මිනි­සුන්ගේ සිත් ගැනී­ම­ටත් ප්‍රසි­ද්ධිය වැඩි කිරී­ම­ටත් ඉගැන්වූ පොතක් | Page 2 | සිළුමිණ

මිනි­සුන්ගේ සිත් ගැනී­ම­ටත් ප්‍රසි­ද්ධිය වැඩි කිරී­ම­ටත් ඉගැන්වූ පොතක්

 

“බලාපොරොත්තු කඩවීම් හා තාවකාලික පරාජයන් නැමැති ප්‍රතාපවල වැටි වැටී අප්‍රතිහත ධෛර්යයෙන් යළි නැගී සිට ජීවිතය පිළිබඳ දුර්ග මාර්ගය ඔස්සේ භාග්‍යයේ ගිරිමුදුන කරා නොපසුබට උත්සාහයෙන් පා නඟන ජනකාය වෙත පිරිනමමින් මීට වසර 70කට පමණ ඉහත ධනාත්මක චින්තනය ගැන ග්‍රන්ථයක් පොතක් පළ වී ඇත. මේ පොතේ නම ‘භාග්‍යය’ ය. කර්තෘවරයා කේ.ඇම්. සිරිසේන ය. එකල ඔහු ‘වෙළඳාම’ නමින් සඟරාවක් සංස්කරණය කරමින් ධනාත්මක චින්තනය ගැන එහි ලිපි ද පළ කර ඇත.

‘භාග්‍යය’ නම් සිරිසේනයන් ලියූ එකී පොත ගැන 1950 – 08 – 14 දින පුවත්පතක ඊ.ආර්. සරච්චන්ද්‍ර (පසුව මහාචාර්ය) ලියූ විචාරයක මෙසේ සඳහන් කර තිබුණි.

“සිංහල පාඨකයා ඉදිරියේ මෙවැනි කෘති තැබීම ප්‍රශංසා කටයුතුයි. තමාගේ භාග්‍යය තමාගේ ම වීර්යය උඩ රඳා පවත්නා එකක් බව ද එය දෛවයෝගයක් හෝ නක්ෂත්‍ර යෝගයක් හෝ අනුව සිද්ධ නොවන්නක් බව ද හේතු සහගතව පෙන්වා දී තිබීම ඉතා වැදගත් සේවයකි.”

 

“පළමුවෙන් කළ යුතු දේ පළමුවෙන් කළ යුතු යැයි (1950 වසරේ) ජවහර්ලාල් නේරු මහතා විසින් කියන ලදී. ජීවිතය සාර්ථක කර ගැනීම ද ඉගෙන ගත යුතු ශාස්ත්‍රයකි. මිනිසකුට දියුණු වීමේ ප්‍රස්තාවත් බොහෝ සෙයින් සුලභ, භෞතික දියුණුවෙන් අගතැන්පත් බටහිර දිග රටවල පවා ජීවිතය සාර්ථක කර ගන්නා සැටි උගන්වන ආයතන හා පොත් සුලබ ය. සැමුවෙල් ස්මයිල් විසින් ‘ආත්මෝපකාරය’ නමැති, ජීවිතය සාර්ථක කර ගැනීමේ ප්‍රථම ග්‍රන්ථය ලියන ලද්දේ මීට අනූ වර්ෂයකට (1950 දී කළ ප්‍රකාශයකි) පමණ පෙරදී ය. ලොව පුරා ප්‍රචාරය වුණු මේ ග්‍රන්ථය මේ වනතෙක් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් විසින් කියවන ලදී. දැනුදු කියවති. සැමුවෙල් ස්මයිල්ගෙන් පසු ජීවිතය සාර්ථක කර ගැනීම ගැන ඊට වඩා ශාස්ත්‍රානුකූලවූත් ව්‍යවහාරොචිත වූත් පොත් සිය ගණනක් යුරෝපයේ සහ ඇමෙරිකාවේ ප්‍රසිද්ධ කරන ලදී. මේ පොත්වල ඇතුළත් වනුයේ ලෝකයේ මෙතෙක් ජීවත්ව සිටි හා තවමත් 1950 වසරේ ජීවත්ව සිටින දියුණු වූ මිනිසුන් ඔවුන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට අනුගමනය කරන ලද ක්‍රියා මාර්ගයන් ය. එහෙයින් මේ පොත් ජීවිතයේ බලාපොරොත්තු කඩවී ජීවන සංග්‍රාමයෙන් පරාජිතව වැතිර සිටින කෝටි සංඛ්‍යාත ජනකායකට ජීවිතය සාර්ථක කර ගැනීමට මඟ පෙන්වන හිතවත් මාර්ගදේශකයෝ වූහ.”

