හුණුවටයේ කතාවෙන් බ්‍රෙෂ්ට් ට හානියක් වුණා | සිළුමිණ

හුණුවටයේ කතාවෙන් බ්‍රෙෂ්ට් ට හානියක් වුණා

හෙතෙම මෙරට නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රාමාණික විද්වතෙකි. න්‍යායාත්මක ව මෙන්ම ප්‍රයෝගකව ද නාට්‍ය ක්ෂේත්‍රයේ නියැළී කිර්තියක් හිමිකරගෙන තිබෙන ඔහු නමින් ධර්මජිත් පුනර්ජීව ය. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් විසින් සිය ජීවිතයේ අවසාන කාලයේ ලොවට දායාද කළ මාහැඟි කෘතිය වන‘Short Organum’ ‘උපාය ශාස්ත්‍ර’ නමින් හෙතෙම සිංහලයට නඟා ඇත. මේ ඒ පිළිබඳ ව හා මෙරට බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය ක්‍රමවේදයට අත් වූ ඉරණම පිළිබඳ ව කෙරෙන සංලාපයකි.

 

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් සිය ‘අාඛ්‍යාන නාට්‍යකරණය’ අවසන් කර ‘අපෝහකාත්මක නාට්‍යකරණයට (Dialectical theatre)’ පිවිසෙනවා. ඔහු එවැනි පදනමකට එන්න හේතුව කුමක්ද?

ආඛ්‍යාන නාට්‍යකරණ (Epic theatre)යේ සිට අපොහකාත්මක නාට්‍යකරණ (Dialectical theater) මාරුවෙන්න ඕන කියල බ්‍රෙෂ්ට් තීරණය කරන්නේ විද්‍යාත්මක ලෝකයට පා තබන මොහොතක ආඛ්‍යාන රංග රීතියේම රැඳී සිටීම ප්‍රායෝගික නොවන නිසයි. ඔහු ආඛ්‍යාන රංග රීතිය ගොඩනඟන්නේ ඇරිස්ටෝටලියානු ආභාසය ගුරුකොට ගනිමින්. නමුත් ඔහු 1956 සිය ජීවිතයේ අවසන් කාලපරිච්ඡේදයේදී උත්සාහ කරනවා විද්‍යාත්මක යුගයේ සන්ධිිස්ථානයක් වන මාක්ස්වාදය හා බද්ධ වුණු නාට්‍යමය ක්‍රමවේදයක් හඳුන්වා දීමට. මේ කාර්යයේදී හේගල්, කාල් මාක්ස් සහ වික්ටර් ෂොක්ලොව්ස්කි වැන්නන් ගේ අදහස් ඔහු අධ්‍යයනය කර නිගමනයකට පැමිණ අවසන්. මේ අධ්‍යයනය අවසාන වන්නේ අපෝහකාත්මක නාට්‍යකරණය හඳුන්වාදීම මඟින්. ඔහු ඒ දක්වා රංග ගත කළ සියලු නාට්‍ය නිර්මාණය කළේ තනිව ම නොවේ. ඔහු සමඟ සමීපව කටයුතු කළ අනෙකුත් නාට්‍යකරුවන් හා එක්වයි. එතනදි අර්වින් පිස්කැටර් (Erwin Friedrich Maximilian Piscator) කියන නාට්‍යකරුවා තමයි පසුකාලීනව බ්‍රෙෂ්ට් විසින් හඳුන්වාදෙනු ලබන ඒලියනේෂන් තියරිය අත්හදා බලන්න පටන් ගත්තේ. ඒ අනුව පිස්කැටර් විසින් පවතින රාජ්‍යට එරෙහිව දේශපාලනික විරෝධාකල්ප අන්තර්ගත කරමින් නව නාට්‍ය ක්‍රමයක් හඳුන්වා දෙනවා. ඒ නාට්‍ය ක්‍රමය ඔහු හැඳින්වූයේ ඇජිට් ප්‍රොප් තියටර් (Agit-prop Theater) නමින්. කිසියම් දේශපාලන මතයක් ඉදිරිපත් කිරීම හෝ පවතින දේශපාලන ධාරාව ප්‍රතික්ෂේප කිරීමට කරනු ලබන නාට්‍යමය ක්‍රියාදාමයක් විදියට අපිට මෙය හඳුන්වන්න පුළුවන්. ඒත් මේ ක්‍රමය බ්‍රෙෂ්ට් පිළිගන්නේ නැහැ; ඔහු එය ප්‍රතික්ෂේප කරනවා. එනිසා අවසානයේ ඔහු නවතින්නේ ආඛ්‍යාන නාට්‍ය ක්‍රමවේදයේ නෙවෙයි අපොහාත්මක නාට්‍ය ක්‍රමවේදය තුළයි. 56 දී ඔහු මේ ක්‍රමවේදය ලෝකයට හඳුන්වා දුන්නත් අපි තවමත් එය නාට්‍ය ක්‍රමවේදයක් ලෙස අභ්‍යාස කර නැහැ.

