සිංහ­බාහු දෘශ්‍ය කාව්‍ය හා කාංච­නමාලාගේ රංග සම්ප්‍රා­ප්තිය | සිළුමිණ

සිංහ­බාහු දෘශ්‍ය කාව්‍ය හා කාංච­නමාලාගේ රංග සම්ප්‍රා­ප්තිය

සිංහබාහු දෘශ්‍ය කාව්‍ය රඳවා තබන මහා කුලුනක් බඳු සුප්පා දේවියගේ භූමිකාව රඟ දැක්වීමට ලැබීම පවා කිසියම් රංග ප්‍රාර්ථනාවක් වැන්න. ඒ සඳහා උචිත රූපකාය මෙන්ම රංග ප්‍රතිභාව ද කාංචනා සතු බව මගේ නිරීක්ෂණයයි. රාජකීය භූමිකාවට අවශ්‍ය තේජස මෙන්ම ස්ත්‍රීත්වයේ සියුමැලි ගුණය ද අැය කෙරෙහි නොමඳ ව විය. ඇයගේ අභිනයද නර්තතනය ද භාව ප්‍රකාශනයේ චමත්කාරය ද අැය කෙරෙහි අප ඇද බැඳ රඳවා තබා ගැනීමට හේතු විය. ගීතවත් වැකියෙන් යුතු උච්චාරණය ඇය මනාව ප්‍රගුණ කළ බව පෙනිණි.

 

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් සිංහල සුභාවිත නාට්‍ය කලාව අරභයා කරන ලද සුවිශිෂ්ට සම්ප්‍රදාන ආවර්ජනය කරන ප්‍රාමණික විද්වත්හු ද අප්‍රමාණ ප්‍රබුද්ධ රසික සමූහය ද ඔවුන්ගේ මනමේ හා සිංහබාහු අසාමාන්‍ය දෘශ්‍ය කාව්‍ය ලෙස බහුමානයෙන් හඳුන්වති; ප්‍රසාද සිතින් හරසර දක්වති. ශ්‍රී ලාංකික අනන්‍යතාවකින් යුත් විදග්ධ හා ජනකාන්ත රංග සම්ප්‍රදායක් ප්‍රතිෂ්ඨාපනය කිරීම උදෙසා සරච්චන්ද්‍රයන් විසින් කරන ලද නිර්මාණාත්මක දුෂ්කර ක්‍රියාවෙහි අග්‍රඵලය වන්නේ ද මේ දෘශ්‍ය කාව්‍යද්වය බව මම කල්පනා කරමි. මානව සංහතිය විසින් ස්වකීය ජිවන අරගලය තුළ නිරන්තරව ගැටෙමින් ද පීඩා විඳිමින් ද පදවනු ලබන ජීවිත යාත්‍රාවේ ප්‍රකම්පිත සංවේදනා ඉතා සියුම් ව හා සුශික්ෂිතව විශද කිරීම සඳහා සරච්චන්ද්‍රයන් තුළ වූ අභිලාෂය ඉමහත් විය. මේ ජීවන ගංගාධාරය දෙපස පිපී දිලෙන ප්‍රාර්ථනා කෙතරම් සොඳුරු වුවද එහි පත්ලෙහි වූ සනාතන අඳුර ද ඔවුහු අපට පෙන්වා දෙති. ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ සුකුමාරතාව මෙන්ම මානව සබඳතාහි සංකීර්ණත්වය හා ඒවා සිඳී බිඳි යෑමෙන් පුද්ගලයා පත්වන වික්ෂිප්ත ස්වභාවය ද මේසා ගැඹුරින් හා දාර්ශනිකව විග්‍රහ කළ නාට්‍යකරුවෝ අතිශය විරලයහ. ශීඝ්‍රයෙන් වෙනස්වන චෛතසික ස්වභාවය මනමේ හා සිංහබාහු දෘශ්‍ය කාව්‍යවල මනාව විශද කරයි. මානව ප්‍රාර්ථනාවන්හි ඇති සාර්වත්‍රික ඛේදාන්තය වෙතට ඔහු අපව කැඳවා ගෙන යයි. අනිත්‍ය හා දුක්ඛ යන බෞද්ධ සංකල්ප සියුම් ව තම නිර්මාණ වලට කාවැද්දීමට ඔහු දක්වන සමර්ථභාවය විස්මය දනවන සුළු ය. අපගේ සාරධර්ම හා සංස්කෘතික වටිනාකම් නමැති උල්පත්වලින් ඔහුගේ නිර්මාණ කරුණාභරිත වී තිබේ. එය තහවුරු කිරීම සඳහා මෙහිදී මා යොමු වන්නේ ඉහත සඳහන් දෘශ්‍ය කාව්‍ය ද්විත්වයෙහි ද අග්‍රගණ්‍ය නිර්මාණය ලෙස ප්‍රශංසාවට නිමිති වූ සිංහබාහු වෙතට ය.

