හැට පැන්නත් බිම නොයන ජාතික චිත්‍රපට සංස්ථාව | සිළුමිණ

හැට පැන්නත් බිම නොයන ජාතික චිත්‍රපට සංස්ථාව

අදින් දශක දෙක හමාරක් නැතිනම් තුනක් වන තෙක් ම අප රටේ පොදු ජනතාවට, පන්සලට පල්ලියට හා වන්දනාවේ යෑමට අමතරව මසකට පමණ වරක් යෙදුණු මධුර චාරිකාවක් ද තිබුණේ ය. ඒ සිය පවුලේ ඇත්තන් හා දරුමල්ලන් ද කැටුව ළඟ ම ඇති සිනමා ශාලාවට ගොස් චිත්‍රපටයක් නැරඹීම ය. අශෝක හඳගමගේ ගේ ‘චන්ද කින්නරී‘ චිත්‍රපටයේ ස්වර්ණා මල්ලවආරච්චි රඟ පෑ ගෘහණියකගේ චරිතය ඒ සඳහා සූදානම් වන ආකාරය මේ සංස්කෘතිය ඉතා හොඳින් නිරූපණය කරන්නකි.

එහෙත් අපේ සිංහල සිනමාවට වසර හැත්තෑ තුනක් සපිරෙන මේ මොහොතේ අප හමුවේ ඉතිරිව ඇත්තේ එවැනි සංස්කෘතියක් තිබුණා ද කියාවත් නොදන්නා පරම්පරාවක් ඉදිරියේ අතීතය ගැන යමක් කතා කරමින් ඒ දවස ගෙවා දැමීමේ පළපුරුද්දක් පමණි. මේ පුරුද්ද අපට ඇති වූයේ ස්වකීය ජීවන ගමනේ අනිවාර්ය සංස්කෘතිකාංගයක් ලෙස චිත්‍රපටයක් නැරඹීමේ පුරුද්ද අපෙන් අහෝසි වීමත් සමඟ ය.

මේ තත්ත්වය යළි නඟා සිටවන්නට රජය විසින් පිහිටුවා ඇති චිත්‍රපට සංස්ථාවට දැන් වයස 48 කි. රටක් පෙරළනු පිණිස කැරලි ගසන්නට පමණක් නොව රටක් ගොඩනඟනු පිණිස තීරණාත්මක ඡන්දයක් භාවිතා කරන්නටද ශක්තියක් ඇති නව පරම්පරාවක් අප ඉදිරියේ සිටින්නේ මේ කිසිත් ගැන අවධානයකින් තොරව ය. ඔවුනට එවැනි සංස්කෘතියක් නැති ගාණ ය.

සංස්ථාව ප්‍රතිපත්ති සකස් කිරීමට සහ නියාමනයට සීමා විය යුතුයි

සිංහල සිනමාව අරබයා අප දන්නා ඓතිහාසික සැමරුම එයයි. නමුත් සුප්‍රකට සිනමා විචාරකයකු මෙන් ම චිත්‍රපට සංස්ථාවේ හිටපු වැඩ බලන සාමාන්‍යාධිකාරිවරයකු ලෙස ද කටයුතු කළ ගාමිණි වේරගම මහතා මේ පිළිබඳව එතරම් අසුබවාදී ව බලන්නට කැමැත්තක් නැත.

ඔහු පවසන්නේ, මේ ගෙවී ගිය දශක හතක කාලය තුළ සිංහල සිනමාව කලාවක් ලෙස තහවුරු වුවා ද, යන්න මෙන් ම ව්‍යාපාරයක් ලෙස දියුණු වුවාද යන්න ගැටලු සහිත වූවත්, අප රටේ සිනමා කරුවන් ලෝක පූජිත කලා කෘති රැසක් දායාද කර ඇති බවයි. ‘’අපේ තරුණ සිනමාකරුවන් අදටත් ප්‍රශස්ත නිර්මාණ කරමින් සිටිනවා” ඔහු කියයි.