කිසියම් කාර්යයක් ඉතා හොඳින් කිරීමට හැම මිනිසාට ම සහජයෙන් උන් ශූරත්වයක් ඇති බවත්, මිනිසුන්ට ඔවුන්ගේ සහජ ශූරත්වයන්ට ගැළපෙන කාර්යයන්හි යෙදෙන්ට ප්‍රස්තාවන් ලැබෙන්නේ නම් ජීවිතය සම්බන්ධයෙන් කියන්නට ඇති වෙනස් කථාන්තරයක් දැයි සිරිසේනයෝ විස්තර කරති.

අමරණීය කීර්තියක් දිනා සිටි ඉංග්‍රීසි ග්‍රන්ථකාරයකු වූ එච්.ජී.‍ වේල්ස් ඔහුගේ සහජ ශූරත්වයට ගැළපෙන කාර්යයක් සොයා ගත්තේ අවුරුදු කිහිපයක පසු බවත් වෙළෙඳ සැලක සේවකයකු වශයෙන් ජීවිතය ආරම්භ කළ වේල්ස් ඒ රක්ෂාවෙන් අස් කරනු ලැබූයේ ‘කාලකණ්ණියා වහා පිට වෙනු. මගේ දෙනෙතින් ඉවත්ව යනු‍’ යි නින්දා කිරීමෙනි.‍ එහෙත් ඔහු ගුරු වෘත්තියට බැස පොත් ලියන්නට පටන්ගෙන එමඟින් ධනවත් ලෝක විශ්‍රැත කීර්තියක් ඔහු කරා ගලා එන්ට ව‍ූ විට කිසිවෙක් ඔහුට කාලකණ්ණියා යයි නොකීය. සිනමා ලෝකයෙහි මහ රැජනක වුණු ‘ග්‍රේටා ගාර්බෝ නම් නිළිය රැඟුම් දැක්වීමට ඇති ඇගේ සහජ ශූරත්වය සොයා ගත්තේ වෘත්තීන් දෙකක ම යෙදුණු පසු ය.

සිංහලයකුට නැංග හැකි ඉහළ ම තත්ත්වයට නැගුණු සර් ඩී.බී. ජයතිලක මහතා පළමු වරට රක්ෂාවක් සොයා ගෙන ගිය වේලේ ආණ්ඩුවේ උසස් නිලධාරියා දුන් අවවාදය පිළි පැද්දේ නම් ජයතිලක කෙනෙකු ජීවත්ව සිටි බවවත් අද මිනිසුන්ට මතක නැති වනු ඇති බවත්, දේශපාලනයට සහජ ශූරත්වය තිබුණු ජයතිලක මහතා ආණ්ඩුවේ සේවයට ගියේ නම් කළ පිළිවෙළට කරන ඒ කාර්යය කර එයින් ‍නාකි වී විශ්‍රාම ලැබ මැරී යන බවත් ලේඛකයා සඳහන් කර තිබුණි. ඔහු මේ උදාහරණ දක්වමින් මෙසේ ද කියයි.

“ජීවිතය පිළිබඳ උසස් අපේක්ෂාවන් මුදුන් පත්කර ගැනීමට නොයෙක් බාධා හා අවහිර තිබෙන බව කෙනෙකුට බැලූ බැල්මට පෙනෙනු ඇත. එහෙත් බාධා හා අවහිර කෙතරම් දැඩි වුවද කෙනකුට ඒවා ජය ගත හැකි ය. ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත්වුණු සියලුම මිනිසුන් විසින් මේ බාධක ජය ගෙන තිබේ.”

1951 වසරේ කේ.එම්. සිරිසේන ලෝකයේ වැඩිපුරම විකිණී ඇති ඉංග්‍රීසි ග්‍රන්ථයක් වූ How To Win Friends And Influence People සිංහලයට පරිවර්තනය කළේ ය. එහි කතුවරයා ව‍ූයේ ඩේල් කානගී (Dale Carnegie) ය. සිංහල පරිවර්තනයේ නම ‘හිත් ගැනීම’ ය. පණහ දශකයේ ලෝකයේ ඉංග්‍රීසිය හැරෙන විට ලෝකයේ තවත් භාෂා 23 කට මේ පොත පරිවර්තනය වී තිබුණි. ‘හිත් ගැනීම’ කෘතිය හඳුන්වා දෙමින් අනුවාදක මෙසේ පවසා ඇත.

