්ම‍ඟෙහි විවර වන ආලෝක දොරටු | සිළුමිණ

කුඩලිගම කව්ම‍ඟෙහි විවර වන ආලෝක දොරටු

බෞද්ධ සංස්කෘත සාහිත්‍යයට අයත් ‘ලලිතවිස්තර’ නම් ග්‍රන්ථයේ විස්තර වන්නේ බෝධිසත්ත්ව චරිතය සහ බුද්ධ චරිතය ගැනය. මෙහි පරිච්ඡේදයක් නම් කර ඇත්තේ ‘ධර්මාලෝකමුඛ පරිවර්ත’ නමිනි. ‘ධර්මාලෝකමුඛ’ යනු ධර්මය හා බැඳුණු ආලෝක දොරටුය. එහි බෝසතුන් පිවිසි දහම් ආලෝක දොරටු 108ක් ගැන සඳහන් වෙයි. ඒ 108 කෙසේ වෙතත් ඉන් 8කින් වත් අපට ඇතුළු විය නොහැකිද? ‘එසේ ඇතුළු විය හැකිය’ යනු අපගේ විශ්වාසයයි. මෙහිදී අප විමසනුයේ කොළඹ කවි යුගය ශෝභාවත් කළ එච්ඇම් කුඩලිගම කිවිඳුන්ගේ නිර්මාණ ආලෝක දොරටු බවට පත් කොටගැනීමය! මෙතැන් සිට කුඩලිගම කවි ඇසක් කොටගනිමින් කායසංවර, වාක්සංවර, මනඃසංවර, කරුණා, උපේක්ෂා ධර්මඥතාදි ආලෝක දොරටුවලින් ඇතුළු වීමට යත්න දරමු.

සංවරාලෝක දොරටුව

කය, වචනය සහ මනස සංවර කරගනු රිසි කා හට වුව කුඩලිගම කවි කමටහනකි; ආලෝක දොරටුවකි. කුඩලිගේ ‘ඈ’ මේ සඳහා හොඳම නිදසුනයි. මේ එයිනෙකකි:

“පිරිසුදු සෙනේහය ඇති තැන සියලු අගෙන්

රාගික හැඟීමේ පෙණ පිඬු තරඟ දිගෙන්

නොනඟින බවට පෙම් සිතිවිලි නමැති ගඟෙන්

පාඩම් ලැබෙයි මට ඔබගෙන් ඔබට මගෙන්”

මෙ-කව අපේ කය සංවර කරයි. මෙහි වචන යෝජනය කවියාගේ වාක්සංවරයට සාක්ෂි දරයි. එපමණක් නොව මෙකව අපේ මනස ද සංවර කරන්නේ වෙයි. එහෙයින් යථෝක්ත කවිය කාය-වාක්-මනඃ යන ත්‍රිවිධ ආලෝක දොරටුවලින් අප ඇතුළු කරවන සත් නිර්මාණයක් ලෙස සඳහන් කරනු කැමැත්තෙමි.

කුඩලිගේ බොහෝ කවි කරුණාවේ ආලෝක දොරටුව වෙත අප කැඳවනසු ය. එබඳු තැන් කිහිපයක් වෙත අවධානය යොමමු:

“සමනළ කුරුලු මීමැසි පිරිවර සේනා

අසලට නො එත්වා! කිසිවෙක් අවි මානා”

“හැකිළෙන්නට එපා! දුර දිග නොදැක බියේ

මට ඔබ සමඟ නෑකම් ඇත කුරුලු පියේ”

“කඳු මැද රිදී තරු එළියෙහි නිසල රැයේ

පිනිබර ළපටි තණ ගොබ බිඳෙනුවට බියේ

පියවර පුළුන් රැලි කොට යන ගමන ගියේ

රජකම් කළ හෙයිනි කරුණා රසය ළයේ”

කරුණාලෝක දොරටුව

කුඩලිගම අප කැඳවන කරුණාවේ ආලෝක දොරටුව ගැන තව මොනවා නම් කියන්නද? පහත සඳහන් කොට ඇත්තේ උපේක්ෂාවේ ආලෝක දොරටු වෙත අප කැඳවන කුඩලිගමගේ කාව්‍යොක්ති කිහිපයකි:

“පිට වී යා නොදෙන කල දොර කපොලු බැඳ

සතුටත් වේදනාවක් වනු සිරිති තද

දුක සැප දෙක එහෙත් උණුහුම සිහිල ලෙද

දෙකොනකි එක ම ගුණයක් ගැබ් කරන ලද”

කුඩලිගම ජීවිතයත් සොබාදහමත් අවලෝකනය කරන්නේ උපේක්ෂාවෙනි. සොබාදහම තුළ මිනිස් ස්වභාවත් මිනිස් ස්වභාව තුළ සොබාදහමත් දැකීමේ ගුණයද කුඩලිගම කවිතාවේ විශේෂයෙන් දැකිය හැකි ලක්ෂණයකි:

“අහසේ වලාකුළු - මුහුදේ රළ පතර

යළි යළි එක් වෙමින් වෙන් වී යන අතර

ජීවන ගමන කෙළවර වන තුරු නතර

අපි ඒ අනුව එක් වෙමු වෙන් වෙමු නිතර”

සත්‍යාලෝක දොරටුව

සත්‍යයේ දොරටුවෙන් ඇතුළු වන ආලෝක මිනිසා අසත්‍යය පරාජය කරයි. එසේම මේ සඳහා තමා සමඟ එක් වන්නැයිද ඔහු ලෝකයට ආයාචනය කරයි. අපට දැනුණු හැඟුණු කුඩලිගම කවියාද සත්‍යයේ ආලෝක දොරටුවෙන් පිවිස අසත්‍යය පරාජය කිරීම උදෙසා සිය නිර්මාණ කෞශල්‍යය භාවිත කළ උත්තම පුරුෂයෙකි. පහත නිදසුන් විමසන්න:

“අපගේ වහල් බැමි දුක් කම්කටොලු විනා

නැති වන කිසි දෙයක් නැහැ! අප නමට තනා

නොදුරුම අනාගතයෙහි ඉදිරියට ගෙනා

නව ලෝකයක් ඇත එය ගත යුතුය දිනා” ගෞතම බුදුන් පුරා සතියක් තමා පිට දුන් බෝරුක අනිමිස ලෝචනයෙන් නහවමින් ලොවට ඉගැන්වූයේ කෘතවේදිත්වයේ පාඩමයි. කුඩලිගම කවි සයුරේ උල්පත කළුගඟ බව ඔහුගේ නිර්මාණ කියවද්දී අපට දැනෙයි. එහෙයින් ඔහු සිය අම්මාට, තාත්තාට මෙන් කළුගඟටත් සිය කෘතවේදිත්වය පළ කරයි:

“සිතිවිලි මුහුදු වෙරළෙහි නැඟ කිරි පබලූ

ඔබ දුටු දාට මට මුළු දවස ම සුබලූ

ගඟබඩ සිරිමතිය! මහ වන මැද බැබළුෑ

කවි ජීවිතය පිළිබඳ හදවත ඔබ ලූ”

“මොළකැටි අවදියේ සිට ආදරය බැලූ

කළු ගඟ ගෙනෙයි මට සීතල වතුර දලූ

හැම දා කළු ළඟ ය කළුගේ ගොපලු කොලූ

කවියක් වෙලා ඔහු නළවනු මැනැවි කළු”

ආත්මඥතා දොරටුව

තමා පිළිබඳ ලබන අවබෝධයද ආලෝක දොරටුවකි. එයින් පිවිසෙන තැනැත්තා ලෝකය පිළිබඳවද අවබෝධය ලබයි. උපනිෂද් දහමෙහි කියැවෙන ‘ආත්මන් - බ්‍රහ්මන් අනන්‍යත්වය’ අවබෝධ කොටගැනීම මෙනි. ‘ආත්මන්’ යනු පුද්ගලයා එනම් තමාය. බ්‍රහ්මන් යනු ලෝකයයි. මේ අනුව ආත්මාවබෝධය යනු තමා පිළිබඳ වන අවබෝධයයි. බ්‍රහ්මාවබෝධය යනු විශ්වය පිළිබඳ ලබන අවබෝධයයි. තමා ලෝකය වෙතින්ද ලෝකය තමා වෙතින්ද වෙන් කළ නොහැකිය යන අවබෝධය උපනිෂද් විමුක්තියයි. කුඩලිගම කවියාගේ ඇතැම් කාව්‍යොක්තියක් අප කැඳවන්නේ ලලිතවිස්තරයේ කියවෙන යට කී ආත්මඥතාවේ ආලෝක දොරටුව වෙතයි. පහත නිර්මාණ ඊට නිදසුන්ය:

“අප දත් හැම දෙයම හැම දෙනකුම නිතර

මරණය මුණගැසී වියැකී යන අතර

බිම් පාළුවක ඇටකටුවල ගඟ එතර

යම් කිසි ගීතවත් දහමක් විය නතර”

“ලාලන කැලෑ මල් කැකුළක තවම මගේ

ජීවන හුස්ම ටික ඇති බව මටම හැඟේ”

“උරුමය සමග ගම මැද්දෙන් ගලන ගඟේ

සෙසු යස ඉසුරු පවරමි හැම එකම වගේ

මා තුළ මැවුණු මා වැනි මේ පුරුක දිගේ

සවි වෙයි අනාගතයට ඇති බැඳුම මගේ”

මේ කුඩලිගම කවියා ආත්මඥතාවේ ආලෝක දොරටුවෙන් පිවිසි ආකාරයයි.

මිනිසකුට විය හැකි ලොකුම ඛේදය වන්නේ ධනය, බලය, තනතුරු අහිමි වීම නොව; තමාට තමා අහිමි වීමයි. එහෙත් ඉහත කී ආලෝක දොරටුවෙන් ඇතුළු වූ තැනැත්තා තමාට තමා අහිමි කොටගන්නේ නැත. එච්ඇම් කුඩලිගම යනු සිය කායික මරණය තෙක්ම තමාට තමා අහිමි නොකොටගනිමින් ජීවත් වූ සුන්දර මිනිසෙකි. මේ සුන්දර මිනිසාගේ නිර්මාණ අපට කියාදෙන්නේද අපට අප අහිමි නොකොටගනිමින් ජීවත් විය යුතු බවයි.

සත්ත්වඥතා දොරටුව

සත්ත්වඥතා යනු මිනිසා ඇතුළු සත් වග පිළිබඳ ලබන අවබෝධයයි. තමා ඇසුරු කළ චරිතවල ගුණ-රුවද ඔහු මැනවින් අවබෝධ කොටගෙන සිටි බව පෙනේ. කපිල ඊ සෙනෙවිරත්න, මීමන ප්‍රේමතිලක, විමලරත්න කුමාරගම, පීබී අල්විස් පෙරේරා, සාගර පලන්සූරිය බඳු සහෝදර කවීන් ගැන ලියූ කවි පමණක් වුව ඔහු යට කී ආලෝක දොරටුවෙන් ඇතුළු වූ බවට සාක්ෂි දරයි.

ධර්මඥතා යනු ධර්මය පිළිබඳ වන අවබෝධයයි. මේ ආලෝක දොරටුව ගැනද ඔහු තුළ වූයේ මනා අවබෝධයකි. උපත හා මරණය පිළිබඳ ඔහුගේ දැක්ම කවියෙන් ප්‍රකාශයට පත් කොට ඇත්තේ මෙසේය:

“මිනිසුන් ගිහින් නිතර ම ආපසු එන්නේ

කිම දැයි කියා කිසිවකු ඇයි නො සොයන්නේ” කාලඥතා යනු කාලය පිළිබඳ වන අවබෝධයයි. තමා ජීවත් වන සමාජයේ සිදු වන ඛේදනීය සිද්ධි දැක එබඳු දැයින් ‍තොර සමාජයක් උදෙසා වෙහෙසීමද කාලඥතාවේ දොරටුවෙන් ඇතුළු වූ ආලෝක මිනිසා අතින් සිදු වන මෙහෙවරකි. යට කී ආලෝක දොරටුවෙන් ඇතුළු වී එදා ඔහු පළ කළ පහත අදහස වඩා වැදගත් වන්නේ අදටය:

“ගම එළිපෙහෙළි කොට දෙන්නට අමුතු ඔපේ

සුව සේ වැඩෙන රුක් ගොමු ලිය මඬුලු කැපේ

වන මල් පිපුණු තැන වැලි හතු අපට පිපේ

සෝදාපාළු වී යයි මහ පොළොව අපේ”

** නිහතමානිතා දොරටුවදැන් අපි කුඩලිගම කවියා අප කැඳවන නිහතමානිතාවේ ආලෝක දොරටුව වෙත ගමන් කරමු. මේ වූකලි අප කවියා මුළු හදින්ම ඇතුළු වූ බව අපගේ හදවත්වලටද දැනෙන අතිසුන්දර දොරටුවකි. ඒ දොරටුවෙන් ඇතුළු වූ මිනිසා හෝ ගැහැනිය හෝ වෙතින් ගලා එන්නේ අව්‍යාජත්වයේ සුවඳයි. එබඳු චරිතය ධනය, බලය, රූපය, උගත්කම්, දස්කම් යන කිසිදු මානයකින් සිර වන්නේ නැත. ඒ නිසාම ඔහු හෝ ඇය හෝ ලෝකය දකින්නේ තමා විසින්ම සාදාගන්නා ලද සිර කූඩුවල සිරව නොවේ. කවියා සිය නිර්මාණ මාර්ගයෙන් අප කැඳවන්නේද ඒ නිහතමානිතාවේ ආලෝක දොරටුව වෙතය. මෙමියුරු පැදි දෙක සමඟ අපිදු එසොඳුරු ලොවට ඇතුළු වෙමු:

“ගැඹුරින් හිතන්නට අත්ලෙහි නිකට ගසා

නුපුරුදු නිසා මහ පොත් ගුල් නොදුටු නිසා

ඇය ළඟ නොදුටුයෙමි සිහිනයෙකිනුදු මුසා

සැපවත් වුණෙමි ඇයගේ කටහඬම අසා”

“යසිසුරු - මදය - තේජස - අදිරජය යන

හැම බලයක්ම කාලය මුණගැසුණ තැන

අහසේ වලාකුළු මෙන් පරලොවට යන

වියැකී යනු සිරිති මරණය වැලඳගෙන”

අප්‍රතිහත ධෛර්යයද තවත් ආලෝක දොරටුවකි. ඒ ආලෝක දොරටුවෙන් ඇතුළු වූ සත්පුරුෂයෝද සත්ස්ත්‍රීහුද යුක්තිගරුක සමාජයක් බිහි කිරීම උදෙසා සිය ශක්‍යතා යොදවති. කුඩලිගම කවියාද සිය කාව්‍ය ශක්‍යතා ඒ වෙනුවෙන් යොදවයි.

නව පරපුරක් බිහි කිරීම උදෙසා නිවැරැදි මාවතේ යන බව කියන කවියා එබඳු අවස්ථාවල එන බාධකවලට බියේ පැන යෑම තම සිරිත නොවන බව කියා සිටියි:

“නව පරපුරක් ගොඩනඟනුවට රොද බැඳී

හරි මඟ කියා නැඟිටිනුවනට අත දිදී

නොනැවති එතත් බාදක සමඟ පොර වැදී

නිවටව නියාලුව නැත කිසිදු තැනකදී”

තවත් වරෙකදී කවියා විසින් භාවිතයට ගනු ලැබ ඇත්තේ කවියනට පමණක් නොව, මුළු මහත් ජනතාවකට ශක්තිය ප්‍රදානය කරන අවදිකාරක වචනයි:

“නව සුළං රැලි හමයි මින් පසු

නො පසු බැස ඉදිරියට එනු මැන!”

 

ඥානසම්භාර නමැති ආලෝක දොරටුව වෙත අප කැඳවන කවි කුසුමින්ද කුඩලිගම නිර්මාණ වෘක්ෂය සුපොහොසත්ය. විශේෂයෙන් ඔහුගේ ‘එකමත් එක රටක’ යන ශීර්ෂය යටතේ ‘ජනතා’ පුවත්පතට ලියූ තීරු ලිපි පැදි සරණිය මීට නිදර්ශනයි. දෙස්-විදෙස්හි පළට ජන කතාවල, දේව කතාවල, උපදේශ කතාවල හරය කවියා විසින් කවි බසින් ඉදිරිපත් කොට තිබේ.

