
“සිළුමිණ” පත්‍රයේ ප්‍රධාන කර්තෘ පදවිය දැරූ තිදෙනෙක් 1947 ආරම්භ කරන ලද “ලංකාදීප” පත්‍රයේ වැඩ කොට ලේක්හවුසියට ආහ. මේ තිදෙනා නම් මීමන ප්‍රේමතිලක, ධර්මපාල වෙත්තසිංහ හා ඩී.එෆ්. කාරියකරවන ය. ඔවුන් අතරින් අද අප කතා කරන්නේ ධර්මපාල වෙත්තසිංහයන් ගැන ය. මීමන විසින් ලියූ (1965) “මගේ ප්‍රේමය කලාව හා ජීවිතය” නම් කෘතියේ වෙත්තසිංහයන් ගැන මෙසේ සටහන් වී ඇත.
“... මේ අතරෙහි ලේක්හවුසියේ රාජා තිලකරත්න මහතාගේ පෙලඹවීමකින් ලංකාදීප කර්තෘ මණ්ඩලයේ ධර්මපාල වෙත්තසිංහ මහතා ද ලේක්හවුස් ආයතනය පටන් ගන්නට යන සවස පත්‍රය (ජනතා) යෑමට තීරණය කර අවසාන ය. ඒ බව කිසිවකු තවමත් දැන සිටියේ නැත.
වෙත්තසිංහ උපාධිධාරියෙකි. නිවැරදි සිංහල ලියන්නට පුළුවන් උපාධිධාරින් අතළොස්සගෙන් කෙනෙකි ඔහු. ඔහු දිනමිණ පත්‍රයේ ප්‍රධාන කර්තෘ පදවිය දරයි.”
ඩී.එෆ්. කාරියකරවන මහතා විසින් ලියන ලද “දසක සතක මතක” 1998 කෘතියේ වෙත්තසිංහ මහතා ගැන මෙසේ සඳහන් කරයි.
“මේ අතර ලංකාදීප පත්‍රයට නවකයෙක් පැමිණියේ ය. අවිස්සාවේල්ල පැත්තෙන් ආ ධර්මපාල වෙත්තසිංහ නම් වී. බී.ඒ. උපාධිය ලැබීමෙන් පසු ටික දවසක් පාසලක උගැන්වූ ඔහු පත්‍ර කලාව උගැනීමට ආසා කළේය. රුපියල් 180ක පඩිය අතෑර 120ක පඩියට ආවේ ඒ හෙයිනි. ඔහු ලංකාදීපයට ගෙන එන ලද්දේ වෙ. වී. අභයගුණවර්ධනයන් විසිනි. වෙත්තසිංහට නවාතැන් ප්‍රශ්නය පැන නැඟුණු කල්හි මගේ ඇඳ ඔහුට දී මම ගමට යන්ට කැමති වීමි. එහෙත් විවේක ලද හැම අවස්ථාවක් ම ගත කළේ සිරි ආපන බෝඩිමේ ය. රාජා තිලකරත්න, වෙත්තෙ, නිමල් කරුණාතිලක සහ මම එක කල්ලියක් වීමු.”
ලේක් හවුස් ආයතනයේ සිළුමිණ හා දිනමිණ පත්‍රවල ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කළ වෙත්තසිංහ මහතා බොහෝ ඇසූ පිරූ තැන් ඇති ලේඛකයකි. පෙර පර දෙදිග සාහිත්‍යය ඇතැඹුලක් සේ දැන සිටි ඔහු කෘතහස්ත පත්‍ර කලාවේදියෙකි. එහෙත් ඔහු ප්‍රසිද්ධියට ප්‍රිය නොකළේය. කෙටි සරල වාක්‍යවලින් පාඨකයාට ප්‍රිය උපදවන භාෂා ශෛලියක් තිබූ වෙත්තසිංහ පැහැයෙන් සුදු හීන්දෑරී උස පුද්ගලයෙකි. දිනමිණ හා සිළුමිණ පත්‍ර දෙක තම ඇවැස්ස නෑයන් ලෙස සැලකූ ඒ මහතා 1984 දෙසැම්බර් 17 වෙනි සඳුදා දිනමිණට තම අත්දැකීම් ඇසුරෙන් ලියූ ලිපිය අපූරු නිර්මාණයකි.
