ඇස්දෙක වහගෙන තමන් දිහා බලන්න; වෙනස්ම ලෝකයක් පෙනේවි : හරුකි මුර­කාමි | සිළුමිණ

ඇස්දෙක වහගෙන තමන් දිහා බලන්න; වෙනස්ම ලෝකයක් පෙනේවි : හරුකි මුර­කාමි

ඔහුගේ අතින් ලියැවෙන්නේ සැබෑවට එහා ගිය ගෙතුණු කතාන්දර ය. සැබෑව ඇත්තේ අඩුවෙන් වුව ඔහුගේ කතා ලොව පුරා මිලියන ගණනක් දෙනා කියවා ඇත්තාට නම් සැක නැත. මිලියන ගණනක් දෙනා ඔහුව කියවා ඇති නිසාම ඔහු ලොව පුරාම ප්‍රසිද්ධය. මේ සුප්‍රසිද්ධ ජපන් ලේඛකයාට නම් ‘ප්‍රසිද්ධ පුද්ගලයකු වීම‘ දැනෙන්නේ කරදරයක් හැටියටය.

දිනක් ඔහු මෑන්හැටන් සෙන්ට්‍රල් පාක් හි ඇවිද යමින් සිටියේය. ප්‍රසිද්ධියට අකැමති ඔහු ව්‍යායාමයට ඇවිද යෑම පාන්දරින්ම සෙන්ට්‍රල් පාක් වෙත පැමිණීම ඔහුගේ පුරුද්ද වුවත් මේ කියනා දවසේ ඔහු තරමක් ප්‍රමාද වී තිබිණි. ඇවිද යමින් සිටි ඔහු ඉදිරියට ආ කාන්තාවක් ඔහු ඉදිරියේ නතර වූවාය.

“මට සමාවෙන්න. ඔබ අර ජපාන් ජාතික ප්‍රසිද්ධ නවකතාකරු හරුකි මුරකාමී නොවේද?”‍ කාන්තාව සිනාසී ඇසුවාය. ඇසූ පැනය තරමක් අමුතු වුවත් හරුකි මුරකාමි තමන්ගේ සුපුරුදු නිවුණු ගතියෙන්ම උත්තරයක් දුන්නේ ය.

“ඇත්තටම ඔබ කිව් දේවල්වලින් ඔබ මාව නිවැරදිව හදුනගත්තා. ඒත් මම තවමත් නිකන්ම ලේඛකයෙක් විතරයි. කොහොම වුණත් ඔබව මුණගැසීම මට සතුටක්!”‍ පුදුමයට පත්වන තරමේ උත්තරක් ලැබූ කාන්තාව හරුකි මුරකාමී පසුකර ඇවිද ගියේ පුදුමය ප්‍රකට කරවන මුහුණද සමඟය.

ඒ හරුකි මුරකාමීගේ සැබෑවය. ඔහු කියනා ලෙසට එලෙස යමෙකු ඔහුව හඳුනාගෙන ඔහු ඉදිරියේ නතර වී කතා කිරීම ඔහුට දැනෙන්නේ ‘හරි අමුතු දෙයක්‘ හැටියට ය.

“මම හරිම සාමාන්‍ය මනුස්සයෙක්. මම දන්නේ නැහැ මිනිස්සුන්ට මාව මුනගැහෙන්න උවමනා ඇයි ද කියලා”‍ හරුකි මුරකාමී කියයි. සැබෑවට එහා ගිය කතා ලියන්නට ප්‍රසිද්ධියක් උසුලන හරුකිගේ මේ සැබෑ ගතිය ඔහු තව තවත් විශේෂ ලේඛකයකු බවට පත් කර ඇත. තවමත් පිරිනමා නැති මේ වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානයට හරුකි සුදුස්සකු බව කියැවෙන්නේ ඔහුගේ මේ විශේෂතා නිසාමය.

වරෙක ‘ද ගාඩියන් ‘මගින් දැනට ජීවත්වන ලෝකයේ විශිෂ්ටතම නවකතාකරුවා ලෙස ද නම් කරනු ලැබූ හරුකි මුරුකාමි, වයස අවුරුදු විසි නවයේදී නවකතාකරණයට පිවිසුණේ සිය පවුලේ බලාපොරොත්තු කඩ කරමින් ජෑස් සමාජ ශාලාවක් අරඹා ටික කලකට පසුවය.

