බොහෝ දුරක් ඇවිද ගිය ගුරු­ව­ර­ය­කුගේ කතාව මායාරංජන් | සිළුමිණ

බොහෝ දුරක් ඇවිද ගිය ගුරු­ව­ර­ය­කුගේ කතාව මායාරංජන්

ඔහුගේ නම එය නොවේ. එතේ ඔහු ලියු සෑම සාහිත්‍ය කෘතියකම සඳහන් වූ නම එය වේ. ඒ සාහිත්‍ය කෘති වුව අපුර්ව නිර්මාණ විලාසයක් පල කළ ද ඒවායේ අන්තර්ගතය අනුව ගියහොත් පරිකල්පනීය ප්‍රබන්ධ යැයි කිව හැක්කේද නොවේ. හුදු ප්‍රබන්ධ තත්වයෙන් එහාට ගිය ඉතිහාස පුරාවෘත්ත සටහන් රැසක් ඒ තුළින් අපට හමු වේ. ඒ නිසාම ඔහු මෙරට සාහිත්‍ය වංශ කතාවේ අපූර්ව ආස්ථානයක් අත් කරගත් සාහිත්‍යකරුවෙකු බවට ද පත් වේ. ඒ කාර්යභාරය වෙනුවෙන් ඔහු තමාට තබාගත් නම අපූර්ව එකකි. ඒ මායා රංජන්ය. වෘත්තියෙන් ගුරුවරයෙකි.

පැරණි දිගාමඩුල්ලට අයත් ගම් පියසක් වූ වැව්ගම්පත්තුවට ඔහු පැමිණෙන්නේ 1948 දීය. ඒ ලංකාව නිදහස ලද වර්ෂයයි. එසේ ගත් කළ මායා රංජන්ගේ සමාජ දේශපාලන නියෝජනය අයත් වන්නේ යටත් විජිතවාදී කාල වකවානුව තුළ වෙනස් වු මෙරට සමාජ පරිසරයත්, නිදහස් රාජ්‍යයක් වූ ඒ ආසන්නයේ ලද වෙනස් වූ සමාජයත්ය. ඔය කියන කාලයේ දී වැව්ගම් පත්තුව පැවතුණේ වනාන්තරයෙන් වැසී ගත්වනමය. පලින් පල හුදෙකලා කුඩා ගම්මාන හමු වූ අතර මහා සාගරයක දූපත් මෙන් ඒවා දකින්නට ලැබුණේ යැයි ඔහු පවසයි. ඒ අතර තැනින් තැන හෙල් හා තැනිතලා ද හමු විය. හෙල් මුදුන්වල සිට ගං ඉවුරු තෙක් හමු වු නටබුන් ලෙසින් දකින්නට ලැබුණේ අතීතයේ ඒ තැන්වල පිහිටි කර්මාන්ත කටයුතුවල මතකයන්ය. ඔහුට අනුව නම් එය අතීත සභ්‍යත්වයක අලංකාර ස්වප්නයන්ය. කෙසේ වෙතත් ඔහු මේ දුරු රට ඇවිද ගියේ ගවේෂකයකු වශයෙන් නොවේ. ගුරුවරයෙකු වශයෙන් සිය වෘත්තීය ජීවිතයේ කටයුතු සිදු කිරීමටය. ඒ නිසාම ඔහු අතින් සිදු වී ඇත්තේ එකල සමාජ සංස්කෘතික පරිසරය ඇසුරු කිරීමට අවස්ථා ලැබීමය. පසුව ඔහු ලියූ කෘතිවල සටහන් වන්නේ ඒ ඇසුරු කිරීම් වලින් උකහාගත් මතක සටහන්ය. එමෙන්ම ආස්වාදයන්ය.

“එහි විසු මිනිසුන්ගේ දිවි පැවැතුම් ද, ගතිගුණ, සිරිත් විරිත් සහ භාෂාව ද කොළඹ නගරයෙන් පැමිණි මට ආශ්චර්යක් සේ පෙනුණේය. ඉන් කුහුලට පත් මම යාළුවන් තනාගෙන බත් මලු කර බැඳගෙන වනය පුරාත්, වැව්ගම් පත්තුව ගම් පළාතේ සීතල ගම් වලත් සැරිසැරුවෙමි.”

