සත්‍යයේ මායාව | සිළුමිණ

සත්‍යයේ මායාව

සිළුමිණ පුන්කලස කෙටිකතා පිටුව මෙතැන් සිට ආධුනිකයන් සඳහා ද විවෘත ය. ආධුනික නිර්මාණකරුවන්ට අත්වැලක් ලෙස මෙවර ආරාධිත කෙටිකතාව ලියා ඇත්තේ රාජ්‍ය සම්මානලාභී ලේඛක නිහාල් පී. ජයතුංගයන් විසිනි. නව නිර්මාණකරණයේ ද ශාස්ත්‍රීය ග්‍රන්ථ සම්පාදනයේ ද නියැළී සිටින නිහාල් පී. ජයතුංග ප්‍රකට මාධ්‍යවේදියෙක් ද වේ. ඔහු මේ වන විට නිර්මාණ හා ශාස්ත්‍රීය ග්‍රන්ථ 34ක් ප්‍රකාශයට පත් කර ඇත. එමෙන්ම ඔහු චිත්‍රපට තිරනාටක ශිල්පියෙක් හා චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයෙක් වේ. මොහුගේ සමහර නවකතා ඉංග්‍රීසි බසට හා දමිළ බසට ද පරිවර්තනය වී ඇත්තේ ය. 1971 කැරැල්ලෙන් බිහි වූ ලේඛකයෙක් වන නිහාල් පී. ජයතුංගයන් විකල්ප හා මානවවාදී සාහිත්‍යකරුවකු ලෙස ද පාඨක ප්‍රසාදය දිනා ගත්තෙකි.

 

කුළුදුල් පුතු අහිමි වූ මවක් මෙන් සඳමාලි පසු වන්නේ කම්පිත වේදනාවකින්. පසුගිය කාලය පුරාම මොණර පැටික්කියක් මෙන් කෙළි දොලෙන් පසු වූ ඇය ටික දිනක සිට ගත කරනුයේ හුදෙකලා ජීවිතයක්. බලාගත් දෙස හූම් හෙළමින් බලා ඉන්නවා. නව කලාගාරයේ දේශනවලට සහභාගී වන්නෙත් ඕනෑවට එපාවට. වෙනදා දේශනවලට යන්නේ සුගත් එක්ක. දැන් ඇයට සුගත් නයාට අඳුකොළ වගෙයි.

අත්ෆෝනය දෙසම බලාගෙන සිටි මාලි සුගත්ගේ මිතුරන් එන විටම අතුරුදහන් වුණා. ඒ පුස්තකාලයේදී.

“මාලි ඉස්සර කොච්චර ලස්සන කෙල්ලක් ද? මූණ හරියට උදේ පිපෙන සූරිය කාන්ත මලක් වගෙයි. දැන් පවුඩර් දාපු මළ මිණියක මූණක් වගෙයි.”

ඒ දයාල්. සුගත්ගේ මිතුරෙක්. එසේ කීවේ සිය මිතුරිය වන හංසිනීට. හංසිනී අවසාන වසරේ ශිෂ්‍යාවක්.

“සුගතයා බූට්ටෙක දීලා වගේ.”

“නෑ. ඌ ඉන්නෙත් අප්සෙට් එකෙන්.”

“හරි පව්. හරිම දුප්පත් ළමයෙක්. තාත්තත් නෑ. අම්මා විතරයි ඉන්නේ. ඒ මනුස්සයා කුලී වැඩ කරලා මාලිට උගන්නන්නේ.”

“මාලි අපිත්තෙක්කත් තරහ වගෙයි. ෆෝන්නෙක දිහා බලාගෙන ඉඳලා අපි දකින කොටම නැගිටල ගියා”.

“ඔය ෆෝන්එක අරන් දුන්නෙත් සුගතයා. ඌ මෝඩයා වගේ උගේ පඩියෙන් භාගයක් විතර වියදම් කරන්නේ මාලිට. දයාල් පැවසුවේ අතිශයොක්තියක් ම නෙවෙයි.