දෙවන ලෝක යුද්ධයට වහාම පසුව ජපානය අත්විදි ඇමෙරිකානුකරණයේ හුරුවට ජීවිතය හැඩ ගස්වාගෙන සිටි මුරුකාමිගේ ලියැවිලිද ජපාන ගති ලක්ෂණ පෙන්වූයේ නැත. සිය මුල්ම නවකතාව ලිවීමට පෙර කිසිවක් ලියා නොතිබුණු මුත් ඔහුගේ වෙනස් සිතිවිලි, වෙනස් දැක්ම නවකතා පාඨකයා ආකර්ෂණය කරන්නට සමත් විය. ජපන් පාඨකයන්ගෙන් නොනැවතුණු මේ ආකර්ෂණය ලොව පුරාම පැතිරගිය අතර මුරුකාමිගේ නවකතා මේ වන විට ලොව පුරා භාෂා 50කට පමණ පරිවර්තනය වී ද ඇත.

 

ලෝකයාට ඔබ ප්‍රසිද්ධ ලේඛකයෙක්; විශේෂ ලේඛකයෙක්. නමුත් ඔබ කියනා ලෙසට ඔබ තවත් එක සාමාන්‍ය ලේඛකයෙක් පමණයි. ඔබේ ලියැවිලිවල විශේෂත්වයක් ඔබ දකින්නේම නැති ද?

“මම ලියනා දේවල් ග්‍රහණය කරගන්න පාඨකයන් දිහා බැලු‍වම මට යම් වෙනසක් දැනෙනවා. ඒක හරියට මටම වෙන් වුණු න්‍යායක් වගේ.

මම ලියනා දේවල්වලට හොඳම ප්‍රතිචාරය නිතරම ලැබෙන්නේ යම් ව්‍යාකූලත්වක් ඇති රටක පාඨකයන්ගෙන්. 1990 දශකයේදි රුසියාවේ මම හරිම ප්‍රසිද්ධයි. ඒ කාලෙ තමයි ඔවුන්ගේ සෝවියට් සමූහාණ්ඩුව වෙනස් වෙන්න පටන් ගත්තේ. ඒ කාලේ රුසියාවේ සැලකිය යුතු තරමේ ලොකු දේශපාලන ව්‍යාකූලත්වයක් තිබුණා.

ව්‍යාකූලත්වයෙන් පීඩාවට පත් වෙලා එන්න මිනිස්සු මගේ කතා කියවනවා කියලා මට දැනිලා තියෙනවා. ජර්මනියේ බර්ලින් තාප්පය බිද වැටුණුු කාලයේ ජර්මනියේ තිබුණු ලොකු ව්‍යාකූලත්වය තිබුණු කාලයේ ජර්මනියේ අයත් මගේ පොත්වලට බොහෝ ලෙස ප්‍රිය කළා. අද කියලා ඒ තත්ත්වයේ වෙනසක් නැහැ.

කිලින් කොමෙන්ඩටෝ, පිලිප් ගේබ්‍රියල් සහ ටෙඩ් ගූසන් ඉංග්‍රීසියට පරිවර්තනය කරපු මගේ අලු‍ත්ම නවකතාව පසුගිය ඔක්තෝබර් නව වැනිදා ප්‍රකාශයට පත් වුණා. ඒ පොතට වැඩිම ඉල්ලු‍ම තියෙන්නේ වර්තමානයේ ආර්ථික වශයෙන් ව්‍යාකූලත්වයට පත්වෙලා තියෙන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනතාවගෙන් සහ බ්‍රෙක්සිට් අර්බුදයෙන් ව්‍යාකූලත්වයට පත්වෙලා සිටිනා බ්‍රිතාන්‍ය ජනතාවගෙන්.

 

ඔබේ පොත්වලින් ඔබ ලෝකයාට පෙන්වන ලෝකය සැබෑ ලෝකයට වඩ වෙනස්. මේ කතා ඔබ කල්පනා කරමින් ගොඩ නඟා ගන්නා ඒවා ද නැත්නම් ඔබේ සිතේ ඉබේම ඇති වෙන සිතිවිලිවලින් ගොඩනැඟෙනා කතා ද?

මම දවසක් ලොකු අරමුණක නැතිව කල්පනා කරමින් හිටපු වේලාවක මගේ හිතට ඉබේම ආපු අදහස් තිබුණා.