“ඔබ මානසික අලස භාවයෙන් එළියට ගෙන අලුත් අදහස්, අලුත් දෘෂ්ටියක් හා අලුත් උද්යෝගයක් ඔබ තුළ ඇති කිරීම; ඔබට මිත්‍රයන් ඇති කර ගැනීමට ආධාර වීම; ඔබේ ප්‍රසිද්ධිය වැඩ කිරීම, මිනිසුන්ගේ හිත් ගැනීමට ඔබට ආධාරවත් වීම; යමක් කරවා ගැනීමට ඔබ තුළ බලපෑම් හා ශක්තිය වැඩි කිරීම; අලුත් ගනුදෙනුකාරයන් ඇති කර ගැනීමට මග පෙන්වීම හා ඔබේ දිනපතා කටයුතුවලදී ඔබට ප්‍රයෝජන ගැනීම පිණිස මනෝ විද්‍යාත්මක ප්‍රතිපත්ති පහදා දීම ‘හිත් ගැනීම’ පොතෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන වන්නේ ය.”

‘හිත් ගැනීම’ කෘතිය ලියූ ඩේල්කානගී ජීවිතයේ දුක් කම්කටොලු සමඟ සටන් කර උසස් තත්ත්වයකට නැඟුණු කෙනෙකු බවත් ඔහුගේ පියා සතුන් ඇති කරන ගොවිපළක් පවත්වාගෙන ආ කෙනෙකු බවත්, ළමා කානගී මේ ගොවිපළේ වැඩ කරමින් මෙ දුක සේ අධ්‍යාපනය ලැබූ බව පසු කලෙක ඔහු ලියූ How to Stop Worrying and Start Living නම් ග්‍රන්ථයේ මෙසේ සඳහන් වන බව අනුවාදකයා උපුටා දක්වයි.

“අවුරුදු තිස්පහකට පෙර (1917 දී පමණ) නිව්යෝක් නගරයෙහි සිටි ඉතාම අවාසනාවන්ත තරුණයන් අතුරෙන් මම ද එක් කෙනෙක් වීමී. මම ජීවනෝපාය සඳහා මොටෝ ට්‍රක් විකුණමින් සිටියෙමි. මම මගේ රක්ෂාව ප්‍රිය නොකළෙමි.

මා ප්‍රිය නොකරන මේ රක්ෂාව අත්හැරීමෙන් මට කිසිවක් නැති නොවන බවත් දිනා ගැනීමට හැම දෙයක් ම තිබෙන බවත් මම දැන සිටියෙමි. මුදල් ගොඩක් ඉපයීම ගැන මා සැලකිලිමත් වූයේ නැත. එහෙත් මා සැලකිලිමත් වූයේ ජීවිතයෙන් ලොකුම ප්‍රයෝජනය ගැනීම සඳහා ය.”

තමා ප්‍රිය නොකළ ඒ රැකියාව අත හැරිය කානගී අනතුරුව තරුණ ක්‍රිස්තියානි සමිති මඟින් පවත්වන රාත්‍රි පාඨශාලාවල වැඩිහිටියන්ට මිනිසුන් වසඟ කර ගත හැකි වන ලෙස ක්‍රියා කිරීම උගන්වන්ට පටන් ගෙන ඇත. මේ ඉගැන්වීම බොහෝ සෙයින් සාර්ථක වී ඇති අතර වැඩිහිටියන්ට ඔවුන්ගේ දිනපතා ජීවිතයේදී මුහුණපාන්ට සිදුවන ප්‍රශ්න විසඳා ගැනීමට වුවමනා ඇති කළේ ය. ඒ වුවමනාව ඉටුකර ගැනීමට සරිලන ව්‍යවහාරෝචිත උගැන්මක් කානගී ඔවුන්ට ලබා දුන්නේ ය. ඒ නිසා ඔහු මිනිසුන් සමඟ කටයුතු කරන සැටි ඉගැන්වීම අතින් ලෝකයේ පිළිගත් උගතකු ලෙස සලකනු ලැබෙයි.