සුගත් කැම්පස් එකේ ඉන්න ගමන් ම ආධුනික ‘කළමනාකරුවෙක් වශයෙන් පුහුණු වෙනවා. සුගත්ගේ තාත්තා ඉඩම් හිමි වැවිලිකරුවෙක්. අම්මා ඉංග්‍රීසි ගුරුවරියක්.

“මට අහන්න බෑ මුන් දෙන්නට මොකද වෙලා තියෙන්නේ කියලා. සුගත් හිටියේ මාලිට වහ වැටිලා. ”

“සුගතයා ලෙක්චර්ස් ඉවර වුණ ගමන් ඔෆිස් යනවා. ඇහුව‍ට කියන්නෙත් නෑ.”

“මං වීක්කෙන්ඩෙකේ ගෙදර ගියාම මාලිලගේ ගෙදර යන්නං. සමහර විට මට ඇත්ත කියාවි.”

“මේ ඔක්කොම ප්‍රශ්න ඇති වු‍ණේ පිදුරුතලාගල ට්‍රිප් එකෙන් පස්සේ නේද?”

“මටත් හිතෙනවා. හැබැයි ඊට පස්සේ මුන් දෙන්නා සල්ගහ යටයි කණේරු මල් පදුරු යටයි වාඩිවෙලා උන්නා. ඒ වේලාවල්වල දෙන්නගෙම මූඩ්ඩෙක හරි නෑ.

හංසි නළල රැළි නංවාගෙන කල්පනා කරන්නට වූයේ භාවනාවකදී මෙන්. දයාල් කියන්නා වගේ මාලිලාගෙ ගැටුම ආරම්භ වුණේ ට්‍රිප්පෙකෙන් පස්සේ. සුගත් විතරයි ට්‍රිප් එකේ ගියේ. බස්සෙකෙදී සුගත්ගෙන් මාලි ගැන ඇහුවම ආවේ නෑ කිව්ව. කැම්පස් කොල්ලො ට්‍රිප් යන්නේ කෙල්ලන් එක්ක. එකෙන් සුන්දර ආස්වාදයක් ලබනවා. මාලි ට්‍රිප්පෙකට නාපු නිසා දෙන්නට දෙන්නා අමනාප වෙන්න ඇති. නැත්නම් සුගතයා බූට්ටෙක දෙන්න ඇති. සල්ලිකාර කොල්ලන්ගේ හැටි. අන්තිමට මාලි දකින මොහොතේ ඈ හිටි‍යේ කුණාටුවකට අසු වූ නැවක් වගේ ගැහෙන හදවතින්.

හංසිනි බෝඩිමට යන්න දයාල්ගෙන් සමුගත්තා. ඒත් ඇගේ කල්පනාව මාලි ගැන. දයා කියන්න වගේ මාලි මොඩ් විදියට අඳින්න පළඳින්න පටන් ගත්තේ සුගත් නිසා. කැම්පස් ආපු මුල් ම මාසේ දෙකේ ඇන්දේ භූමිතෙල් ගඳ ගහන චීත්ත ගවුම්. බෙල්ලේ කන්දෙකේ අත්වල තිබුණේ ඉමිටේෂන් බඩු. සුගත් යාළුවෙලා සති දෙක තුනක් ගත වෙත්ම වෛවාරණ ගවුම්, බෙල් බොටම්, සාරි, රත්රන් මාල, රත්රන් තෝඩු, අත් දෙකට ම වගේ රත්රන් වළලු. හරියට නිධානයක් හම්බ වුණා වගේ. ඕනම කෙල්ලක් අඳින්න පළඳින්න ආසයි. මාලිට ඒ විදියට උදව් උපකාර කරපු එකෙක් එක පාරටම වෙනස් වේවිද? සුගත්ගේ පස්සෙන් කෙල්ලො කී දෙනෙක් ආවද? උන් ඔක්කොම ඇළුම් කළේ සුගත්ගේ සල්ලිවලට, කාර් එකට.

