ජීවන මේ ගමන සංසාරේ! | සිළුමිණ

ජීවන මේ ගමන සංසාරේ!

ලේඛකයාට වටිනාම පුද්ගලයා පාඨකයා ය. අප රටේ සුප්‍රකට ලේඛකයකු වන ආචාර්ය ලීල් ගුණසේකරයන්ට ද වරක් තමාගේ වටිනා පාඨකයකු මුණ ගැසුණේ ය.

ඔහුට මේ පාඨකයා හමුවී ඇත්තේ විදෙස් රටක සම්මන්ත්‍රණයක් උදෙසා ගුවන් ගමනක යෙදී සිටියදී ය. ගුවන් යානයේ ඔහුට නුදුරු අසුනක සිටි අවුරුදු තිස්පහක් හතළිහක් අතර වූ තැනැත්තකු ලීල් ගුණසේකර වෙත ඉතාමත් ගෞරවයෙන් යුතුව ආචාරශීලී සිනහාවක් පුද කළේ ය. කිසි දිනක දැනහැඳුනුම්කමක් නොමැත්තකු වුව ද ලීල් ගුණසේකරයන් ද ඔහුට පිළිතුරු සිනහවක් පෑවේ ය. තමාව හඳුනන මුත් තමා විසින් නොහඳුනන මෙවැනි අමුත්තන් ඔහුගේ ජීවිතයට අමුත්තක් නොවූ බැවිනි.

ගුවන් ගමන අවසානයේ ලීල් ගුණසේකරයන් වෙත පැමිණි පෙර කී අමුත්තා තමා සමඟ තේ කෝප්පයක් බීමට ආරාධනා කරනු ලැබුවේ එය තමාට මහත් ගෞරවයක් බව ද සඳහන් කරමිනි. සුද්දෙකු වැනි පෙනුමකින් යුත් මේ අපූරු අමුත්තා ගැන දැන ගැනීමේ කුතුහලය ද මුල් කර ගනිමින් ඔහු ඒ ආරාධනාව සතුටින් පිළි ගත්තේ ය.

තේ පානය අතරතුර දැනගත් තොරතුරු වලට අනුව ඔහු විදේශීය බහු ජාතික සමාගමක ඉහළම මට්ටමේ විධායක නිලධාරියෙකි. මෙය තම සමාගමේ ව්‍යාපාරික කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ආපසු යන ගමනකි.

මේ තොරතුරු හැරුණු කළ ඔහු ලීල් ගුණසේකරයන් වෙත දැක් වූ ගෞරව බහුමානයට හේතුව ලෙස පැහැදිලි කරුණු ලැබුවේ මෙවැන්නකි.

මේ අමුත්තා අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ ය. ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් ඉගෙන ගත් නමුදු ඔවුන්ට සිංහල විෂයද උගන්වනු ලැබීය. සාමාන්‍යයෙන් පාසැල් වැඩ කටයුතු අරබයා දක්‍ෂයෙකු වුවද ඔහුට සිංහල භාෂාව ඉගෙනීමේ දී බරපතල ගැටලුවක් ව පැවැතියේ රචනා ලිවීම ය. සිංහල ගුරුවරයා කොතෙක් බලකරනු ලැබුවත් සාහිත්‍ය පොතපත කියවීමට තිබූ අකමැත්ත මෙයට හේතු වී තිබිණි. භාෂා දෙකේ ම ප්‍රවීණයකු වූ සිංහල ගුරුවරයා තරමක් සැර පරුෂ අයෙක් වූ බැවින් රචනා ලිවීමට බැරි මේ රාජකීය සිසුවාට සිංහල පාඩම කිසිසේත් ම සනීපදායක වූවේ නැත.

දිනක් ගංවතුර පිළිබඳ රචනාවක් ලියාගෙන එන ලෙස දැනුම් දුන් ගුරුවරයා මෙම සිසුවා දෙසට ඇඟිල්ල දික් කොට අවධාරණය කරනු ලැබුවේ වෙනදා මෙන් මොනවා හෝ ලියාගෙන පැමිණියහොත් මෙවර නම් වැඩ වරදින බවය.