ඩේල් කානගී ලියූ සෙසු පොත් මෙසේ ය. Public Speaking and Influencing men in Business; Lincoln The Unknown; Five Minute Biogaphies; Little known Facts About well Known People; Biographical Roundup.

තම ග්‍රන්ථ පිළියෙළ කිරීමේදී කරුණු රැස් කිරීම සඳහා ඒ විෂයයට අයත් හැම පොතක් හැම සඟරාවක් මෙන් ම හැම සඟරාවක් ම, හැම වාර්තාවක් ම ඔහු කියවූ බවත්, මීට අමතරව ඔහුට කියවීමට බැරි වූ සෑම දෙයක් ම නොයෙක් පුස්තකාලවල අවුරුදු ගණනාවක් ම ගත කර ඇත. හැම කාලවලම විසූ ශ්‍රේෂ්ඨ පුරුෂයන්, මිනිසුන් සමඟ කටයුතු කළ සැටි දැන ගැනීමට ඔහු චරිත කතා ගණනක් කියවා ඇත. ජූලියස් සීසර් ගේ පටන් තෝමස් එඩිසන් දක්වා සියලුම කාලවල විසූ සියලු ම ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ ජීවන චරිත කියවූ ඔහු තිය‍ඩොර් රෑස්වෙල්ට්ගේ පමණක් චරිත කථා සියයකට වැඩියෙන් කියවා ඇත. ඔහු මෙසේ ද කියා තිබුණි.

“ලෝක ප්‍රකට ශ්‍රේෂ්ඨ පුරුෂයන් ගණනාවක් සමඟ මම පෞද්ගලිකවම සාකච්ඡා කළෙමි. මාර්කෝනි, ෆ්රැන්ක්ලින් ඩී. රූස්වෙල්ට්, ඕවන් ඩි යං, ක්ලාක් ගේබල්, මේරි පික්ෆර්ඩ්, මාටින් ජොන්සන් ආදීන් සමඟ සාකච්ඡා කර මිනිසුන් අතර සම්බන්ධකම් ඇති කර ගැනීමේදී ඔවුන් භාවිත කළ ක්‍රමය සොයා දැන ගැනීමට ප්‍රයත්න දැරිමි.”

මේ අත්දැකීම් ඇසුරින් අවුරුදු ගණනාවක් ම ඩේල් කානගී වැඩිහිටියන්ට කතා පවත්වා ඇත. ඒවායේදී ඔහු දාර්ශනිකයන්, ලේඛකයන්, ජනාධිපතිවරුන්, වෘත්තිකයන්, කලාකරුවන් ප්‍රකාශ කළ ඇතැම් රන්මිණි මුතු වැනි වටිනා කියමන් ද නිදර්ශනයට ගත්තේ ය.

“ඔබේ ම දොරක‍ඩ කැළිකසළ තිබියදී ඔබේ අසල්වැසියාගේ ගේ පිටුපස තිබෙන කැළිකසළ ගැන පැමිණි නොකළ යුතුය” යි කොන්ෆියුසියස් නමැති චීන දාර්ශනිකයාගේ අගනා කියමන දක්වන ඔහු, මෙසේ ද කියයි.

“අවුරුදු ගණනක් ඇවිළෙමින් මරණය තෙක් පවතින අප්‍රසන්න බව කෙනෙකු තුළ ඇති කර වීමට හෙට අපට වුවමනා නම් අපි ඔහු ගැන තරමක දැඩි ගුණ දෝෂ දර්ශනයක යෙදෙමු. ඒ ගුණ දෝෂ දර්ශනය සාධාරණ දැයි අපට සහතික වුණත් නැතත් කම් නැත.

කෙනෙකුගේ ගති ගුණ විවේචනය කිරීම වූ කලී අන්තරාය දායක ගිනි පුපුරකි. මිනිසෙකුගේ අභිමානය පිළිබඳ වෙඩි බෙහෙත් ගබඩාවේ එයින් භයානක පිපිරීමක් ඇති කළ හැකි ය. මේ පිපිරීමෙන් ඇතැම් විට ඔහුගේ මරණය ද ඉක්මන් විය හැකි ය.”