මට ඒ වේලාවෙ හිතුණා ඒ අදහස ලියන්න හොඳ එකක් නේද කියලා. ඉතින් මම ඒ හිතට ආපු අදහස ලිව්වා. අන්න ඒ දවසේ තමයි මම ලියන්න පටන් ගත්තේ. එදා ඉඳලා මම ලියනවා. අදටත් ලියනවා. ඕනම දෙයකට හරියටම හරියන වේලාව ආවම ලැබෙන්න ඕන දෙය ඉබේම තමන් ළඟට එනවා. විශ්වාසයෙන් ඉවසීමෙන් බලා ඉන්නයි තියෙන්නේ.

ලියනවා කියන එකේදීත් මම කියපු ‘හරි වේලාවට හරියටම හරියන දේ ලැබෙනවා‘ කියන එකේ කිසිම වෙනසක් නැහැ. මට ලියන්න ඕන වේලාවට මට හරියටම හරි යන දේ මට ලැබෙනවා කියන විශ්වාසය මට තියෙනවා.මම අවුරුදු හතළිහක් තිස්සේ ලියනවා. ඒ නිසා මම දන්නවා ඒ වැඩේ කොහොමද වෙන්නේ කියලා.

මගේ පොත්වල තියෙන අදහස් එන්නෙ කොහෙන්ද කියල ඇත්තටම මට තේරෙන්නෙත් නැහැ. සමහර විට මගේම මනසේ කොහේ හරි ගැඹුරු තැනක තියෙන අදහස් මේ විදියට මා අතින් ලියැවෙනවා වෙන්නත් පුළුවන්.

මම දෙයක් ලියද්දි මම ක්ෂණිකව වෙනස් විදියට ලියන්නේ එක ඡේදයක් හෝ ඡේද දෙකක් වගේ පොඩි කොටසක්. එහෙම ලියලා මම ඊට පස්සේ කල්පනා කරනවා මම ඒ කතාව දිගට අරගෙන යන්නේ කොහොමද කියලා. ගොඩක් වේලාවට මම කරන්නේ ඒ ලියපු දේ මගේ ලියන මේසෙ ලාච්චුවට දාලා එතැනින් නැගිටලා යන එක. කතාවේ ඉතිරිය ලියාගන්න හරියටම හරියන අදහස මගේ හිතට එනකල්ම ඒ කතාව ලාච්චුවේම තියෙනවා.

නිර්මාණාත්මක ලිවීම ඔබට දැනෙන්නෙ යම් තරමක හෝ අපහසු කටයුත්තක් ලෙසට ද?

මම මෙහෙම කියන්නම්. ඒක අපහසු දෙයක් කියනවාට වඩා මගේ සිත සතුටුවෙන, මට හොඳයි කියල හිතෙන දේ ලියන්න තරමක කාලයක් ගතවෙනවා කියලා කිව්වොත් තමයි නිවැරැදි. පොතකට හරියන කතාව ගැන අදහසක් ඇති වෙන්න තරමක් කාලය ගතවෙනවා කියන එක තරමක අපහසුවක් විදියට වුණත් කෙනෙකුට දකින්න පුළුවන්. එහෙම වේලාවට මම කරන දෙයක් තියෙනවා. මගේම කියලා ලියන්න දෙයක් නැති වේලාවට මම කරන්නේ යමක් පරිවර්තනය කරන එක.

මගේ නිර්මාණයකට කල් මරමින් ඉන්න වේලාවක ඒක මට කාලය ගත කර ගන්න ඒක හොඳම දෙයක්. මගේම දෙයක් නොවුණත් මොනවා හරි දෙයක් ලිවීම තව පැත්තකින් මගේ ලිවීම්වලට පුහුණුවක්.

මේ කිසිම දෙයක් කරන්න නැති වේලාවට මම ගෙදර තියෙන පොඩි පොඩි වැඩ මොනවා හරි හොයාගෙන කරනවා. නැත්නම් පොඩ්ඩ්ක් ඇවිදින්න යනවා. මම රෙකෝඩ් කරලා තියාගෙන ඉන්න කතාවලට ඇහුන්කම් දෙනවා. ලියනවා කියන එක මහ කලබලයෙන් කරදර විඳිමින් කරන්න පුළුවන් දෙයක් නොවේ. මට නම් ලියනවා කියන එක හරිම විනෝදජනක වැඩක්.

 

ඔබේ ලිවීම් ගැන ලියැවෙන විචාර, විවේචන හැම එකක්ම ඔබ කියවනවාද?