“මහත්මා ගාන්ධි මාරාන්තික උපවාසයෙක - ලන්ඩන් නුවරට බෝම්බ - හිට්ලර්ගේ මැජිනෝ බලකොටුව වැටෙයි.
අම්මා ගේ ඉමිහිරි කට හඬින් වශීව සිටින මට ගාන්ධිතුමා, දෙවියකු යයි සිතෙයි. දිනමිණ නො කියවූ දින අම්මාට දවල් බත වැරදුණාටත් වැඩි මූසල දිනයෙකි. පත්තර ළමයාගේ පටන් හැම දෙනා ම ඇයගේ දිනමිණ පිපාසයේ කෝපයට හසු වෙයි.”
වෙත්තසිංහ මහතා කියා ඇත්තේ අදින් වසර 85කට පමණ ඉහත සිද්ධියකි.
“දේශබන්ධු ඩී.ආර්. විජයවර්ධන යුගයේ දිනමිණ පිළිබඳ අද මගේ සිහියට නැගෙන සටහනෙකි. එය දිනමිණ ස්වර්ණමය යුගය සේ හඟිමි. ලේක්හවුස් නිර්මාතෘවරයා දිනමිණ හැසිරවූයේ ජාතික ප්‍රබෝධය වඩන දැහැනක් ලෙසිනි. 1964 - 65 ලේක්හවුසිය බේරා ගැනීමේ අරගලයේ පෙරමුණ ගත් දහස් ගණන් ලේක්හවුස් සේවකයන්ගෙන් මම ද එකෙක්මි. අපේ සටන එනම් “මාර යුද්ධය නිමා වීමෙන් පසු මට දිනමිණ බාර ගන්නැයි ලේක්හවුස් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මට ආරාධනය කරන ලදි. දිනමිණ වැනි සම්භාව්‍ය පුවත්පතක කර්තෘ පදවියට මා තවම මුහුකුරා මදි යැයි මගේ පිළිතුර විය.
“ඒ ගැන අපට සැක නෑ. මේ දිනුවේ සටන විතරයි. යුද්ධය තාම ඉවර නෑ. ඒ නිසා නැවත පෙරමුණ ගත යුතුය.” (ඒ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාගේ හඬ යැයි මේ ලිපිය ලියන මා අසා තිබේ. එස්මන්ඩ් වික්‍රමසිංහ යනු වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පියාය.)
එතැන් සිට වෙත්තසිංහයෝ දිනමිණේ හා සිළුමිණේ ඇවැස්ස නෑයා වූහ.
ඔහු තම ලිපියෙන් පවසා තිබුණේ ලෝකයේ කොයි යම් මැ පුවත්පත් හිමියකුවත් කර්තෘට පූර්ණ ස්වරාජ්‍ය නිදහසක් නොදෙන බව ය. එහෙත් යම් යම් සීමාවන් තුළ වුවද ස්වාධීනව සිතන කර්තෘ කෙනෙකුගේ දෑත නිදහස් බවත් ය. එහෙයින් අන්තර්ගතයෙන් ද, සැකැස්මෙන් ද පෙනුමෙන් ද “මේ දිනමිණ යයි”, “මේ සිළුමිණ යයි” හැඟී යන පොදු ජන ප්‍රශ්න ගැන කතා කරන පුවත් පතෙක කර්තෘ වීමට තමා දිරි ගත් බව පවසා තිබුණි. වෙත්තසිංහ මහතා 1965 සිට 1970 දක්වා දිනමිණ ප්‍රධාන කර්තෘ ලෙස ද කටයුතු 1977 නැවත සිළුමිණ කර්තෘ විය. ඉන්පසු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා වෙත්තසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ ලංකා තානාපති ධුරයට පත් කිරීමට යෝජනා කළ ද ඔහු එයට අකැමැති විය.