බ්‍රෙෂ්ට් කිසියම් දේශපාලන දහමක් සිය නාට්‍යකරණය ගොඩනැඟිමට ගුරු කොට ගන්නවා නේද?

බ්‍රෙෂ්ට්ගේ සමස්ත ක්‍රියාකාරිත්වයම (ඔහුගේ පෙළ පිටපත්, ජීවිත භාවිත) ගොඩනැඟී ඇත්තේ මක්සියානු දර්ශනය මතයි. එය කවුරුත් දන්නා කාරණයක්. නමුත් ඔහුගේ නාට්‍යමය ක්‍රියාකරකම් මක්සියානු දේශපානය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. එය ඉතාම නිවැරදිව වටහාගතයුතු කාරණාවක්. කිසියම් දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටිනවා යන චෝදනාව බ්‍රෙෂ්ට් විසින් ම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහු ගේ අවසාන අදහස වන්නේ කලාව පවතින්නේ වින්දනය සඳහා බවයි. ඒත් ඒ කවරාකාරයේ වින්ඳනයක් සඳහාද? කියන එක ඔහු ප්‍රශ්න කරනවා.

මෙරට මහා ඇදුරන් පවා ඔවුන්ගේ සංවාද කවවල බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය විධික්‍රමය සම්බන්ධයෙන් විසංවාද ඇති කරගෙන තිබෙනවා. විශේෂයෙන් ම ආඛ්‍යාන නාට්‍යකරණ (Epic theater) පිළිබඳ ව. මේ ගැන ඔබේ අදහස් කෙබඳුද?

මගේ විශ්ලේෂණය අනුව නම් මේ න්‍යාය සම්බන්ධයෙන් මේ ගැන දැනුමක් තියෙන න්‍යායාචාර්යවරුන් තුළ විතරක් නොවෙයි, මේවා අභ්‍යාස කරන අය තුළත් විශාල ගැටලු තිබෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගත්තොත් ඔවුන්ට තිබෙන්නේ පොතේ දැනුම පමණයි. නාට්‍ය අභ්‍යාස කරල ඒ පිළිබඳ ප්‍රායෝගික දැනුමක් ඔවුන්ට නැහැ. ඒ වගේම ප්‍රායෝගිකව අභ්‍යාස කරපු අයටත් මේ පිළිබඳ ව නිසි අවබෝධයක් තිබුණේ නැහැ.