තවත් වරෙක ඩේල් කානගී ඇමෙරිකානු දාර්ශනිකයකු රාජ්‍ය පාලකයකුව සිටි බෙන්ජමින් ෆ්රැන්ක්ලීන් (1706 – 1760) නම් ප්‍රංසයේ ඇමෙරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කිරීමෙහි කොතරම් දක්ෂ වූයේ ද, ‍ඔහුගේ සාර්ථක භාවයේ රහස කුමක්දැයි දැක්වීමට ඔහුගේ කියමනකින් අනාවරණය කරයි.

“මම කිසි මිනිසකු ගැන නරකක් කතා නොකරමි. හැම දෙනාගේ ම මා දන්නා සෑම හොඳ දෙයක් ගැනම මම කතා කරමි.”

“ඔබට වුවමනා කරන්නේ කුමක් දැයි” ප්‍රශ්න කරන කානගී “බොහෝ දේ නොවේ” කියයි.

“‍එහෙත් ඔබ කැමති කිහිප දෙය ඔබ බලවත් තෘෂ්ණාවකින් බලාපොරොත්තු වන්නෙහිය. වැඩි විය පත් සාමාන්‍ය මිනිසුන් සෑම දෙනාටම කරුණු 08 ක් වුවමනා කෙරේ.

1. ජීවිතයේ සෞඛ්‍යය 2.සුරක්ෂිතතාව 3. ආහාරය 4. නින්ද 5. මුදල් හා මුදලෙන් ගත හැකි දේ 6. දරුවන්ගේ සුභ සිද්ධිය 7. කාමාශාවන් සන්තර්පණය 8. දරුවන්ගේ සුභ සිද්ධිය 9. තමා සැලකිය යුත්තෙකි යන හැඟීම. එකක් හැර මේ හැම වුවමනාවක් ම පාහේ සන්තර්පිත වේ. එහෙත් ආහාරය හෝ නින්ද මෙන් ම බලවත් වූ ද උදාරවත් වූ ද, කලාතුරකින් සන්තර්පණය වන්නා වූ ද එක් ආශාවක් වෙයි. “ශ්‍රේෂ්ඨත්වයක් ඇති කර ගැනීමට ඇති ආශාව” යනු සිග්මන් ‍ෆ්‍රොයිඩ් (1856 – 1934) ද “සැලකිය යුතු තත්ත්වයක් ඇති කර ගැනීමට ඇති ආශාව” යනුවෙන් ඇමෙරිකානු දාර්ශනික ජෝන් ‍ඩිවි ද හඳුන්වන්නේ එයයි.”

බොරු වර්ණනාව ජීවිතයේ දී ඔබට හොඳට වඩා නපුර සිදු කරන බව කියන කානගී කෙනෙකු අගය කිරීමත් කෙනෙකු ගැන බොරු වර්ණනා කිරීමත් අතර ඇති වෙනස ඉතා පැහැදිලි බව කියයි. එකක් අව්‍යාජය, අනික ව්‍යාජය. එකක් මිනිසකුගේ හදවතින් ම පිට වන්නේ ය.

“මැක්සියානු සෙනෙවියකු වූ හා මැක්සිකානු ජනාධිපති අල්වාරෝ ඔබ්රිගන් සෙනෙවියාගේ අර්ධර්වකාය ප්‍රතිමාවක් මැක්සිකෝ නුවර චැපල්ටටැක් මන්දිරයේ මම ළඟදී දිටිමි. ජීවිතය පිළිබඳව ඔබ්රිගන් සෙනෙවියාගේ ම දර්ශනයේ එන මේ වචන ප්‍රතිමාවට පහළින් කොටා තිබුණේ ය. “ඔබට පහර දෙනු සතුරන් ගැන භය නොවෙනු. ‍ඔබට චාටු බස් දොඩන මිතුරන් ගැන භය වෙනු.”

දිවංගත පස්වන ජෝර්ජ් මහ රජතුමා බකිංහැම් මාලිගයේ ස්වකීය කන්තෝරු කාමරයේ බිත්තිවල උපදේශ කාව්‍ය හයක් ප්‍රදර්ශනය කර තිබුණේ ය. එයින් එකක් මෙසේ ය. “සුලභ වර්ණාව නොකිරීමටත්, එය නො පිළිගැනීමටත් මට උගන්වන්න.” සුලභ වර්ණාව කියන්නේ කුමක්ද? බොරු වර්ණාව නැති නම් චාටුවය කියන්නේ එයයි. චාටුව ගැන කර තිබෙන විග්‍රහයක් වරක් මම කියැවීමි. ඒ විග්‍රහය මෙසේ ය. “චාටුව යනු අන්‍යයන් ඔවුන් ගැන ම සිතන සැටි ඔවුන්ට නියම වශයෙන් ම කීමය.”