මාලිට විතරයි සුගත් කැමති වුණේ. ඈත් ඔහුට අමිල සෙනෙහසක් මෙතෙක් පෑවේ. එහෙව් සුගත් මාලිට අහිතක් කරාවි යැයි හීනෙකින් වත් හිතන්න අමාරුයි.

නිබන්ධනයකට කරුණු ගවේෂණය කරමින් සිටි දයාල්ට ඔහුගේ අත්ෆෝනයෙන් කරදර හඬ. කවුද මේ.. සුගත්... සතුටක් මෙන්ම කේන්තියක්. සුගත් මේ වෙලාවට කවදාවත් නැතිව මොකද අමතන්නේ?

“උඹ” මොකද යකෝ අර අහිංසක මාලිට වද දෙන්නේ? මෙලෙස පටන්ගත් දයාල් ලෝබ නැතුව සුගත්ට දෙහි කැපුවා. කෙල්ලකුට බූට්ටෙක දෙන්න හේතුවක් තියෙන්නෝන.”

“උඹ ඕන තරමක් බැණපත්. මට දැනගන්නෝනේ හංසිල ඔතන ඉන්නවද කියල” ඔහු හංසිල කියා ඔහු වචනෙන් පැවසුවේ මාලිත් පිළිබඳවයි. දෙන්නම එකම විදුහලේ ගජ මිතුරියෝ.

සුගත්ගේ වදන්වලින් දයාල්ගේ කේන්තිය මහ වැස්සකට හසු වුණ ගිනි මැලයක් මෙන් නිවී ගියා. සමහර විට ඌ නිවැරැදි වෙන්නත් පුළුවන්. මාලි ගැන නොවිමසා විමසන්නේ ඒ නිසානේ.

“උඹ කොහේද ඉන්නේ? හරි ... මං විනාඩි පහකින් එන්නං” සුගත් මාලි හා ගත කළ අතීතය ගැන සිතමින් සිහින ලෝකයක සිටියේ. සුගත්ගේ සිහින ලෝකයට විරාමය වැටුණේ දයාල් ඔහු ඉදිරියේ එක් වරම ප්‍රාදුර්භූත වීමෙන්. සුගත්ගේ කොණ්ඩෙත් අවුල්වෙලා. පාළු කුඹුරක ඉපනැල්ලෙන් මතු වන ගොයම් මොටි මෙන් රැවුලත් දික් වෙලා. ඇත්තටම මූ නම් ඉන්නේ ලොකු අප්සෙට් එකකින්. බූට්ටෙක මාලිගෙන්ද? මාලි ඒ වගේ චපල කෙල්ලක් වෙන්න බෑ.”

‘ඇත්තටම උඹට මොකක්ද වෙලා තියෙන්නේ? මාලි අපිත් එක්කත් තරහයි උඹ හින්දා. දැන් හංසි එක්කවත් කතා කරන්නැතිව ගියේ.”

“මං ආවේ හංසිවත් හම්බෙන්න එක්ක. මාලි හංසිට ඕන දෙයක් කියනවනේ?”

‘හංසිත් බෝඩිමට ගියා’

“දයා... මට මාලි තේරුම් ගන්න බෑ. පහුගිය කාලේ හිටියේ අමරාදේවි වගේ. ඒ තරම් හොඳට කීකරුව හිටියා.” සුගත් දෑතින් ම හිස පිරි මැද ගත්තේ හිතට සහනයක් ගන්න වගේ. ඔහු වේදනාවෙන් හිස දෙපසට වැනුවා.

‘ඕනෑම ගැටුමකට සුළු හෝ සිද්ධියක් බලපානවා.”

“මගෙන් කිසිම වරදක් වුණේ නෑ. මේ ඔක්කොම ප්‍රශ්න ඇති වුණේ ට්‍රිප් එකෙන් පස්සේ.”

“උඹ මාලිට ඔය ට්‍රිප් එකට කතා කළේ නැද්ද?”