මේ රටේ නාට්‍ය ක්ෂේත්‍රයට බ්‍රෙෂ්ට් ව හුරුපුරුදු කරපු කෙනෙක් තමයි හෙන්රි ජයසේන. මගේ හැදෑරීම අනුව හෙන්රි ජයසේන තමයි බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ට සැලකිය යුතු හානියක් කරපු කෙනා. උදාහරණයකට ‘හුණුවටයේ කතාව’ නාට්‍ය ගමු; මෙය සම්පූර්ණයෙන්ම කේන්ද්‍රීය චරිත නැත්නම් පුද්ගල චරිත හුවා දක්වන ඒවා ජනප්‍රිය ධාරාවට එකතු කරන නාට­්‍යයක්. නමුත් බ්‍රෙෂ්ට් ගේ අදහස වුණේ කේන්ද්‍රීය චරිත ජනප්‍රිය, අනුවේදනය දනවන ස්වාත්මීයකරණයට ලඝු නොකර රඟදැක්වීමයි. කිසිම ප්‍රේක්ෂකයකුට ගෲෂත් එක්ක හරි අසඩක් එක්ක හරි බැඳෙන්න බැහැ. නමුත් අපේ සිංහල ප්‍රේක්ෂකයා අවුරුදු පනහකට වඩා වැඩිකාලයක් අනුවේදනයට පත්වෙමින් ජීවත් වෙන්නේ දාරක ප්‍රේමය වෙනුවෙන් අරගල කරන ගෲෂා සමඟයි. වඩාත් ම අනතුරුදායක දේ තමයි පාසල් විෂය මාලාව සමඟත් මේ වැරැද්ද දිගින් දිගට ම කරගෙන යෑම.

අනෙක් අතට බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයේ තිබුණේ දෙවන ලෝක යුද්ධය කාලයේ දී තම ජීවිතය බේරා ගැනීම උදෙසා ගම්බිම් හැර පලා ගිය මිනිසුන් හා යුද්ධයට මුහුණදෙමින්, දුක් ගැහැට විඳිමින් තම ගම්බිම් රැකගෙන භවබෝග වගාකර ඒවා සරුසාර කරන මිනිසුන් අතර ඇතිවන ගැටුමක් පිළිබඳවයි. යුද්ධය හමාර වූ පසු පලා ගිය මිනිසුන් තමන් හැරදමා ගිය ඉඩ කඩම්වලට පැමිණ ඉඩම්වල අයිතිය ඉල්ලා සිටීමත් සමඟ මේ ගැටුම ආරම්භ වෙනවා. “තමුසෙල මේ ඉඩම්වල වගා කළාට මේ ඉඩම් තමුසෙලට අයිති නැහැ. මේවා අපේ අත්තා මුත්තා කාලේ ඉඳල අයිති අපටයි”. එතකොට අනෙක් අය අහනවා “එහෙම නම් තමුසෙල මේවා දාලා කොහේද ගියේ. තමුසෙලගෙ නම් මේ ඉඩම් තමුසෙලට ඉන්න තිබුණ‍නේ. අපි මෙතන හිටියා. අපි යුද්දෙට මුහුණ දුන්නා.” මේ විදියට ආරවුලක් නිර්මාණය වෙනකොට ආණ්ඩුවෙන් කොමසාරිස් කෙනෙක් එවනවා මේ ප්‍රශ්නය විසඳන්න. කොමසාරිස් උදේ සිට හැන්දෑ වෙනකම්ම මේ දෙගොල්ලන්ගේ අදහස්වලට ඇහුම්කන් දෙනවා. ඇහුම්කන් දීල වෙහෙසට පත්ව ඔහු කියනවා “මම මේ ප්‍රශ්නය වගකිවයුත්තන්ට දැනුම් දෙන්නම්; මට මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න විදියක් නැහැ” කියලා. එතන මේ සිද්ධිය බලාගෙන ඉන්න ජන නාට්‍ය කණ්ඩායමක් ඉන්නවා. ඒ අය කියනවා “දැන් මේ මහත්වරුන්ට උදේ ඉඳල මේ ප්‍රශ්නෙ විසඳගන්න ගිහිල්ලා මහන්සිත් ඇති නේ. අයිතිය ගැන අපේ මේ ජනවහරේ එන කතාවක් තියෙනවා. අපිට ඉඩදෙනවා නම් අපි මේක ඔයාලට රඟදක්වල පෙන්වන්නම්”කියලා. එවිට කොමසාරිස් කියනවා “අනේ එහෙම නම් කොච්චර දෙයක් ද; පෙන්නන්කො බලන්න” කියලා. එතකොට පෙන්නන නාට්‍ය තමයි දරුවාගේ අයිතිය පෙන්වන වසර සියගණනක් පැරණි ආඛ්‍යාන නාට්‍යයක් වන කොකේසියන් චෝක් සර්කල් කියන නාට්‍යය. එතකොට බ්‍රෙෂ්ට්ගේ ප්‍රධාන නාට්‍ය ඇතුළෙ තියෙන අතුරු නාට්‍යය තමයි හෙන්රි ජයසේන ‘හුණුවටයේ කතාව’ කියල පෙන්නන්නේ. නමුත් බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය කරනවා නම් ප්‍රධාන නාට්‍ය වන ඉඩම් පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡා වෙන නාට්‍යයත් මෙතන තියෙන්න ඕන. මොකද ඒ මත පදනම්වයි ඔහු පැරණි ජන සාහිත්‍යයේ එන කතාවක් නාටකීය ස්වරූපයෙන් මෙතැනට අරගෙන එන්නේ. ඒත් හෙන්රි ජයසේනගේ නාට්‍යයේ ඒ පළමු කොටස ඔහු සාහසික ලෙස ගලවා ඉවත් කරනවා. අපි බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය විභාගය ගැන න්‍යායාචාර්යවරුන්ට චෝදනා කරනව වගේ ම ජාතියේ ප්‍රණාමයට පාත්‍ර වුණු ඒ නාට්‍ය භාවිතයේ යෙදුණු අයත් ඒ චෝදනාවට ලක් විය යුතු වෙනවා. ඒ ඔවුන් අතින් බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය රීතිය අවභාවිත වෙලා තියෙන නිසා. බ්‍රෙෂ්ට්ගේ මූලික ම නාට්‍ය ධර්මය වන්නේ එලියනේෂන් ඉෆෙක්ට් (Alienation effect) එකයි. ඒත් මේ ක්‍රමවේදය නට්‍ය පැත්ත පළාතක පෙනෙන්නට නැහැ. ඒ නිසා තමයි මම කලින් කිව්වා වගේ ගෲෂාට රඟපාන නිළියට ප්‍රෙක්ෂකයා බැඳෙන්නේ.