ධර්මපාල වෙත්තසිංහ මහතා ජනතා කර්තෘව සිටි 1964 මුල්වරට ආරම්භ කළ “සරසවිය සම්මාන උලෙළ” ට සංවිධායකවරයකු ලෙස “සරසවිය” කර්තෘ විමලසිරි පෙරේරා මහතාට උපරිම සහාය දී ඇති අයුරු මොනවට පැහැදිලි වේ. එස්. සුබසිංහ, නිමල් පෙරේරා අභයවර්ධන, රණපාල බෝධිනාගොඩ, රෝලන්ඩ් අබේසිංහ සමඟ අත්වැල් බැඳ ගත් වෙත්තසිංහයන් 1964 “සරසවිය සිනමා සංග්‍රහයට” ලියා තිබූ රසබර ලිපියේ මේ කොටසින් ඔහුගේ සරල සුගම භාෂා ශෛලිය මොනවට පැහැදිලි වේ.
“මහවැලිය කඳුකරයේ කොතැනක හෝ දිය පාරකින් ගමන පටන් ගනී. ඒ දිය පාරට නමක් නැත. හඳුනන්නෙක් ද නැත.
සරසවිය චිත්‍රපටි උලෙළ ද ඇරඹුණේ, කිසිවකුගේ සිටත වැටුණු පොඩි කල්පනාවකිනි. ඒ කල්පනාව සරසවි වරමින් පහළ වූවක් වැන්න.
අර කුඩා දිය පාර, කුඩා වුවත් ඇරඹූ ගමන අත්හළේ නැත. චිත්‍රපටි උලෙළ පිළිබඳ කිසිවකුගේ සිඟිති සිතුවිල්ල ද අතු - ඉති එක් වී මහා ගඟක් ව මුහුදින් කෙළවර වන මහවැලිය මෙන්, සිය ගණනකගේ උදව්වෙන් හා ලක්ෂයකගේ ආසරි මැද්දෙන්, මහා චිත්‍රපටි උලෙළකින් අවසන් වී ය.
1963 වසරේ ධර්මපාල වෙත්තසිංහයන් විසින් ලියන ලද තම ප්‍රථම කෘතිය ලියා පළ කළේ ගුණසේන ප්‍රකාශනයක් ලෙසිනි. “සාහිත්‍ය විචාර විත්ති” නම් කෘතිය ලිවීමට ඔහුට ධෛර්ය දී ඇත්තේ “සිළුමිණ” කර්තෘ මීමන ප්‍රේමතිලක හා ජනතා කර්තෘ මණ්ඩලයේ සිසිර කුමාර මානික්කආරච්චි බව එහි පළ වී තිබුණි.
මේ කෘතිය අතීතයේ පටන් මෑත දක්වා මෙරට විචාරය ගමන් කළ මඟ දක්වන ඉඟියක් හෙවත් විචාර පසුබිමක් බව කතුවරයා හැඳින්වීමෙන් පවසා ඇත.
“මෙකල විවිධ සාහිත්‍ය මත භේදයන්ට තුඩු දී ඇත්තේ සාහිත්‍ය යුග පිළිබඳ ගැටුමෙකැයි ඇතැමෙකු කියන අතර, වෙනත් පුහුදුන් හේතූන් ද සමාජ, ආර්ථික හේතූන් ද බලපාන බව තවත් පිරිසකගෙන් පැවසෙයි. ඒ ඒ යුගයේ සමාජය වසා ගත් සීමාවන්ගෙන් බැහැර වීමට සාහිත්‍ය ක්ෂේත්‍රයට ද නො හැකිය. සාහිත්‍යය යනු සමාජ කැඩපතකි. රාජ සභා යුගය, රදළ යුගය, වැඩවසම් යුගය, කාර්මික යුගය, සමාජවාදී යුගය, ප්‍රජාතන්ත්‍රවාදි යුගය, ස්වාධීන යුගය, විද්‍යා යුගය, අභ්‍යවකාශ යුගය ආදි විවිධ නම් වලින් හැඳින්වෙන යුගයන්හි මූලික ලක්ෂණ, ඒ ඒ යුගයන්ට නතු රටවල දකිත හැකිය.”
මේ කෘතියේ එන “මුල් ම විචාරකයා” නම් පරිච්ඡේදය තුළින් කතුවරයා පවසන්නේ “රචනයක මුල් ම විචාරකයා කර්තෘ” බව ය. තම කෘතිය කෙතරම් දුරට තමා විසින් ම විවේචනය කරනු ලැබීදැයි කීමට හොඳ ම සුදුස්සා ද කර්තෘ ය. කර්තෘගෙන් එවැනි රුකුලක් නොලැබෙන කල, කර්තෘ ළඟින් ඇසුරු කළ එකකුගෙන් ඇතැම් විටක එය දැන ගත හැකි වන බව ය.