සමහර ලේඛකයන්ගෙන් මේ ප්‍රශ්නය ඇහුවම ඒ අය බොරුවට කියනවා ‘ඔව් මම ඒ හැම විචාරයක්ම කියවනවා ‘කියලා. හැබැයි මම බොරු කියන්නේ නැහැ.මම ලියන දේවල් ගැන වෙනත් අය ලියන එකම එක විචාරයක්වත් මම කියවන්නේ නැහැ.මගේ බිරිය නම් ඒ හැම විචාරයක්ම කියවනවා. ඈ කියවන ඒ විචාරයන් අතරින් මගේ ලියවිලි ගැන නරක ලියැවිලා තියෙන විචාරයන් ඇය මට ඇහෙන්න හඬ නඟලා කියවනවා. ඇය කියන විදියට නම් මම ඒ නරක විචාරයන් අනුමත කළ යුතුයි.

හොඳ කියලා තියෙන විචාරයන් අමතක කරලා දැමිය යුතුයි. කල්පනා කරලා බලද්දි ඇය නිවැරදියි. අපි ගැන හොඳ කියන අයගෙන අපේ ජීවිතවලට එකතු කර ගන්න දෙයක් නැහැ. අපි ගැන නරක කියන අයගෙන අපිට අපේ ජීවිත වලට ගන්න දේවල් තියෙන්න බැරි නැහැ. මම ලියන දේවල් ගැන ලියැවෙන විචාර කියවන්නෙ නැති වුණාට මම මගේ පොත්වල පරිවර්තන නම් කියවනවා. ඒක මගේම කතාවක් වුණත්,පරිවර්තන පොත කියවද්දි මට දැනෙන්නෙ අලු‍ත්ම අලු‍ත් පොතක් කියවනවා කියලා. ඒ වගේ ලොකු පොතක් පරිවර්තනය කරන්න අවුරුද්දක් නැත්නම් අවුරුදු දෙකක් වුණත් ගතවෙනවා.

පරිවර්තන පොත කියවන වේලාවට මම ලියපු කතාව මම අමතක කරලයි පරිවර්තන පොත කියවන්නේ. පොත පරිවර්තනය කරපු පරිවර්තකයා බොහෝ විට මට කතා කරලා අහනවා ‘හරුකි, ඔබ මගේ පරිවර්තනයට කැමැතිද?‘ කියලා. ඒ වෙලාවට මම කියනවා ‘ඇත්තටම ඔව්, ඒක නියම කතාවක්,මම ඒකට කැමැතියි‘ කියලා.

 

ඔබ ලියනා දේ සැබෑවෙන් එහා ගිය අද්භූත දේවල්වලින් පිරිලා තියෙනවා කියන එකයි පොදු පිළිගැනීම. ඔබේ සැබෑ ජීවිතයට මේ අද්භූත දේවල් වල සබඳකමක් තියෙනවා කියලා කෙනෙක් කියන්න පුළුවන් නේද?

මම හරිම තාත්වික පුද්ගලයෙක්. ඒ වගේම හරිම ප්‍රායෝගික පුද්ගලයෙක්. නමුත් මම අරුම පුදුම, අද්භූත දේවල් ලියද්දි මම මගේ ජීවිතයේ රහස් තැන්වලට යනවා. මම කරන්නෙ මගේ ජීවිතයේ ඇතුළාන්තය හොයාගෙන මාවම ගවේෂණය කරන එකයි. මේක ඕනම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. ඇස් දෙක වහගෙන තමන් තුළට කිමිදිලා බැලු‍වොත් හැම කෙනෙකුටම පුළුවන් වේවි වෙනස්ම ලෝකයක් දකින්න. ඒක හරියට තමන් තුළින් විශ්වය ගවේෂණය කරනවා වගේ දෙයක්.

ඒ ගවේෂණය අපිව ගෙනියනවා බියගන්වන සුලු හරිම භයානක අරුම පුදුම තැනකට. හැබැයි මම හිතනවා මේ භයානක අරුම පුදුම ලෝකය දැකලා දැනගෙන තියෙන එකත් හරිම වැදගත්.

 

ඒ කතාව ඇහුවම හිතෙන්නේ ඔබේ නිර්මාණවල සැඟවිලා තියෙන සැබෑ අරුත විස්තර කර දීම තරමක අපහසු කටයුත්තක් කියලයි?

මගේ පොත් කියවන අය හැම නිතරම මගේ පොත් ගැන මගෙන් අහනවා.‘ඔබ අර කතාවෙන් අදහස් කරන්නේ මොකද්ද, මේ කතාවෙන් ඔබ අදහස් කරන්නේ මොකද්ද?‘කියලා තමයි ගොඩක් දෙනා අහනවා. හැබැයි ඒ අහන හැමදේම පැහැදිලි කරලා දෙන්න මට පුළුවන්කමක් නැහැ.