එලියනේෂන් ඉෆෙක්ට් (Alienation effect) කියල බ්‍රෙෂ්ට් අදහස් කළේ මොකක්ද?

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් මුහුණ දුන් ආකාරයේ හිට්ලර් කෙනකුගේ පාලනයට හෝ දෙවන ලෝක යුද්ධය වැනි යුද්ධයකට මුහුණ දුන්; එවැනි අත් දැකීමක් සංවේදී ව ග්‍රහණය කරගන්න පුළුවන් ප්‍රවීණ නාට්‍යකරුවකු හෝ සිහිබුද්ධියක් ඇති තරුණ පරම්පරාවේ නාට්‍යකරුවකු හෝ අපේ රටේ ඇති කියල මා හිතන්නේ නැහැ. හිට්ලර් නමැති අති දරුණු බිහිසුණු සාහසික ආඥාදායකයාට මුහුණ දෙන්න ඔහු ජීවතුන් අතර සිටියදී ම බර්ට්‍රෝල්ට් බ්‍රෙෂ්ට් ඇතුළු සාහිත්‍යකරුවෝ නාට්‍යකරුවෝ සංගීතඥයෝ චිත්‍ර ශිල්පීන් ආදී විවිධ ක්ෂේත්‍රවල කලාකරුවෝ මේ ආඥාදායකත්වයට මුහුණ දෙන්නෙ කොහොමද කියල විවිධ පර්යේෂණ කළා. සමහර අය ව මරා දැමුවා. බ්‍රෙෂ්ට් වැනි අය රටින් රට පැන ගියා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි එලියනේෂන් ඉෆෙක්ට් එක බ්‍රෙෂ්ට් අභ්‍යාස කරන්නේ. අනෙක් අතට අපේ වගේ නෙවෙයි,