“ලියෝ ටෝල්ස්ටෝයි නම් රුසියන් ලේඛකයා, තම රචනය හත් වරක් ම ශුද්ධ කරන ලද බව ටෝල්ස්ටෝයි ගැන මතක සටහන් ලියූ මැක්සිම් ගෝර්කි කීය. ටෝල්ටෝයි හත්වරක් තම රචනය ශුද්ධ කළා පමණක් නොව ඒ හැම වාරයක් ම අමුතුවෙන් ම රචනය ලියූවේ ය. රචකයා ම තම කෘතියේ විචාරකයා වීමේ හොඳ නිදසුනකි. ගෝර්කි දක්වා ඇත්තේ තම රචනයේ මුල් සැලැස්මෙන් ටෝල්ස්ටෝයි සෑහීමට පත් වූයේ නම් එක් වරක් වත් නැවත ලිවිය යුතු නොවන්නේ ය. එහෙත් විචාරකයකු ලෙස තම කෘතිය පෙනුණු හෙයින් හේ කීප වරක් ම අමුතුවෙන් රචනය ලිවීය.”
කෙටි කතාවෙක, නවකතාවෙක හෝ කවියක චරිත සඳහා නම් - ගම් - තෝරා ගැනීෙම්දී ද ලේඛකයා තම සිතට නැඟෙන විවිධ නම් අතරින් තම කෘතියට ගැළපෙන නම් විවේචනය අනුව සලකා බැලෙන බව පවසා ඇති වෙත්තසිංහයෝ “ගම්පෙරළිය” “දෛවයෝගය” “කැලෑ හඳ” “ඇස් දෙක” යන නවකතා නිදසුන් කොට දක්වයි.
“මාර්ටින් වික්‍රමසිංහ තම “ගම්පෙරළිය” නවකතාවේ දී පරම්පරා දෙකෙක චරිත සඳහා නම් - ගම් තෝරාගෙන තිබෙන සැටි විභාග කිරීමෙන් ලේඛකයා කොපමණ සියුම් ලෙස විචාර බුද්ධි යොමු කර තිබේද” යි පැහැදිලි වෙයි. ගම්පෙරළියෙහි සඳහන් වන්නේ දකුණුකරයේ ගමකි. කතාවේ එන ඒ පෙදෙසටත්, කතාවට පසුබිම් වූ කාලයටත් ගැළපිය යුතුය. “කයිසාරුවත්තේ මුහන්දිරම්” යන තම දකුණේ පැරණි පෙළේ පෝසතකු හා ගමේ බලවතකු හා කෙතරම් අපූරුවට ඈඳේ ද? ගම්පෙරළියේ “කත්තිරිනා” ද එවැනි චරිතයකට යස රඟට ගැළපෙන නමක් ඇත්තියකි. ඊළඟ පරපුරට ආදි පෙළේ නම් තැබීමට මාර්ටින් වික්‍රමසිංහ මහතා නො සිතී ය. අනුලා, තිස්ස, නන්දා, පියල් ආදී නම් චරිතයට ගැළපුණ සේ යෙදුණේ කර්තෘ තම සිතට ආ නම් ගණනකින් මේ නම් තෝරා ගැනීමට ස්වයං - විවේචනය පිහිට කරගත් හෙයිනි.
ඩබ්ලිව්.ඒ. සිල්වා මහතගේ නවකතාවල එන නම් ගම් ද ස්වයං විවේචකයකු වන සැටි හෙළිකරයි. ‘දෛවයෝගය’ සිංහල රජ කාලය පසුබිම් කොට කරන ලද්දකි. “මානමූල - මුගලන්” ආදී එහි එන සෙනෙවිවරුන් ගේ නම් ඓතිහාසික නවකතාවෙක පසුබිම් වූ කාලය අනුව සකස් වී තිබේ. එය වඩාත් පැහැදිලි වන්නේ වර්තමානය අළලා සිල්වා මහතා විසින් ලියන ලද” කැලෑ හඳ” නවකතාවේ නම්, දෛවයෝගය නම් හා සැසඳීමේදී ය. කැලෑ හඳෙහි ජෝන් ජයපාල, මාලිනී, විශ්නිබායි ආදී නම් එයි. ඓතිහාසික කතාවේ නම් වලින් කොතරම් මේ නම් වෙනස් ස්වරූපයක් ගනී ද? එම වෙනස ඇති වූයේ කර්තෘ තම සිතට ආ නම් විවේචනය කොට, තම කෘතියට සුදුසු නම් පමණක් තෝරා ගත් හෙයිනි.