හිස ගිනිගත් සිසුවාට පිහිටක් ලබාගත හැකි කිසිම මඟක් නොවීය. මව සහ පියා පැවසුවේ ද කෙසේ හෝ තනිවම ප්‍රශ්නයට මුහුණ දෙන ලෙස ය.

ඒ අනුව ඔහුට එක්වරම සිහියට ආවේ පියාගේ පොත් රාක්කයයි. ඉංග්‍රීසි පතපොත මෙන්ම සිංහල පතපොත ද පිරී තිබූ ඒ තුළින් ගංවතුරක් ගැන විස්තර කෙරෙන පොතක් සොයා ගැනීමට හෙතෙම සමත් විය.

පොතේ නම පෙත්සමය. ලියා ඇත්තේ ලීල් ගුණසේකරය. රාජකීය සිසුවා වැඩට බැස්සේ ය. සිතේ දෙගිඩියාවෙන් නමුදු ඒ කොටස කොපිකර ගත්තේ ය.

පසු දින උදේ වරුවේ සිංහල ගුරුවරයා වෙත යවන රචනා පොත් ගොඩට ඔහු තම පොත ද එකතු කළේ ය.

කියවා ලකුණු ලබාදුන් රචනා පොත් ටික ද රැගෙන සිංහල ගුරුවරයා පසුදින පන්තියට ආවේ ය.

ඉන්පසු මෙම සිසුවාගේ නම කියා පන්තිය ඉදිරියට කතා කළේ ය. තමාගේ සොරකම අසු වී ගුටිකනවා මදිවාට ලැජ්ජාවන්නට ද සිදුවනු ඇතැයි ඔහුට සිතුණේ ය.

එහෙත් සිදුවූයේ අනිකකි. ගුරුවරයා ඔහුව තමා ළඟට කැඳවා “රචනා ලියනවා නම් මෙන්න මේ විදියට ලියන්න”යි කියා ඔහුගේ රචනාව පන්තියට ඇසෙන්නට කියවන ලෙස නියම කළේ ය.

ඒ අනුව එදින ඔහු පන්තියේ වීරයා බවට පත්විය. නමුත් ඒ ජයග්‍රහණය ගැන අවංකව සතුටු වන්නට මේ සිසුවාට පුළුවන්කමක් තිබුණේ නැත. තමා කළේ වංචාවක් බවත්, එය ජයග්‍රහණයක් නොවන බවත්, ඔහු තේරුම් ගත්තේ ය.

“ඇත්තටම සර්! මට හිතුනා ඇත්ත කියල ගුටිකෑවා නම් හොඳයි කියල, ඉතින් ඒ පසුතැවිල්ලෙන් ගැලවෙන්න මම එක අධිෂ්ඨානයකට ආවා. ඒ තමා හොඳට සිංහල ඉගෙන ගන්න එක. ඉතින් මම ගෙදර ගිහින් පෙත්සමෙන් පටන් අරගෙන තාත්තගේ පොත් රාක්කයේ තිබුණු සිංහල පොත්පත් සේරම කියෙව්වා. ඊට පස්සේ මම සිංහල පන්තියේ ඇත්තම වීරයා වුණා. මට ඒ අවස්ථාව උදාකර දුන්නේ ඔබතුමා, නමුත් මේ තමා මට ඔබතුමා හමු වුන පළමුවෙනි අවස්ථාව. මෙහෙම හරි මගේ ගෞරවය පිළිගන්නන්ට ලැබුන එක ලොකු දෙයක්”

මේ විධායක නිලධාරියා ලීල් ගුණසේකරයන්ගේ දෙඅත් අල්ලා ගනිමින් පැවසීය.

මෙය සාහිත්‍යමය ගුණයෙන් යුත් නාට්‍යමය අවසානයකි. එසේ වන්නේ වාසනාවකට මෙන් රාජකීය විද්‍යාලයේ සිංහල ගුරුවරයා ලීල් ගුණසේකරගේ “පෙත්සම” කියවා නොතිබුණ නිසා ය!

 

Comments