ජර්මනිය කියන්නේ විවිධ කලා සංස්කෘතීන් අතින් පොහොසත් ඉතා ම සුවිශිෂ්ට ගණයේ දාර්ශනිකයන් පරම්පරාවක් බිහි කරපු පොළවක්. නාට්‍යකරණය තුළත් ‍ මේ බලපෑම මේ විදියට ම සිද්ධ වෙනවා. මේ තත්ත්වය තුළ හිට්ලර්ට මුහුණ දීලා ජනතාව මේ උගුලෙන් ගලවගන්නනෙ ඔවුන්ව දැනුවත් කරන්නේ කොහොමද කියලා ඔවුන් පර්යේෂණ කරනවා. බ්‍රෙෂ්ට් රුසියාවෙදි කිසියම් නාට්‍ය දර්ශනයකට සහභාගිවන අවස්ථාවකදී ෂොක්ලොව්ස්කිගෙන් Entfremdungs effect නාට්‍ය ක්‍රමවේදය පිළිබඳ ව දැනගන්න ලැබෙනවා.

ඔහු හා අදහස් හුවමාරු කරගෙන නැවත ජර්මනියට පැමිණෙන අනෙකුත් නාට්‍යකරුවන් සමඟ රුසියාවේදී හැඳිනගත් නාට්‍ය ක්‍රමවේදය පිළිබඳ ව විවිධ පර්යේෂණ සිදු කරනවා. අවසානයේ ඔහු ඊට Verfremdungs effect යන අර්ථනිරූපණය එක් කරනවා.

මේ තත්ත්වය අපි වටහා ගන්නේ කොහොමද?

මම හිතන විදියට අපි උපන් බෞද්ධයො හැටියටත්, බෞද්ධ දර්ශනය අපේ රටේ චිරාත් කාලයක් පැවත එන නිසාත්, අපට මෙය එක්තරා විදියකින් වටහා ගැනීමට පහසු වී තිබෙනවා. ඒ තමයි පරාරෝපණ ක්‍රියාවලිය. අපෙන් ඈත් වෙලා අප දිහා බලන්න අපට උගන්වනවා. පිනට දහමට අපව යොමුකරන ආකාරය, අනෙකාගේ දුකේදී අපට උණුවෙන ස්වභාවය. අසරණ මනුෂ්‍යයකු කරදරයට වැටුණම අපට උනුවෙන්නේ ඔහුගේ දුක පිළිබඳව අපට කුමක් හෝ කළ හැකි යැයි සිතෙන නිසා. මේ නිසා අපට ස්වාත්මීකරණය වෙනවා වගේම ඔහුගෙන් බැහැරව දුක නමැත් සන්දර්භය පිළිබඳ ව විමසා බලන්න පුළුවන් කමකුත් ලැබී තිබෙනවා. Alienation effect කියන අදහසට සමීප වෙන්න යතුරක් කපාගන්න මෙය උපකාරී වෙනවා. එතකොට මේ Verfremdungs ජර්මන් වදන ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළාම Alienation effect කියන වදන ඉංග්‍රීසි කලා ලෝකය නිර්මාණය කර ගන්නවා. මේ සඳහා සිංහල වචන ගණනාවක් ම අපේ විද්වතුන් යෝජනා කර තිබෙනවා. මහාචාර්ය විමල් දිසානායක මෙයට ‘තදාත්මක විඝටනය’ කියා ද, හෙන්රි ජයසේන ‘දුරස්ථීකරණය’ යනුවෙන්ද, මහාචාර්ය ගම්ලත් ‘පරාරෝපණය’ යනුවෙන්ද, මහාචාර්ය ඒ.වී සුරවීර ‘පරාත්මීකාරකය’ යන්වෙන් ද, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු ‘ආගන්තුකකරණය’ යනුවෙන් ද හඳුන්වා ඇත. නමුත් මගේ අදහස නම් මීට දිය හැකි සිංහල වදන වන්නේ ‘අසහසම්බන්ධ ඵලය’ යි. අසහසම්බන්ධ ඵලය කියන්නේ අපට බෙහෙවින හුරුපුරුදු හැඟීම් මාත්‍රයන් එනම් දුක, කෝපය, සන්තාපය, කාංසාව වැනි හැඟීම් ඛණ්ඩනය කිරීමයි. බ්‍රෙෂ්ට් මෙතනදි හැඟීම් කියල නම් කරන වදන මම සිංහලට දැම්මා තිරෝභූතියට පත් වීම කියල. ඒ අනුව එලියනේෂන් කියල කියන්නේ අසහසම්බන්ධ ඵලයයි. එහෙම නැත් නම් ‘තිරෝභූතිය’ට පත්වීමයි.