“කතා කළා. බස්සෙකට සල්ලිත් බැන්දා. ට්‍රිප්පෙකට අවශ්‍ය විදියට අඳින්න ඇඳුම් ගන්නත් සල්ලි දුන්නා.”

“ඉතින්?” දයාල් සවන් දෙන්නේ ඕනම උදව්වක් කිරීමේ චේතනාවෙන්.

‘පන්සලට තාත්තා වෙනුවෙන් දානයක් දෙනවලු. අවුරුද්දකට සැරයක්. ඒක හින්දා බැහැ කිව්වා.”

“ඒක අසාධාරණ නෑ. ඒක නෙමෙයි උඹේ පරණ සම්බන්ධකම් ආරංචි වෙලාවත් ද?” දයාල් ඇසුවේ විහිළුවට ම නෙවෙයි.

“ඒ‍වා ඔක්කොම මං කිව්ව. ඒ කෙල්ලොත් මෙයා එක්ක යාළුයි.”

“උඹ හිතන්නේ මොකක් කියලද?”

“මට තේරෙන්නේ නෑ. ට්‍රිප් එකෙන් සුමානෙකට විතර පස්සේ සිකුරාදා දවසක හවස පහට එයා හම්බවෙන්න කියලා එස්.එම්.එස් එකක් එවලා තිබුණා. මං වෙලාවට කලින් ගියා. මෙන්න බොලේ ලොකු පාර්සලයක් මගේ අතට දීලා අඬ අඬා ගියා. හතලිස් පහකට අරන් දුන්න ෆෝන් එකත් මට දුන්නා. අර පාර්සලේ තිබුණේ මං අරන් දීපු තෑගි.”

“උඹ ඒ තෑගි බාර ගත්තද?”

‘මං මාලි යන බස්සෙකෙන්ම පිටකොටුවට ගියා. අඬ අඬා හිටියේ. මං ඉන්නව මාලි දැක්කේ නෑ. එයා ගෙදර යන බස්සෙකේ වාඩි වුණා. එයා වාඩි වුණු සීට්ටෙකෙම මමත් වාඩි වුණා. ගෑනි නැගිටල යන්න හැඳුවා. මං අතින් ඇදල වාඩි කෙරෙව්වා. මෙහෙම වෙන්න හේතුව මං ඇහුව්ව. මේකි බෑගිරි ගගහ අඬන්න පටන් ගත්තා.”

“මිනිස්සු ඔක්කොම මං දිහා කන්න වගේ බලා ඉන්න පටන් ගත්තා. පාර්සලයයි ෆෝන් එකයි උකුල උඩින් තියල මං ආවා.”

දයාල් සන්සුන් ආසාවකිනුයි මිතුරාගේ කතාවට සවන් දුන්නේ.

සල්මල් සුවඳ මුසු මඳ නළ අවට සැරිසරන්නේ සුගත්ට අතීතයේ සුන්දර දසුන් සිහිපත් කරවමින්.

“මං හූනා කියන්නා වගේ කියන්නං උඹේ මොකක් වලත්ත කමක් මාලිට ආරංචි වෙන්න ඇති. ඒකයි ඔය වගේ මුරණ්ඩු තීරණයක් ගන්න ඇත‍්තේ.”

“ඒකිට වගේ බොටත් පිස්සු. මං ගෑනුත් එක්ක නිදා ගන්නේ නෑ.” කෝපයෙන් යුතුව මෙවදන් පිට කළ සුගත්, අතපය සිඳුණු සෙල්රුවක් සේ බලා සිටියා.

සුගත් කෙරෙහි දයාල්ට ඇති වූයේ සංවේදීමය අනුකම්පාවක්. “හොඳයි. උඹට අපෙන් කෙරෙන්නෝන මොකක්ද?”

‘මං හිතනවා, හංසි එක ගමේ එක කොළිජ්ජෙකේ නිසා මේකට හේතුව දැන ගන්න පුළුවන් වේවි කියල... මාලිත් එක්ක මට යාළුවෙන්නෝන කමක් නෑ. එයා කරදරයක් කර ගත්තොත් ඒ පව මටයි ගෙවන්න වෙන්නේ.”