නම් - ගම් වැනි අප්‍රධාන අංශයක් ගැන වුව ද, කතාකරුවා දක්වන සැලකිල්ල මෑතක දී නිකුත් වූ “ඇස් දෙක” (කර්තෘ ජනතා කර්තෘ මණ්ඩලයේ සිටි සෝමපාල රණතුංග) නම් ඓතිහාසික කතාවේ දෙවැනි මුද්‍රණය තවත් පැහැදිලි කරයි. පළමුවැනි මුද්‍රණයේදී චරිත දෙකක් හැඳින්වීමට අංගෝ - මංගෝ යන නම් දෙක සෝමපාල රණතුංග මහතා විසින් ගනු ලැබීය. තම කෘතිය දෙවැනි මුද්‍රණය සඳහා සකස් කිරීමේ දී අංගෝ - මංගො වැනි නම් තම කතාවට අයත් කාල සීමාවේ මෙහෙකරුවනට නො ගැළපෙන බව සිතූ කතුවරයා ඒ නම් දෙක වෙනස් කළේය. කතාවෙක නම් ගම් - ගම් තෝරා ගැනීමේ දී පවා මෙසේ ස්වයං විවේචනය කෙරෙන විට, කතා වස්තුව - වස්තු වින්‍යාසය, චරිත නිරූපණය - ජීවිත විවරණය ආදී අනිකුත් ප්‍රධාන අංශයන්හි දී කර්තෘ තමා ම විවේචනය කර ගනිමින් කතා ලියන බව පිළිගත හැකිය.
ධර්මපාල වෙත්තසිංහ නම් සාහිත්‍ය විචාරකයා අභිබවා පුවත්පත කලාවේදියා මතු වන්නේ ලේක් හවුසිය හරහා ය. ද්වි භාෂා උගතකු වූ ඔහු ජනතා - දිනමිණ - සිළුමිණ හා ඩේලිනිවුස් යන පුවත්පත්වල කර්තෘ ලෙස පුවත්පත් නඟා සිටුවීමට පුළුල් මෙහෙයක් කර ඇත.
දොන් ධර්මපාල වෙත්තසිංහ 1925 මැයි 25 වැනිදා අවිස්සාවේල්ලේ ඇස්වත්තේ උපත ලැබීය. ඔහුගේ පියා වූ රත්නපුර පාර අයිනේම පිහිටි රුවන්වැල්ල පිරිමි පාසලේ විදුහල්පති ලෙස කටයුතු කර ඇත. මව වූ ලීලසිරි කොතලාවල පිංදෙනිය මහ විද්‍යාලයේ විදුහල්පතිනිය වූවාය. පවුලේ වැඩිමලා ධර්මපාල වූ අතර එය බාල පිරිමි දරුවන් තිදෙනෙකු හා ගැහැනු ළමයි දෙදෙනෙකුගෙන් යුතු පවුලකි.
කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ධර්මපාල ඉගෙනුම ලැබුවේ එම පාසලේ නිර්මාතෘ ඊ. ඩබ්ලිව්. අදිකරම් මහතාගේ අනුග්‍රහය හා මඟ පෙන්වීම යටතේය. ආනන්ද ශාස්ත්‍රාලයෙන් එවකට ලංකාවේ තිබූ එකම විශ්වවිදයාලයෙන් (කොළඹ තර්ස්ටර්න් පාරේ පිහිටි) ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත් වෙත්තසිංහයෝ පත්‍ර කලාවට සම්බන්ධ විය.