මායා රංජන් ලියු කෘතිය වශයෙන් “දිගාමඩුල්ලේ ආශ්චර්ය” වඩාත් ප්‍රකටව ඇතත් “මගේ රාජ්‍යය, පිටිසර මිනිස්සු, අපේ රාජ්‍යය” වශයෙන් තවත් කෘති තුනක් ද ඔහුගේ නමින් පල වී තිබේ. කෙසේ වුව ඔහුගේ මෙම ලිවීම් සාහිත්‍යකරුවෙකු වීමේ අභිලාෂයෙන්ම ලියූ ඒවා ලෙසින් ගන්නවාට වඩා අහම්බෙන් තමන් ලද ඒ අපූරු අත්දැකීම් මෙන්ම ඇසුරු කිරීම් සටහන් කිරීමේ කැමැත්ත නිසා සිදු වූවක් ලෙසින් ගැනීම නිවැරැදි යැයි සිතමි. ඒ වෙහෙසකර ගමන් වලින් තමන් ලද අතිශය දුර්ලභ අත්දැකීම් එසේ සටහන් කොට තැබීම හේතුවෙන් අපූර්ව සාහිත්‍යයික නමකින් ලියැවුණ විශේෂ සාහිත්‍ය ආකෘතියක් ද අප අතට පත් විය.

යටත් විජිත පාලනයෙන් නිදහස ලද ලංකාව අගමැති ඩී. ඇස්. සේනානායක යටතේ නව සංවර්ධනයේ අත්දැකීම් ලබද්දී මායා රංජන් එය ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වූයේය.

“ජල කර්මාන්තය උදෙසා රජය මගින් ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමය ඇරඹුවේ ද 1948 පමණේදී ය. (ගල්ඔය යැයි ප්‍රසිද්ධව ඇතත් මෙයට පළාතේ ව්‍යවහාර නම ගල ඔය යනුයි.) ගල ඔයේ වතුර වැව්ගම් පත්තුව ඇතුළු වන සීමාව අසල ඉගිනියාගල වෑ කන්ද බැඳ සේනානායක සමුද්‍රය කරවන්නට ඇමරිකානු මොරිසන් හඞ්සන් ඉන්ටනැෂනල් සමාගමේ යෝධ යන්ත්‍ර පැමිණියේය. ඒ යන්ත්‍ර මහා ඝෝෂාවෙන් මහ වනය දෙදරවමින් රූස්ස ගස් වැල් ඇද හෙළද්දී දුවන්කට වු වන සත්තු ඈතට ගොස් නතරව මෙපිට බැලූහ. අද වැව්ගම්පත්තුවෙන් අඩක් පැරණි දිගාමඩුල්ලේ නවීන ඡායාවක් බඳු අළුත් ගොවි ජනපදයකි.”

-ඒ අනුව මෙරට ගොවි ජනපද ක්‍රමය මායා රංජන් ඇසුරු කළ ඒ පිටිසර මිනිසුන්ගේ ජීවිත උඩු යටිකුරු කරමින් රජය මුල් කොටගත් සංවර්ධන න්‍යාය පත්‍රයන්හි මුල් ආරම්භය තැබීය. ඒ නිසාම වෙනස්වන ඇතැම් තන්හි අභාවයට යන ඒ අතීත සමාජ සංස්කෘතික පරිසරය මැදින් ඔහු ඇවිද යමින් සිටියේය.

“දිගාමඩුල්ලේ අලි වලස් ආදි වන සතුන් පමණක් නොව මිනිසුන් ගැන ද මම ලීවෙමි. ඒ හැමට පින්. අද ජීවත්වන ඇතැම් මිනිස් පින්වතුන් පිළිබඳව මා නොයෙක් දේ ලියා ඇත්තේය.”

ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේ ද පවසා ඇත.