උඹ කියන්න ඉස්සෙල්ලා අපි ඒක තීරණය කළා. රැවුල කොණ්ඩේ කපල මිනිහෙක් වගේ හිටපන් උඹ මැනේජර් කෙනෙක් නේ... මට ටියුට්ටෙකක් ලියන්න තියෙනවා. මං යනව රෙෆරන්ස් රූම්”.

සටහන් ගොන්නක් හා ‍පොත් කිහිපයක් ඇදෙහි හිස අද්දරින් තබාගත් මාලි පොල්අතු වහල දෙස දෑස් දල්වා ගෙන අමුතු බවුන් වැඩීමක.

වයසටත් වඩා වියපත් ව ඇති ඇගේ මව ඉස්තෝප්පු පිල් කණ්ඩිය මත වාඩි වී සිටිනුයේ දුව ගැන මෙනෙහි කරමින්. දුවට බැණ වැදීම ගැන පසුතැවිලි අනුකම්පාවක් ඇගේ ගත සිත වෙළාගෙන. මේකී කරදරයක් වත් කොරගෙනද? මෙහෙම තාන්තුවාවෙන් ඉන්නේ. කොච්චර ඇහුව්වත් කට හොල්ලන්නේ නෑ. කන්නෙ බොන්නෙත් නෑ. මං ගිනි තැපල ගිනි තැපලා සොච්චමක් හරි හම්බ කොරලා විස්සවිජ්ජාලෙට යැව්ව. ගොහින් මාස හයයි. කොහෙද යන හොරෙකුට ද කොහේද අහුවෙලා. ඒකා තෑගි බෝගත් දීලා. උගෙන්වත් කරදරයක් වෙලා ද? නැත්නම් ඌ වෙන අතක් බලාගෙනවත්ද? මේකී ගල්ගිල්ල වගේ ඉන්නව කට හොල්ලන්නෑ?

“ඇත්ත කියාපන් කෙල්ලේ උඹට කරදරයක්ද? නැත්නම් කියන්න බැරි ලෙඩක්ද?.. මං උඹේ අම්මා. උඹට මට කියන්න බැරි දෙයක් නෑ.” ඇය උස් හඬින් බැණ වැදුණේ ආදරය මුසු තරවටුවකින් .

‘අනේ අම්මේ, මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.”

“දුවේ ඔය වයස මමත් පහු කොරල ඉන්නේ. උඹට බෑ දුවේ මාව තම්බන්න.” යි පැවසු ඇය දුව අසලින්ම හිඳ ගත්තා.

“ඇත්ත කියාපන් දුවේ, අර ඉලන්දාරියා උඹට කරදරයක් කොළාද?” අම්මා දුවගේ උදරය දෙස බලාගෙන ඇසුවේ එහෙම ලකුණක් තිබේදවත් බලන්න.

“මොනවද අම්මා මේ කතා කරන කැත කතා. මං ඒ වගේ මෝඩියෙක් නෙවෙයි.”

මාලි එළියට යන්න සූදානම් වෙත්ම මිදුල දෙසින් හුරුපුරුදු කටහඬක් ඇහුණා.

‘නැද්දේ මාලි නංගි ඉන්නවද?’

මාලි යථා තත්ත්වයට පත් වෙන්න තුවායකින් මුහුණ පිසදා ගන්නව. මේ අතරේ අම්මා කඩිනම් වුවත් වෑයමෙන් ඉස්තෝප්පු කෑල්ලේ පෙනී සිටියා.

දුවේ මෙන්න හංසි නෝනා ඇවිල්ලා. අපේ ළමයට ඉරුව රදේ හැදිලා; එන්න දුවේ ගෙට.”