එබඳු නිර්මාණ පාඨකයාට ඥානාලෝකය ප්‍රදානය කරයි. විශේෂයෙන් ඒ බොහෝ නිර්මාණවල අවසන් කව ඥාන සම්භාරයක් එක කවියකින් ඉදිරිපත් කිරීමට දැරූ ප්‍රශස්ත ප්‍රයත්නයකි. මේ එබඳු තැන් කිහිපයකි:

“දුර දිග දැක කියන

අවවාදයට පිටු පැන

විපතට වැටුණු දින

ඔවුහු එති එතැනටම වැඳගෙන”

“දැක දැකත් වෑසන

කොටි වලිග අල්ලාගෙන

තවමත් බොහෝ දෙන

වෙසෙති නිහඬව දිව විකාගෙන”

“ඇසට දුටු දුටු දේ

අනුකරණයෙන් වන දේ

එයින් එළි කොට දේ

අනුන් කොපි කළවුනට වැරදේ”

 

මේ ඇතැම් කවක් කියවද්දී අපට දැනෙන්නේ කුඩලිගම කවියා සංස්කෘත සාහිත්‍යයේද නොමඳ ආභාසය ලබා ඇති බවයි. එලෙද ලද එළිය හෙළ බසින් සොඳුරු ලෙස ජනගත කරන්නටද කවියා සමත් වී තිබේ.

මා මගේ ආදරණීය තාත්තාගෙන්, කිවි පුත් ගීතනාත් වෙතින්, කුඩලිගම කිවිගේ ඇසුර ලද වැඩිහිටි කවි මිතුරන්ගෙන් අසා ඇති පරිදි එච්ඇම් කුඩලිගම කවියාම පුණ්‍යසම්භාරයකි. එපමණක් නොව, ඔහුගේ නිර්මාණ අධ්‍යයනය කරමින්ද අපට පුණ්‍යසම්භාර ආලෝක දොරටුව වෙත ළඟා විය හැකිය.

පුණ්‍යසම්භාර දොරටුව

මේ පින්බර මිනිසා ගැන කොළඹ යුගයේ දීප්තිමත් කවි තාරකාවක් වන විමලරත්න කුමාරගම කවියා පැවසූ වදන් මෙසේය:

“හොඳ රස කතා හරබර වැකි ඇත දිවග

අද දින ගෙවුණි හිතවත් එච් ඇම් සමග

සිව්පාවුන් දනිමි දෙපදැති නැති වලග

මම පිය කරමි මොහු ගත පිස එන සුළඟ”

කුඩලිගම කිවි ඇසුර නොමඳව ලැබීමට භාග්‍යවන්ත වූ මාකඳුරේ ගුණවර්ධන නමැති ප්‍රවීණ කවියා වරෙක මෙවන් සඳහනක් කළේය:

“සොබා සොඳුර ‘කුඩලිගමට’ ළං වන විට හරි අගේය

වදනයි අරුතයි වගේය; ගීයයි තනුවයි වගේය”

ප්‍රවීණ කිවියර තිහාරයේ මානෙල් පෙරේරා විසින් ලියන ලද කුඩලිගම කවි සැමරුම් අතර එන පහත සඳහන් එකම කවිය පමණක් වුව අප කවියාගේ ජීවිතය පුණ්‍යසම්භාරයක් වූ බවට සාක්ෂි දරයි:

“කළුතර පිරිවෙනක ලැබගත් ඉගෙනීම

ගෙනදුනි කවිය ගැන මූලික බලපෑම

වියරණ වැරදි හා සැබි බව නොතැකීම

ඔහුගෙන් නොසිදු විය මුළු ජීවිතයේම”