“මා බියකරු මේ ගමනෙහි යෙදන්නට හේතුව ගැන තවත් වචනයක් කිව යුතුය. බිය හා සටන් කොට ගමන් තරගයෙන් ජය ගැනීමෙන් ලැබිය හැකි ප්‍රීතිය එකෙකි. මේ විස්තරය ලියන්නට අත්දැකීම් අපේක්ෂණය තවෙකෙකි. ඒ තල දෙකම කෙසේ වුවත්, රෑ ගමන කෙරෙද්දී නම් මා තුළ උපන් බයෙක පමණ දන්නේ නම් මම ම පමණෙකි. විටෙක ගෝනෙකු, මුවෙකු හෝ කොටියෙකු, වලසෙකු හෝ පාරේ සිට හඬ නගා දුවන්නට ඉගිලෙද්දී මා ත්‍රාසයට පත් විය.“මළා තමා”යි මට සිතිණි.”

මෙවන් විස්තරයක් කියවන නූතන පාඨකයෙකු අතීතයේ විසූ එහෙත් තමන්ට අද හෝ මතු දිනෙක කිසි විටෙකවත් අත් දකින්නට නොලැබෙන්නා වූ ඒ විස්මපත් අද්භූත සුන්දරත්වය ගැන ඇතිවිය හැක්කේ කුමන සිතිවිල්ලක්ද? මට වැටහෙන අන්දමට නම් එය නිකංම සිතිවිල්ලක් නොවනු ඇත. කම්පනයක්, සාංකාවක් හා එක් වූ වේදනාකාරී සංවේදීතාවක් ඔහු අත් විඳින ඇත. එවැනි සමාජ පාරිසරික මතු නොව සංස්කෘතික පැවැත්මක් මෙරට තිබූ බවට පවත්නා ජීවමාන සාක්ෂි වශයෙන් මායා ර.ජන් මතකය සහ ඔහුගේ කෘති පමණක් ඉතිරිවෙනු ඇත.

නෙල්ලි කැලේ මැදින් ඔහු කිහිප අවස්ථාවකදීම ගමන් කොට තිබේ. එසේ ගමන් කරමින් බොහෝ අත්දැකීම් ද ලබා තිබේ. මේ ද එවැනි එක් අත්දැකීමකි. ඒ අනුව දිනක් ඔහු පහළොස් හැවිරිදි කොළුවෙකුත් සමග දමන සමූපකාර කඩයෙන් හාල් කලමනා පටවාගෙන කරත්තයකින් යමින් සිටියේය. කරත්තය දක්කමින් සිටියේ අර කියපු පහලොස් හැවිරිදි කොළුවාය. හැන්දෑවේ හතර පමණ වන විට ඔවුහු නෙල්ලි කැලේ කෙලවර වූ අඳුරු වන පෙදෙසකට පිවිසෙමින් සිටියහ.

හීන් වැසි පොදක් ද වැටෙන්නට විය. මායා රංජන් ඔවුන් දෙදෙනා වෙනුවෙන්ම කුඩය දිග ඇරියේය. “කුඩයෙන් වැසී කතාබහක යෙදී ආ අපට බඹ කිහිපයකින් ලං වන තුරු මග අසල ඉදිරියෙන් සිටි අලින් දෙදෙනෙකු නොපෙනුණේය. “අලි”යි ශ්වාසයක් කරමින් කරත්තය නැවැත්වීය.”

අද දවසට අදාලව ඒ විස්තරය ගතහොත් සිදු විය හැකි දේ පැහැදිලිය. අලි දෙදෙනා අතින් මිකිසුන් දෙදෙනා පොඩි පට්ටම් වෙනු ඇත. එහෙත් ලේඛකයාත් ඒ කොළුවාත් මිය ගියේ ස්වාභාවික මරණ වලිනි. අලින් අතින් නොවේ.