“මට හමුවන සෑම මිනිසකුම කිසියම් මාර්ගයකින් මට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙකි. ඒ නිසා මම ඔහුගෙන් යමක් ඉගෙන ගනිමි” යි රැල්ෆ් වැන්ඩෝ එමර්සන් කීය. ඇමෙරිකානු කවියකු හා නිබන්ධකයකු වන එමර්සන් (1803 – 1882) ගැන එසේ නම් අප ගැන දහස් වාරයක් එය සත්‍ය විය නොහැකි ද? අපි අපේ වුවමනාවන් ගැන සිතීම නවත්වමු‍. අන්‍යයන්ගේ හොඳ දේ දැකීමට අපි වෑයම් කරමු. අනතුරුව බොරු වර්ණනාව අමතක කර අවංක ලෙස ද හිතවත් ලෙස ද ඒ ‍හොඳ අගය කොට සැලකීමට පුරුදු වෙමු.”

ඩේල් කානගී කියන ආකාරයට කෙනෙකු වසඟ කර ගැනීමට මිහිපිට ඇති එකම මාර්ගය ඔහුට වුවමනා දේ ගැන කතා කිරීමත් එය ලබා ගන්නා හැටි ඔහුට පෙන්වාදීමත් බව ය.

තම සිනාව ඩොලර් ලක්ෂ ගණනක් අගය වී යයි චාල්ස් ස්ක්වැම් කාන්ගීට වරක් කියා ඇත‍. ඔහු එහි සත්‍යය දැන සිටියේ ය. ස්ක්වැබ්ගේ අපූර්ව දියුණුවට සහමුලින් ම පාහේ හේතු වූයේ ඔහුගේ පෞරුෂත්වය, ඔහු කෙරෙහි ඇති සිත් ගන්නා ලක්ෂණ හා තමා ප්‍රිය කරනු ලැබීමට මිනිසුන් මෙහෙයැවීමට ඔහු තුළ තිබුණු ශක්තිය බව කානගී කියයි.

“මම ඔබට කැමැත්තෙමි. ඔබ නිසා මම ප්‍රීතියට පත් වෙමි. ඔබ දැකීමට මම සතුටු ඇත්තෙමි.” යන ‍මේ අදහස් සිනා මුහුණකින් කියා පෑ හැකිය. බල්ලන් මෙතරම් සිත් ගන්නේ ඒ නිසා ය. ඔවුහු අප දැකීමට කෙතරම් ප්‍රීතිමත් ද යත් අප දුටු විට සතුට ඉවසා ගත නොහැකිව අපේ ඇඟට පනිති. එහෙයින් ස්වභාවික ලෙස අපිදු උන් දැකීමට සතුටු වෙමු. ‍බොරු සිනා මුහුණකින් මේ අදහස් කියා පෑ නො හැකි ය.

පැරණි චීන්නු ලෝකය ගැන අවබෝධය ඇති ජාතියක් වූහ. අප හැම දෙන ම විසින් නිතර සිහි කටයුතු කියමනක් ඔවුන් අතර වෙයි. එය මෙසේ ය. “සිනා මුහුණක් නැති තැනැත්තා වෙළෙඳ සැලක් පටන් නොගත යුතු ය.” එ හෙයින් මිනිසුන් විසින් ඔබ ප්‍රිය කරනු ලැබීමට කැමැත්තෙහි නම් පිළිපැදිය යුතු දෙවන නීතිය සිනා මුහුණක් ඇති කර ගැනීම ය.”

කානගීගේ ග්‍රන්ථයේ දේශපාලනඥයන් ගැන ද කීමට අමතක කර නැත. ඔහු කියන්නේ ඡන්දදායකයකුගේ නම මතක තබා ගැනීම දේශපාලන ශාස්ත්‍රය බව දේශපාලනඥයකු විසින් උගත යුතු පළමු වන පාඩම බව ය. නම මතක තබා ගැනීමට ඇති ශක්තිය දේශපාලනයෙහිදී මෙන් ම වෙළෙඳාමෙහිදී ද සමාජ සම්බන්ධකම්වලදී ද එක සේ වැදගත් බව ය.