මිදුලෙ කෙළවරක තිබෙන සුදු මල් පොකුරු පොකුරු තිබෙන ගෝපලු මල් ගසක්. ගස මුල පොල් කොට දෙකක් මත තබා ඇති පිට පලු ලෑල්ලක්. මාලි ඒ බංකුව පාවිච්චි කරන්නේ නිවසට එන යෙහෙළියන් සමඟ තුටු පහටු සංවාදයේ යෙදෙන්න. එහෙම වෙලාවට මාලිගේ අම්මා උණු උණුවේ පොල්පලා වතුරෙන් සංග්‍රහ කරනව.

‘ෂා... හරිම ලස්සනයි හෝපලු ගහ. සුවඳත් එනව. යන් එතෙන්ට නිදහසේ කතා කරන්න. ඉස්සර ඔතන ඉඳන් කොච්චර චැට් කරනවද?”

හංසිගේ එකම අභිලාසය මාලිගෙ ඇතුළාන්තය විනිවිදව එළියට ගන්න. සුගත් ඉන්නේ අප්සෙට්ටෙකෙන් කියල දයා ෆෝන් කළා. දයා කියන විදියට සුගත් අහිංසකයෙක්.

.’ ඇයි සුගත් එක්ක තරහා? ඌ හොඳ එකා.”හංසි කිව්වා.

‘හොඳ එකාගේ හැටි වැඩි දෙනා දන්නේ නෑ.”

“මාලි උඹ හරි බොළදයි. ඔහොම අඩල ප්‍රශ්න ලිහෙන්නෑ. උඹ වෙළඳ කලාපේ කෙල්ලක් නෙවෙයි. විශ්වවිද්‍යාලයක අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක්. උඹ මෙතන ඉදන වැළපෙනව. සුගත් එහේ පිස්සෙක් වගේ...”

“මාලි, උඹට මගේ හැම රහසක් ම කියල තියෙනවා. ඇයි උඹේ ප්‍රශ්නේ මට නොකියන්නේ?”

“ඇත්තට මොකෝ උඹ ඔය තරම් මුරණ්ඩු ? මට පෙන්නේ උඹ ගොන් බදින කණුවක්. සුගත් වගේ කොල්ලෙක් අල්ල ගන්න කෙල්ලො පොර කනවා.”

‘සුගත් මට දෙවියෙක් වගේ සලකපු එක ඇත්ත. ඒත් ඒ දෙවියා සුනඛයෙක් වෙලා නම්. මට ඒ සුනඛයත් එක්ක ඉන්නද හංසි අක්කා කියන්නේ‍?”

“මං නම් සුගත්ට සුනඛයා කියල අපහස කරනවාට කැමති නෑ. සුගත් සුන්දර මිනිහෙක්.”

‘සුන්දර මිනිහගේ හැටි පෙන්නන්නංකෝයි සිතූ මාලි හුනස්නෙන් නැඟී සිටියේ යට ගවුම් පටින් දෙනෙත් පිස දා ගනිමින්. ඇය ගෙතුළට ගොස් එසැණින් ආවේ අත්ෆෝනය අතැතිව.

මාලි සිය අත්ෆෝනයට මේල් කර තිබූ පින්තූර ගොන්න හංස‍ිගේ දෙනෙත් තුළට කාන්දු කළේ, මෙන්න සාක්ෂි... මෙන්න සුනඛ වැඩ. මේ වගේ සුනඛයන් එක්ක මට යාළු වෙන්නද කියන්නේ?’ කියා අසන්නාක් මෙන්.

අත්ෆෝනයෙන් වරින්වර දිස්වන පින්තූර දෙස දෙනෙත් අලවාගෙන සිටි හංසි සියුම් කල්පනාවකට යොමු වුණා වගේ. ඈ එක්වරම කැකිරි පලන සරින් මහ හඬින් සිනා පෑවා.

“මේකිටත් පිස්සු’ යයි මුමුණමින් මාලි විස්මයෙන් හංසිට රවා බැලුවා. ඇය හංසිගේ උපහාස සිනා සපිරි වත දෙස බලා සිටියේ ආදරයකින් නෙවේ.

“මෝඩියේ, මේ අහපන්. මේ පින්තූර අපි පිදුරුතලාගලදී මහ රෑ ගත්ත ඒවා.”