බෞද්ධ සම්ප්‍රදායගත සංකල්පවලට අනුව චන්ද්‍රයා යනු ආලෝකයේ - සීමා විරහිත කරුණාවේ - ප්‍රඥාවේ මෙන්ම පුණ්‍යවන්ත භාවයේද සංකේතයකි. කුඩලිගමටත්, ඔහුගේ කවි බසටත් මහත් සේ ආදරය කළ අද අප අතර නැති දයාරත්න රණේපුර නමැති සොඳුරු කවියා කුඩලිගම සම කෙළේ ඒ පින්බර සඳටයි; ඒ සඳින් විහිදෙන ආලෝකයටයි. එකවි සඳ අහිමි වූ දා එසුහද කවි හද පිළිසිඳි විසිතුරු හැඟුම එදා මෙසේ කවියක් වී එළි දුටුවේය:

“මින් පසු සිහළ කවි සාහිත අඹර මත

කළු ගඟබඩින් පායන හඳ එළිය නැත

අස්වනු නෙළද්දී අප ඔහු වපුළ කෙත

ඒ මැද කුඩලිගමගේ පිළිබිඹුව ඇත”

පුණ්‍යසම්භාරයක් සේ අපට දැනෙන කුඩලිගම කවියාගේ පින්බර කවි හදවත නතර වී බලන්නේද පින්බර තැන් දෙසය. මේ එබඳු තැනකි:

“මැදියම් රැය ගෙවා කඳු බෑවුමක ලැග

හිමිදිරියකදි සමනොළ ගල උඩට නැඟ

වනගත හුදෙකලා ගමනක අතරමඟ

දහදිය නිවමි අද සිරිපා මළුව ළඟ”

කවියා නතර වන්නේ පුණ්‍යසම්භාරයේ අද්විතීය ප්‍රකාශනය වන බුදුන් වහන්සේගේ සිහිලැල් සෙවණ යටය.

“සිතිවිලි පරපුරක පදනම අමුතු කොට

මිනිහා තබා නිවහල් ජය කුලුන පිට

මුළු ලොව පින් තොටක් කළ ඔහු ඉදිරිපිට

ඔබගේ සිහිල් සෙවණින් යා නො හැක මට”

මේ වූකලී එච්ඇම් කුඩලිගම කවියා විසින් 1949 මැයි මාසයේදී ‘සුවඳ’ කවි සඟරාවට ‘බුදුන් වහන්සේ හා මිනිස් පරපුර’ යන හිසින් ලියන ලද කවි පන්තියේ අවසන් කවයි.

‘මන් බැඳි පන්හිඳට’ පෙම් බැඳ, එපන්හිඳෙන් බිහි වූ ඉසොඳුරු කවි කියවන සැම විටම වෙනස් වෙනස් මානවලින් ජීවිතය කියවාගන්නට අපට අවකාශ ලැබෙයි. එකව් වෙතින් අප ලද ජීවන ගැඹුර වර්තමාන පරපුරට සේම අනාගත පරපුරටද දායාද කළ යුතුය.

අප කවියා පිළිබඳ සුගැඹුරු සංකථන වරින් වර ඇති කළ යුතුය. මන්ද: කුඩලිගම කව් මඟ අපගේ ආදරණීය ශිෂ්‍ය ප්‍රජාව වෙතින් වසන් කිරීම යනු ආලෝක දොරටු වෙත යන සෞන්දර්යයේ සුපැහැදිලි මාවතක් වසාදැමීම වන බැවිනි.

අපමණ කවි පහන් දල්වා අප හද පහන් කළ සොඳුරු කවියාණෙනි, ආලෝක ප්‍රදායකයාණෙනි, සොබාදහමේ සුන්දරත්වය විඳිමින්, ඔබේ කවියත් සමඟ යෑමට ඉතා දිගු ගමනක් තිබේ. එහි කෙළවර ඇත්තේ අප්‍රමාණ ආලෝකයකින් ශෝභාවත් වූ අපේම ජය භූමියයි.

 

“නිල් අතු රිකිලි බිඳ නෑඹුල් සුවඳ හැමූ

ආලෝකය දිගේ සුළඟට එකතු වෙමූ

ළඟදිම අපේ ජය බිම විය හැකිය හමූ

මේ හෙල් මැදින් අපි තව ඉදිරියට යමූ”

Comments