සරච්චන්ද්‍රයන් ස්වකීය භක්තිමත් නාට්‍ය මූලාශ්‍රය වූ ජාතක පොතින් පරිබාහිරව සිංහලයන්ගේ සමාරම්භය පිළිබඳ ප්‍රවාදයක් වූ සිංහලයන්ගේ උපත විස්තර කෙරෙන සිහබා කථාවල සිංහබාහු දෘශ්‍ය කාව්‍ය සඳහා තෝරා ගෙන තිබේ. මේ පුවත සිංහල මාලා කවි සංග්‍රහයෙහිද ඇතුළත් වූවකි. ඒ හැර නාඩගම් රචකයන් විසින් ද මෙම පුවත ඇසුරු කරන ලද බව පෙනේ. කිරම ධම්මානන්ද හිමියෝ මේ ඇසුරින් සියබස් මල්දම නමින් කාව්‍ය සංග්‍රහයක් කළහ. මේ හැම නිර්මාණයකදීම සිංහබාහු, සුප්පා දේවිය හා සිංහයා පිළිබඳ කථාව අනුපිළිවෙලින් ඉදිරිපත් කළ බව පෙනේ. රජ ඉසුරු විඳිමින් සිටි සුකුමාර යුවතියක් වූ සුප්පා දේවිය වනවාසයට හුරුව දෙදරුවන් හා සිංහ සැමියා සමඟ ගල් ගුහාවක ගෙවන ජීවිතය ස්වකීය විස්මිත ප්‍රතිභාවෙන් හෘදයංගම දෘශ්‍ය කාව්‍යයක් බවට පත් කිරීමට සරච්චන්ද්‍රයන්ට හැකි විය. සිංහබාහු නාටකය කරුණා රසයෙන් භරිත ශෝක රසාලිප්ත නිර්මාණයකි. මහාවග්ග පාලියෙහි එන බුදුන් වහන්සේ හා සුදොවුන් මහ රජුන් අතර වු සංවාදයෙන් තීව්‍ර කරන පුත්‍ර ස්නේහයේ ගැඹුර හා ඉන් නැඟෙන ආධ්‍යාත්මික කම්පනය සිංහබාහු තුළ අපරිමිතව උද්දීපනය කර තිබේ. සසරේ යාත්‍රා සුවපත් වන්නට’ ජීවන නෞකා නොබිඳෙන්නට යන උතුම් ප්‍රාර්ථනා වලින් සරච්චන්ද්‍රයන් මුළු මහත් මානව වර්ගයා කෙරෙහිම සිය දයා කරණා ගුණ වැසි වස්වා ලූ අයුරු විස්මය දනවයි. සරච්චන්ද්‍රයන් ස්ත්‍රිත්වය වෙත දක්වන සහානුකම්පක දෘෂ්ටිය වැරදි කොණින් අල්ලා ගත් කලා විදූෂකයෝ අදත් ඔවුන්ට ගරහති. ස්ත්‍රීය පිළිබඳ වූ චිරාගත සදොස් සම්මුතීන් හා අගතීන් ගෙන් තොරව ඇයට පිරිනැමූ උත්තමාචාරය නොරිසිව සාහිත්‍ය බමුණු කුලයේ විකට රූප වලට මනමේ බිසව හා සුප්පා දේවිය පව්කිළියන් ලෙස පෙනීමේ අමුතු විශේෂත්වයක්ද නැත.

සිංහබාහු වල සුප්පා දේවිය විසින් මුහුණ දෙන්නී කෙබඳු දුර්ශාවකටද? ඕ තාරුණ්‍යයේ චමත්කාරය ද ප්‍රේමයේ මිහිර ද විඳි තම සැමියා කෙරෙහි අප්‍රමාණව කැප වූ පතිනියකි. පතිභක්තිය හා දාරක ප්‍රේමය සිය හද පුරා නැගෙන නිමේෂයකදී මේ සියුමැලි ලියගේ දුක් වේදනා වලින් බිඳක් අපටත් බෙදා ගත හැකි නම් යන සිතිවිල්ල නොවේද, ඇය දෙස අනිමිස ලෝචනයෙන් බලා සිටින ප්‍රබුද්ධ ප්‍රේක්ෂකයන් තුළ නැගෙන්නේ? තමන් පෙළන ළසෝ ගිනි කෙතරම් දැඩි වුවද ඇයට ප්‍රිය වල්ලභයාට සමුදීමට සිදුවෙයි. අසිරිමත් වූ දේකි මෙලොව ප්‍රේමය නමිනා’ යැයි මොහොතකට පෙර අප අබියස ගැයූ ඒ ආදරයේ රුචිරාණනිය දැන් අපේ දෑස් අගට සිහින් කඳුළක් නඟන අයුරු අපට දැනෙයි. ඇය විසින් ඉවතලන ලද සියලු භෝග වස්තු ඉසුරු ඇගේ පුත් සිංහබාහුට අවශ්‍ය වී තිබේ. ඔහු තරයේ කියන්නේ තමන්ට උරුම වූ යස ඉසිරු සොයා නොපමාව යා යායුතු බවය. මව හා නැගණිය නොපැමිණියත් ඒ ජිවිතය සොයා යා යුතු බව ඔහුගේ අවධාරණය විය.