වන සතුන් හා මිනිසුන් අතර වෛරයක් ඒ සමාජ සංස්කෘතිය තුල නොතිබුණ බව පැහැදිලිය. ජනගහනය මේ තරම් ඉහල නොගිය ඒ කාල වකවානුවේ වනාන්තර තුල ගිලී ගිය සතුන් මිනිස් ජනපද ආක්‍රමණයකිරීම හෝ වනපෙත් ආක්‍රමණය කරමින් සතුන්ගේ නිවාස ස්ථාන මිනිසුන් විසින් පැහැර ගැනීම් හෝ එදවස බහුල නොාවීය. නමුත් ගොවිජනපද ක්‍රමයේ ආරම්භයත් සමග අද දවසේ අප මුහුණ පා සිටින තත්වයට එදා එසේ මුල්ගල තැබුණේය. ඒ අතීතය අප වෙනුවෙන් මායා රංජන් එදා දුටුවේය. ඒ කාලය බොහෝ වෙනස්ය. ඔහුම කියන ආකාරයට,

“මෙහි ගෙවල සිරිත වේලාසනින්ම කන බොන දෙයක් කා බී නිදා ගැනීමය. බොහෝ ගෙවල පහන් දැල්වීමක්වත්, දල්වන්නට තෙල් පහනක්වත් ඇත්තේ නැත. එදා එපරිදි ගමේ ගෙවල කවුරුත් නිදි වේලාව පැමිණියේය. නිදි නැති බවක් පෙනුණේ පෝඩියාරේගේ ගෙදර පමණය. එහි කීප දෙනෙකුගේ කතා බස් ඇසෙයි. අලින්ගේ හඬ ද තව තවත් සැරට ඇසෙයි......මම ලිවීම නවතා නැගිට්ටෙමි.”

ඔහුගේ ඒ අත්දැකීම් අතර තවත් වෙසෙස් එක්වනම වැටහෙන නුවණින් වටහාගත නොහැකි ඇතැම් විට අද්භූත යැයි ද කිව හැකි එහෙත් එසේ පවසා පහසුවෙන් අමතක කිරීමට ද නොහැකි කරුණු කාරණා ද තිබේ. ඒ අනුව ඔහු වරක් පුරාණ නටබුන් අතරේ තවත් කිහිප දෙනෙකු සමග කරක් ගසමින් සිටියේය. තමන්ට හිමි නැති වන පියස්හි හිතුමතේට කරක් ගැසීම අපේ පැරැන්නන් අනුදත් ක්‍රියාවක් නොවීය. ඔවුහු ඊට බියවූහ. අප ඒ ගැන සිතිය ුයුත්තේ ඒ කාලය, ඒ මානසිකත්වය මෙන්ම ඒ සමාජ සංස්කෘතිය කෙරෙහි ඇති කරගන්නා සාධාරණ සිතකිනි. එහෙම මිසක් නූතනවාදී වැල්වටාරම් මානසිකත්වයකින් නොවේ. ඊට නිදර්ශනයක් වන පහත දැක්වෙන විස්තරය එන්නේ “අපේ රාජ්‍යය” කෘතියේය.

“මෙසේ මාලිගයේ විසිතුරු බලා අපි ඇතුළු බිහිදොර ළගට ආපසු ආවෙමු. හේතු මාමා බිහිදොරේ ආවරණය යට තද නින්දක යෙදී සිටියේය. අවදි කරන්නට උත්සාහ ගනිද්දී එය නින්දක් නොව මුර්ඡාවක් බව පෙනුණේය. පසුව කඳුරකින් වතුර ටිකක් ගෙනැවිත් පොවා මුහුණට ද ඉස්ස පසු සිහි ලැබූ උන්දෑ

“මම අපූරු හීනයක් දුටුවා”යි විස්මයෙන් ඇළලෙමින් කීය. “

මොකක්ද හීනේ?” මම ඇසීමි.

“මට දැන් මතක න. ඕක තමා මම කීවේ මේ තැන් ගැවසෙන එක නරකයි.”

ඔබ ඒ කියවු විස්තර සාහිත්‍යකරුවෙකු සිතින් මැවු විස්තර නොවේ. ඒ හැම විස්තරයක්ම උපන්නේ මේ මහ පොළොවෙනි. ඒ හැම තැනකම ජීවත්වෙන්නේ මේ මහ පොළොවේ ජීවත් වූ මිනිසුන්ය. ඒවා ලියා තබා ඇත්තේ ද ඒ මහ පොළොවත් සමග මෙන්ම ඒ මිනිසුන් සමග ද ජීවත් වූ මිනිසෙකි.

Comments