මේ හැම පර්යේෂණයක් ම අවසානයේ බ්‍රෙෂ්ට් ළඟාවන තැන තමයි ‘Short Organum’ ලෙස සංග්‍රහ වෙන්නේ. ඒ ගැන යමක් සඳහන් කළොත්...

බ්‍රෙෂ්ට් 1947-48 යන වසර දෙක ඇතුළේ සූරිච් නගරයේ සැඟවී සිටින කාලයේ කල්පනා කරනවා; මම මෙතෙක් කල් රචනා කළ හා රඟදක්වපු නාට්‍යය ඇතුළෙ එලියනේෂන් සංකල්පය පිළිබඳව සියලුදෙනාට ගුරුකොටගත හැකි අත් පොතක් රචනා කළ යුතුයි කියල. ඒ අනුව ඔහු කරන වියමන තමයි ‘Short Organum for the Theater’ කියල කියන්නේ. ‘Short Organum’ කියන අදහසේ සරල සිංහල තේරුම තමයි නාට්‍යකරණය සඳහා කෙටි වගන්ති මාලාවක් යන්න. මෙහි නාට්‍යකරණය කියල අදහස් කළේ Alienation effect කියන ඔහුගේ නාට්‍ය ක්‍රමවේදයයි. ඒ අනුව මේ නාට්‍ය ක්‍රමවේදය හඳුන්වාදෙන කෙටි වගන්ති මාලාව ‘Short Organum’ කියල ඔහු නම් කරනවා.

ඇත්තටම මෙය දීර්ඝ ලෙස විස්තර නොකර කෙටි වගන්ති යොදන්නේ ඇයි?

එහෙම යොදන්න හේතුව තමයි මේ ක්‍රමවේදය ඒතරම්ම සංකීර­්ණව වරදවා වටහා ගන්නා බව ඔහුට හිතුණ නිසා. ඒ නිසා හැම වෙලේම 1සිට 77 දක්ව අංකවලට ඔහු ඔහුගේ අදහස කෙටි වගන්තිවලට ඛණ්ඩනය කරනවා. පේළිි හත අටකට වැඩිය නැති සමහර වගන්තිත් ඒ තුළ තියෙනවා. ඔහු මේ විදියට 1 සිට 77 දක්වා අංක වෙන් වශයෙන් යෙදුවත් ඒ තුළ එකි නෙක අතර අඛණ්ඩ ගලායෑමක් දකින් පුළුවන්. ඒ වගන්ති හරහා ඔහු විද්‍යාත්මක ලෝකයේ වෙසෙන සියලු ම නාට්‍යකරුවන්ට, නළුනිළියන්ට හා සිනමාකරුවන්ට ඔහුගේ අදහස තිළිණ කරන්න සමත් වී තිබෙනවා.

Comments