මේ ඇතැම් වේලාවට මම මම ගැනම කතා කරනවා. තවත් සමහර වේලාවට මම කතා කරනවා ලෝකය ගැන. උපමාව ගැන මිසක උපමාවට පාදක වෙච්ච රූපකය ගැන විශ්ලේෂණය කිරීමේ හැකියාවක් නැහැනෙ. මගේ පොත් කියවන කෙනෙකුට කරන්න තියෙන්නෙ නිකන්ම මාව විශ්වාස කරන එක. මොකද අද ලෝකෙ ගොඩක් වෙනස්. මිනිස්සු හිතන විදිය ගොඩක් වෙනස්. මම ගැටවරයෙක් වෙලා හිටපු කාලේ ජීවිතයේ පරමාදර්ශී වයසේ, ඒ කියන්නේ 1960 කාලේ මම නම් හිතුවේ මහන්සි වුණොත් හොද ජීවිතයක් ගතකරන්න පුළුවන් වේවි කියලා. අද ඉන්න අය එහෙම දෙයක් ගැන විශ්වාස කරන්නේ නැහැ. ඒක හරිම කනගාටුදායකයි. මගේ පොත් ගැනත් මම මගේ තරුණ කාලේ හිතපු විදියට හිතුවොත් ඕනම කෙනෙකුට දැනට වඩා යමක් වටහා ගන්න පුළුවන් වේවි.

හැමෝම කියන්නේ මගේ පොත් අද්භූතයි කියලනෙ. ඒත් මොහොතකට හිතන්න ඒ අද්භූත දේවල්වලින් එහාට ගියාම හරි ලස්සන ලෝකයක් තියෙනවා නේද කියලා. මම කියන්න හදන්නේ හරිම සරල දෙයක්. හොඳ ලස්සන ලෝකයක් අත්දකින්න, විඳින්න කලින් අපිට හැම වේලාවෙම යම් අද්භූත අමුතු දේවල්වල අත්දැකීම් ලබන්නම වෙනවා. අපේ ජීවිතවලට එන ලස්සන කාලයේ ලස්සන හරියටම අත්විදින්න පුළුවන් වෙන්නෙ එතකොටයි. ඔබට ආලෝකය දකින්න කලින්, අදුර හරහා පොළොව යටින් අමාරු ගමනක් යන්න වෙනවාමයි. ඒක තමයි මගේ කතා වල තියෙන්නේ.

 

ඔබ සිහින දකින්නේ කුමක් ගැනද?

ඇත්තටම මම සිහින දකින කෙනෙක් නොවෙයි. මාසෙකට වරක් දෙකක් නම් නින්දෙදි සිහින දකිනවා. හැබැයි ඒ හීන නම් එකක්වත් මගේ මතකයේ රැඳෙන්නේ නැහැ. මම හිතන්නේ මට සිහින දකින්න මට වුවමනා නැහැ. මොකද මට ලියන්න පුළුවන් නෙ. ඇත්තම කිව්වොත් මම අද වෙන කල් මගේ ලියුම් එක්ක මේ ගමන ආවෙ සිහින දකිමින් නොවෙයි. එහෙම සිහින දකින්න බලාපොරොත්තු තියාගන්න අවසරයකුත් මට තිබුණෙ නැහැ කියලත් මට හිතෙනවා. මම ලියන්න පටන් ගත්ත මුල් කාලෙ ඉඳලම ජපාන සාහිත්‍ය ලෝකෙ හිටපු ‘කාලවර්ණ බය ගුල්ලා‘ වුණේ මම. බොහෝ විවේචකයන් කියපු විදියට මගේ පොත් එකක්වත් ජපානයේ මුල තිබුණු පොත් නොවෙයි. ඒ පොත්වල ඇමෙරිකානු ආභාෂය වැඩිපුර තිබුණා කියලයි හැමෝම කිව්වේ. ලෝක යුද්ධයකට පසුව ඉපදුණු මම ,ඇමෙරිකානු සංස්කෘතිය එක්ක හැදුණු වැඩුණු කෙනෙක් විදියට මගේ පොත්වලට ඒ වගේ අභාෂයක් ලැබුණු එකේ වරදක් මම නම් දකින්නේ නැහැ. කොහොම වුණත් මට මගේ ලෝකය වචනවලට හරවනවා මිසක සිහින දකින්න වුවමනාවකුත් නැහැනෙ.

අන්තර්ජාලය ඇසුරෙනි.

Comments