නමුත් මූලික වශයෙන් සිනමා ව්‍යාපාරය රඳා පැවැතීමට හේතුවන විනෝදාත්මක සිනමාව ඇඳ වැටෙමින් පවතින බව ඔහු පෙන්වා දෙයි. “සාමාන්‍යයෙන් අද වසරකට චිත්‍රපට 25 ක් පමණ තිරගත වෙනවා. මේ බොහෝ චිත්‍රපට ප්‍රේක්‍ෂකයන් ආකර්ෂණය කර ගත්නේ නැහැ. අද පොදු ජනතාවට විනෝදාස්වාදය ලැබීමට මෙන් ම සිනමාපට නැරඹීමට ද විවිධ ක්‍රම තිබෙනවා. ඒ නිසා ඔවුන් සිනමා හලට පැමිණෙන්නේ වෙනස් විදියක සිනමා අත්දැකීමක් ලබන්නට. නමුත් එවන් වෙනසක් නොදකින තැන ඔවුන් ඉන් ඉවත් වෙනවා” වේරගම මහතා පවසයි.

චිත්‍රපට සංස්ථාව පිළිබඳව ඔහුගේ වී ඇත්තේ විවෘත ආර්ථීක ක්‍රමවේදය යටතේ රාජ්‍ය පාලිත ව්‍යාපාර වලට පැවැතීමට අසීරු වීම සාමාන්‍යයෙන් සිදුවන්නක් බවයි. එමෙන්ම එහි ඇති සමහර අණ පනත් අදට නොගැළපෙන බව ද ඔහුගේ අදහසයි.

’‘අද සංස්ථාව ක්‍රියාත්මක විය යුත්තේ ප්‍රතිපත්ති සකස් කරන සහ නියාමනය කරන ආයතනයක් ලෙසයි. සිනමා කලාව හා සම්බන්ධ කරුණු කාරණා මෙන්ම සිනමා සංස්කෘතිය සහ අධ්‍යයනයන් සිදුවිය යුත්තේ එමගින්. නමුත් ඉතිරි ව්‍යාපාර කටයුතු නියාමනයක් සහිතව නිදහස් කළ යුතුයි” යන්න වේරගම මහතාගේ යෝජනාවයි.

 

ඩිජිටල් තාක්ෂණයට අනුව පනත වෙනස් විය යුතුයි

ශ්‍රී ලංකාවට අන්තර්ජාතික කීර්තියක් ගෙන ආ ප්‍රතිභාපූර්ණ සිනමාවේදියකු වන ප්‍රසන්න විතානගේ මහතා මේ තත්ත්වය දකින්නේ ද වේරගම මහතාගේ අදහසට බොහෝ දුරට සමාන ආකාරයකිනි.

ඔහු පවසන්නේ අප මේ වන විට ලෝකයේ ඕනෑම රටක හොඳ සිනමා කෘති හා සැසඳිය හැකි ආකාරයේ නිර්මාණ මෙන්ම නළු නිළියන් ඇතුළු ශිල්පීන් ද අප රට තුළ බිහිවී ඇති බවයි. නමුත් සිනමාව කර්මාන්තයක් ලෙස වර්ධනය කිරීමට අපොහොසත් වී තිබෙන බවත් චිත්‍රපට සංස්ථාව බිහි කිරීමේ දී එහි පරමාර්ථය වූයේ ශ්‍රී ලංකේය සිනමාවේ දේශීය අනන්‍යතාවය අන්තර්ජාතිකත්වයේ සනිටුහන් කිරීම සහ නව තාක්‍ෂණික ක්‍රමවේද අනුගමනය කරමින්, වගකීම් හඳුනාගත්, සුහදශීලී සේවාවක් ගනුදෙනුකරුවන්ට ලබා දී ගුණාත්මක සිනමාවක් සඳහා අවශ්‍ය ධෛර්ය ලබාදිම යුතු බවත් යැයි ඔහු පවසයි.