“හරි එතකොට මේ කෙල්ලො දෙන්නෙකුගේ අත් අල්ලන්...කරට අත දාගෙන යන ඒවා?”

ඇහැට පේන හැම දේකම හැංගිච්ච අර්ථයක් තියෙනව. උඹ මේ ගැන සොයා බැලුව නං සුගත් නිවැරැදි කියල තේරුම් ගන්නවා. ඇත්ත කතාව මගෙන් අහගනින්.” මාලි මඳක් දමනය වූවා සේ සන්සුන් වුවා.

‘එදා අපි පිදුරුතලාගල ගියේ හවස පහට විතර. වැස්ස, මීදුම, අඳුර, කන්ද නැගල බහින්න පැය හතරක් පහක් ගත වෙනව. කන්ද නගිනවාද කියල ලොකු සංවාදයක් ඇති වුණා. කපල්ස්වලට ඕන කළේ කන්ද කෝම හරි තරණය කරන්න. ලේක්චරස්ලත් යෝජනා කළා කන්ද නගිමු කියලා.”

මාලි සමාධියකට සම වැදිලා වගේ නිහඩවම සවන් දෙනව.

“සමහරු ජෝඩු ජෝඩු. සමහරු කාණ්ඩ කාණ්ඩ. තවත් සමහරු තනි තනිව. කපල්ස් වෙනම අත්වැල් අල්ලාගෙන කන්ද නගින්න පටන් ගත්ත. වැස්ස, මීදුම නිසා මොනවත් පේන්නෑ.

“මාලි කතාව ඕක නෙවෙයි. සුගත් තනිවම කන්ද නගින්නේ. මොකො උඹ ගියේ නෑනේ. මමත් අපේ බැචලා එක්ක සුගත්ට පස්සෙන් යන්නේ.

සුගත්ට ඉස්සරහින් ෆස්ට්ඉයර් කෙල්ලො දෙන්නෙක් යන්නේ. මේ අහිංසක කෙල්ලො දෙන්නට ෆයිනල් ඉයර් එකේ නැඩ සයිස් කොල්ලෙක්; බීපු එකෙක් කරදර කොරලා. සුගත් මේවා දැකල. උගෙන් බේරිල්ලක් නැති වෙලාවේ අර ළමයි දෙන්නා සුගත් දිහා බලල සුගත් ළඟට ඇවිල්ලා.

‘මං ඔක්කෝම දැක්කා. මං බලාගන්නං. යන් මං එක්ක.” සුගත් මේ ළමයි ඉස්සර කරගෙන යනව. අර නැඩා සුගත්ට තර්ජනය කරලා. සුගත් ඒත් ඉවසලා.

අර ළමයි දෙන්න සුගත්ගේ ඇගේ එල්ලිලා වගේ යන්නේ. එහෙම යද්දිත් අර නැඩා එක ගෑනු ළමයකුගේ මූණ ඉඹින්න හදල. මෙන්න මේ වෙලාවේ සුගත් අරූට පාරක් දීලා. අර ළමයි දෙන්නාත් මූට හොඳට සම්බුව දීලා. බීපු එකා කටු අකුලකට වැටිලා තුවාලත් වෙලා.

ඊට පස්සේ තමයි පස්සෙන් ආපු අපි ඔය සිද්ධිය දැනගත්තේ. ඊට පස්සේ වැඩේ ෂේප්.

කන්ද නැගල බහින තුරුම අර ගර්ල්ස්ලට ආරක්ෂාව දුන්නේ සුගත්. පස්සෙ සුගත් අර ළමයි දෙන්නා එක්ක චැට්ටෙක දාගෙන ගියා. රාත්‍රී කළුවරේ වැහි පොද තියෙද්දී කොල්ලො කෙල්ලන්ට උදව් කරන එක අපරාධයක් නෙවෙයි.

මේකෙන් පේන්නේ සුගත්ගේ මනුස්සකම. මාලි කඳුළු අතරින් හංසිට මදහසක් පෑවා.

Comments