තමා සමඟ විශ්වවිද්‍යාලයේ ද ලේක්හවුසියේ ද සිටි සමකාලීන මිතුරකු වූ ආචාර්ය එඩ්වින් ආරියදාසයන් පැවසුවේ වෙත්තේ කාරුණික, නිහතමානී පුද්ගලයකු බව ය. විශ්වවිද්‍යාලයේ තමා හා ඔහු සමඟ එකට ඉගෙන ගත් අම්රිතලිංගම් (හිටපු විපක්ෂ නායක) විනී විතාරණ, සිරි ගුණසිංහ, නන්දදාස කෝදාගොඩ, ධර්මසේන අරම්පත්ත (පසුව මේ සියල්ලම මහාචාර්යවරු වූහ) හොඳ මිතුරන් බව ය.
1947 වසරේ ලංකාදීපයට බැඳී කර්තෘ මණ්ඩලයේ කටයුතු කරමින් සිටින අතර 1948 අප්‍රේල් 1 වෙනිදා ඔහුගේ අනාගත සහකාරිය චිත්‍ර ශිල්පිනියක ලෙස ලංකාදීප කර්තෘ මණ්ඩලයට බැදෙන විට ඇගේ වයස අවුරුදු 18 කි. මේ අතර මේ නිර්මාණාත්මක චිත්‍ර ගැන පැහැදුණ මාර්ටින් වික්‍රමසිංහ මහතා තම “අපේ ගම” කෘතියේ පිටකවරය හා ඇතුළත චිත්‍ර ද ඇඳීමට සිබිල්ට බාර දෙයි. සිබිල්ගේ චිත්‍ර ගැන පැහැදුණ ‘ලංකාදීප’ පත්‍රයේ කර්තෘ ඩී.බී. ධනපාල මහතා ඇයව චිත්‍ර ශිල්පිනියක ලෙස ලංකාදීප ට බඳවා ගත්තේය. ලංකාදීපයේ ඇති “ළපටි පෙළ” අතිරේකයට පුංචි පුංචි කතා හා චිත්‍ර ඇන්දේ ඇය ය.
“මගේ චිත්‍ර ගැන හරි තක්සේරුවක් කළ මුල්ම විචාරකයා රෙජී සිරිවර්ධන මහතා. ඒ ලේක් හවුසියට ගියාට ප්සසේ ඩෙන්සිල් පීරිස් මහතා නිසා. මට ලේක් හවුසියට යන්න අවස්ථාව ලැබෙන්නේ ලේක් හවුස් අධිපති ඩී.ආර්. විජයවර්ධන මහතාගේ පවුලේ හිතවතෙකු වූ එඩ්මන්ඩ් රුද්‍රිගු මහාතගේ මැදිහත් වීමෙන්. මේ වන විට ධර්මපාල වෙත්තසිංහ මහතා ලේක් හවුස් ඇවිත්. ඔහු ගේ සමීපතම මිතුරන් වූයේ මීමන ප්‍රේමතිලක, එස්. සුබසිංහ, ඩෙන්සිල් පීරිස්, නිමල් පෙරේරා අභයවර්ධන. මේ අය මම චිත්‍ර අඳින තැනට වෙලා බලන් ඉන්නවා. 1952 වසරේ මම රචනා කොට ඇතුළත චිත්‍ර ඇන්ද “කුඩ හොරා”ට අන්තර්ජාතික සම්මානයක් ලැබුණා.
මට තේරුණා ධර්මපාල මහතා මගේ චිත්‍ර දිහා බලන් ඉන්නවට වඩා බලා හිටියේ මගෙ දිහා. අප අතර තිබූ සම්බන්ධය කෙළවර වුණේ 1955 මැයි 08 වැනිදා විවාහයකින්. විවාහ වෙලා අපිට දරුවන් ලැබූ පසු ධර්මපාල මහත්මයා මට දවසක් මෙහෙම කිව්වා.
“ඇත්ත ම කියන්නම් සිබිල්, මම ඔයාට වඩා ආදරේ කළේ ඔයාගේ චිත්‍රවලට.”
“ඒ බව කලින් දැන ගත්තා නම් කිසිකලෙක මම ඔයා දිහා බලන්නෙවත් නැහැ. විවාහ වෙන්නෙත් නැහැ.” මම සිනාසෙමින් කිව්වා.
සිබිල් වෙත්තසිංහ තම සැමියා ගැන පෞද්ගලික තොරතුරු රැසක් හෙළි කරමින් මට කීවාය. 1989 සැප්තැම්බර් 19 වැනිදා ධර්මපාල වෙත්තසිංහ නම් කෘතහස්ත පත්‍ර කලාවේදියා, පුවත්පත් කතුවරයා මිය ගියේය.