’‘ගෝලීය ආර්ථීකය සමඟ වෙනස් වූ අද සමාජය තුළ ප්‍රේක්‍ෂකයා චිත්‍රපට බලන විදියත් වෙනස්. මේ ගැන සංස්ථාවට වරද පැටවීමෙන් වැඩක් නැහැ. ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. අද තිබෙන්නේ යථාර්ථය එක පැත්තක. නෛතික තත්ත්ව එක පැත්තක. යමක් ක්‍රියාත්මක කරන්නට බැරි ඒ නිසා.

උදාහරණයක් වශයෙන් සිංහල චිත්‍රපට නිෂ්පාදකයකුට නිශ්චිත ප්‍රදර්ශන වාරයක් දෙනවයි කියන එක ගැනවත් සංස්ථාවට සහතිකයක් දෙන් අමාරුයි” ප්‍රසන්න විතානගේ මහතා පවසයි.

එංගලන්තය ප්‍රංසය ආදී රටවල විදේශීය චිත්‍රපට ප්‍රදර්ශනයේ දී ඒවායින් බදු අය කරමින් දේශීය සිනමාවේ දියුණුවට බැර කරන බවත්, අප රට තුළ ද එවැනි ක්‍රියා මාර්ග අනුගමනය කළ හැකි බවත්, ඔහුගේ අදහස වී තිබේ. එමෙන්ම සංස්ථා පනතේ ඇතැම් කරුණු කාලීන ඩිජිටල් තාක්‍ෂණයට අනුරූපවම වෙනස් විය යුතු බව ඒ මහතාගේ අදහස වී තිබේ.

 

සුදුසු සිනමා හල් වැඩිවීමත් සමඟ තත්වය වෙනස් වෙනවා

මේ ආකාරයට දේශිය සිනමාවේ යම් යම් සංකීර්ණ ගැටලු ස්වභාවයන් පැවතුන ද සංස්ථාවේ වර්තමාන සභාපතිවරයා වන ජයන්ත ධර්මදාස මහතා මේ දෙස බලන්නේ සුබවාදී ආකල්පයකිනි. ඔහු පවසන්නේ පවතින ආර්ථීක ක්‍රමවේදයන්ට සහ ගෝලීය කරණයට අදාළව යම් ගැටලු පවතින මුත් ඒවාට මුහුණ දී ඉදිරියට යාමට සංස්ථාව පියවර ගෙන ඇති බවය.

මේ මොහොත වන විට දළුගම සරසවි චිත්‍රාගාරය වඩාත් පහසුවෙන් සිනමා රූපගත කිරීම් සිදු කළ හැකි ආකාරයට තාක්‍ෂණිකව දියුණුකර ඇති බවත්, චිත්‍රපට සංරක්‍ෂණාගාරයේ තත්ත්වය උසස් ප්‍රමිතියකට ලක් කර ඇති බවත් හෙතෙම පවසයි.

නමුත් චිත්‍රපට ශාලාවල අඩුවක් ඇති බවත්, තිබෙන සමහර ශාලා සිනමා කෘති ප්‍රදර්ශනයට සුදුසු තත්ත්වයක නැති බව ද සභාපතිවරයා පිළිගත්තේ ය.

එසේ වුවද කොළඹ නගරය තුළ දැනට පිහිටුවා ඇති උසස් තත්ත්වයේ සිනමාහල් කිහිපය ද ඇතුළුව දිවයින පුරා සිනමාහල් සීයක් පමණ ස්ථාපිතව ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය. ගෝලීය ආර්ථීක ප්‍රවනතාවයන්ට සමගාමීව සුදුසු ප්‍රදර්ශන ශාලා බිහිවීමත් සමඟ සිංහල සිනමාව කෙරෙහි ප්‍රේක්‍ෂක ආකර්ශනය වැඩිවනු ඇතැයි යන්න සභාපතිවරයාගේ දැඩි විශ්වාසය වී තිබේ.

 

Comments