ඩේල් කානගී ලියූ How To Win Friends and Influence People කෘතියෙන් කරුණු 12 ක් සම්පූර්ණ වන බව පොත ප්‍රකාශයට පත් කළ The World’s Work (1913) ප්‍රකාශන සමාගම දක්වා තිබුණේ 12 things this book will do for you එහි දක්වා තිබුණේ මේ අයුරිනි.

 

1. Get you out of a mental rut, give you new thoughts, new visions, new ambitions.

2. Enable you to make friends quickly and easily.

3. Increase your popularity.

4. Help you to win people to your way of thinking.

5. Increase your influence, your prestige, your ability to get things done.

6. Enable you to win new clients, new customers.

7. Increase Your earning power.

8. Make You a better salesman, a better executive.

9. Help you to handle complaints, avoid arguments, keep your human contacts smooth and pleasant.

10. Make you a better speaker, a more entertaining conversationalist.

11. Make the principles of psychology easy for you to apply in your daily contacts.

12. Help you to arouse enthusiasm among your associates.

කානගීගේ ‘හිත් ගැනීම’ කෘතිය ගැන හිටපු අග්‍රාමාත්‍යවරයා එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා පවසා ඇත්තේ මේ පොත ගැනීම සෑම නායකයකු මෙන් ම දේශපාලනයට හෝ ව්‍යාපාරික ලෝකයට හෝ පිවිසෙන කොයි කවුරුන් විසින් නිතිපතා අධ්‍යයනය කළ යුතු පොතක් බවය.

හිටපු පොලිස්පති ඔස්මන්ඩ් ද සිල්වා 1954 දී පවසා තිබුණේ ‘හිත් ගැනීම’ සෑම පොලිසියකම තබා ගන්නැයි නියෝග කරන බව හා. එය පොලිසියේ සියල්ලන්ට ඉතා ප්‍රයෝජනවත් බව ය. 1957 වසරේ ඩේල් කාන්ගී ලංකාවට පැමිණියේ ය. අනුවාදක කේ.එම්. සිරිසේන ද කානගී මහතා ද, පොතේ ප්‍රකාශක මැකලම් පොත් හලේ අධිපති යූ.කේ. එඩ්මන් මහතා ද හමු වූහ. සිරිසේන මහතා විසින් අගමැති බණ්ඩාරනායක මහතාටත්, බුරුම අගමැතිව සිටි ඌනු මහතාටත් පිළිගන්වනු ලැබීය. කානගීගේ කෘතිය බුරුම බසට පරිවර්තනය කළේ ඌනු මහතා විසිනි.

‘හිත් ගැනීම’ කෘතිය අනුවාදය කළ කේ.එම්. සිරිසේන කොග්ගල ආරච්චිගෙදර උපත ලබා මාතර සාන්ත තෝමස් විද්‍යාලයෙනි. ‍ඔහු මුල්වරට ව්‍යාපාර ලෝකය ගැන සඟරාවක් ආරම්භ කළේ පණහ දශකයේ මුලදී ය. 1957 දී ‘ලංකාදීප’ පත්‍රයේ ප්‍රධාන උප කර්තෘවරයා ලෙස ද 1965 වැඩ බලන කතුවරයා ලෙස ද කටයුතු කළ කේ.එම්. සිරිසේන ‘විප්ලවයෙන් බිහිවූ ලෝකය ‘ගෝර්කි චරිතය’ ‘සාහිත්‍ය රසධරා’ ග්‍රන්ථ රචනා කළේ ය. ‘ලංකාදීප’ පත්‍රයේ සාහිත්‍ය පිටුව සංස්කරණය කරමින් විචාර කලාව නොදියුණු පනහ දසකයේ ‘ජයදේව’ නමින් පොත් විවේචනය කර ඇත. ඔහුගේ බිරිය චාලට් ලලිතා අමරසිංහ ද ලේඛිකාවකි. මේ දෙදෙනාම අද ජීවතුන් අතර නැත.

ධනාත්මක චින්තනය ගැන මුල් යුගයේ පොත් ලියූ සිංහල ලේඛකයන් අතර මෛත්‍රී මූර්ති, ආනන්ද විජයවීර, සුමනදාස සමරසිංහ ගැන ඉදිරියට කතා කරමු.

 

Comments