ධර්මපාල වෙත්තසිංහ මහතා චිත්‍රපට විචාරකයකු ලෙස මතු වෙමින් 1966 වසරේ තිරගත වූ ගාමිණි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ “පරසතු මල්” චිත්‍රපටය ගැන අගනා විචාරයක් සිළුමිණට ලියා තිබිණි. එහි මැය වූයේ “ගාමිණීගේ කිරිකෝඩු ගමන” ය. එපමණක් නොව වෙත්තසිංහ මහතා “සරසවිය” පත්‍රයට ලේඛකයකුගේ උසස් කෘතියක් ගැන ලිපි පෙළක් ලිවීමට පෙලඹුවේ සිංහල සාහිත්‍යයට තිබූ ආදරය නිසා ය. මේ විශේෂාංගයට නිර්මාණාත්මක ආලේඛ්‍ය ඡායාරූප ගත්තේ නිමල් පෙරේරා අභයවර්ධන නම් සිළුමිණේ ඡායාරූප ශිල්පියා ය. එහි මැය වූෙය් “මගේ මේ කතාව” ය. ජී.බී. සේනානායකගේ “මෙධා” නවකතාව ගැන වෙත්තසිංහයන් සරසවියට (1964 - 7 - 1) කළ සංවාදයේදී ජී.බී. ගෙන් මෙසේ අසා ඇත.
“ඔබ ලියූ “මෙධා” නවකතාවේ වැරදි කරන හැම දෙනාම පාහේ දඬුවම් ලබති. අපරාධකරුවා හැමවිටම දඬුවම් ලබන්නකු කළේ ඇයි?”
මා අපරාධකරුවා හැම විට ම දඬුවම් ලබන්නකු කළේ නෑ. හොඳ චරිත නවකතාව අවසානයේ දී සතුටින් ජීවත් වීමත්, නරක චරත අවසානයේ දී දුකට පත්වීමත් එක්තරා ක්‍රමයක නවකතාවල අංගයකි. ඒ නවකතා අංශය ගැබ් කරන අදහසින් මා මේ නවකතාව ලීවේ නෑ. අපරාධ කළ වුන් විනාශයට පත්වීම ග්‍රීක නාටකයේ ප්‍රධාන අංගයක්. හැම ග්‍රීක ශෝක නාට්‍යයක ම මේ දහම ගැබ් වෙනවා. නමුත් මේ ග්‍රීක නාටක මෙතෙක් මනුෂ්‍ය වර්ගයා පහළ කළ අති ශ්‍රේෂ්ඨ සාහිත්‍යයට ඇතුළත් කොට ලොව මුළුල්ලෙහිම සලකනවා. ග්‍රීක නාට්‍ය කාරයෝ ඒ කළේ දුශ්චරිතය විනාශයට හේතු වන බව දුටු නිසායි. මගේ නවකතාවේ ඇතැම් නරක චරිත විනාශයට මුහුණ පාන්නේ ඒ ජීවිතයේ අංගයක් වන නිසයි. දුසිරිත් පුරුදු කළ ජීවිතයේ ප්‍රීතියෙන් වාසය කළ යහතින් මැරෙන පුද්ගලයන් ඉන්නවා. එක් පුද්ගලයකු මෙසේ යහතින් මැරෙන කොට ලක්ෂයක් දෙනා අපේ සැලකිල්ලට භාජනය නොවී විනාශයට යනවා. ඒ මේ ලෝකයේ හැටියි. මනුෂ්‍යයාගේ හැටි එළි කරන මගේ නවකතාවේ එවැනි පුද්ගලන් විනාශවීම ස්වාභාවිකයි.”
ජී.බී. සේනානායක සමඟ “මෙධා” නවකතාව ගැන ගැඹුරට කතා කළ මුල්ම සංවාදය අද වුවද සාහිත්‍යකාමින්ට නව අරුතක් දක්වයි. මේ නයින් ධර්මපාල වෙත්තසිංහයන් කෙරෙන් වත්මන් පත්‍ර කලාවේදීන්ටද ගත හැකි ආදර්ශ අති මහත්ය.