සරච්චන්ද්‍රයන් සියුම් ව ප්‍රකාශ කරන්නේ යෞවනය සිර කර තැබිය නොහැකි බවය. ගල් ගුහාව යනු සීමා මායිම් සහිත කටුම්බයක සංකේතයයි. මේ ගුහා ජීවිතය පවත්වා ගෙන යෑමේ අභියෝගය සිංහයා (පියා) ඉඳුරා දනී.

රැකගෙන ඉන්නට මේ වනයේ හොර

බාධා දන්නෙමි නරයන් තිදෙනෙකු

සිංහයා, සුප්පා දේවිය, සිංහබාහු යන තිදෙනාගේම හද ගැබ වෙතට සරච්චන්ද්‍රයන් විසින් එල්ල කරන ලද ප්‍රතිභා ආලෝකය ඔස්සේ ප්‍රේක්ෂකයෝ ද විස්මිතව ඔවුන් දෙස බලා සිටිති. ඔවුන්ගේ කුටුම්බය බිඳී යන අයුරු නරඹන ප්‍රේක්ෂකයෝ බලවත් සේ කම්පා වෙති. සුප්පා දේවිය මේ වියෝදුක කෙලෙස දරා ගන්නීද? සිංහයාගේ හිස මතට කඩා පත්වන්නේද වියෝගයේ ගිරිකුලකි.

පීතෘ මූලික සමාජයක පරම දෘෂ්ටිය වන්නේද එයයි. කෑම් බීම්, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම් ආදි භෞතික සැප සම්පත් විනා ජීවිතයට වුවමනා වෙනත් දේවල් නැතැයි ඒ සමාජයේ බොහෝ පියවරු කල්පනා කරති. සිංහයා ඒ පරම දෘෂ්ටි වාදයෙහි ගිලි සිටිනා පියෙකි.

සුප්පා දේවිය කුටුම්බය හැර සිය දරුවන්ගේ අලුත් ලොවට යෑමට හිත අවනත කර ගන්නීය. ප්‍රේක්ෂකයාට දැනෙන්නේ ද ඇය ගත යුතු එක ම මඟ එය බව ය. භෞතික යස ඉසුරු නමැති යදමින් කුලගෙය බැඳ තබා ගැනීමට පියවරුන් දරණ ප්‍රයත්නය සිදී බිඳී යන අයුරු අපි දකිමු. හින්දු සම්මතය විසින් සැමියාගේ දර සෑයට බිරිය තල්ලු කරද්දී ඒ රළු සමාජ නීතියට එරෙහිව පෙරදිග ලියන් සමඟ සරච්චන්ද්‍රයෝ අභීතව අනුගත වෙති. කොටින්ම සරච්චන්ද්‍රයෝ ස්ත්‍රිය මත පටවන ලද සකල විධ බලහත්කාරකම්, සම්මුතීන් නොමැනවයි තිරසරව දක්වති. සම්ප්‍රදායික වැඩවසම් දෘෂ්ටිවාද ඉඳුරා බිම දමති; මනුෂ්‍යත්වයට පෙම් බඳිති. ඒ සඳහා සියලු සත් ජනන්ටද ඇරයුම් කරති.

සිංහබාහු තම නැගණිය හා මව සමඟ අරඹන අලුත් ජීවිතය ද සන්සුන් එකක් නොවීය. එයට හේතුව ඒ ගම්වාසීන්ට මුහුණ පෑමට සිදු වූ අනතුරක් මැඩලීමට සිංහබාහු මැදිහත් වීම නිසා ය. ඒ උවදුර පැමිණ ඇත්තේ තම පිය සිංහයාගෙන් බව ඔහු මවගෙන් දැන ගනී. එහෙත් ඔහු සිය සනිටුහන බිඳ නොදමා සිංහයා මැඬලීමට යයි. එය සුප්පා දේවියගේ දැඩි කම්පනයට හේතු වෙයි. ඕ සිය පුතු වලක්වා ලන්ට දරණ ප්‍රයත්නය නිෂ්ඵල වේ. ඇයගේ සන්තාපයට හේතු වන්නේ සැමියා අතහැර දමා පැමිණීම මේ සියල්ලටම හේතුවකැයි ඇගේ හෘදය සාක්ෂියෙන් නැගෙන චෝදනාව නිසා ය.

සිංහබාහු නාටකයේ කූටප්‍රාප්තිය ලෙස එම පිය පුතු සටන හැඳින්විය හැකිය. ඔවුහු මුලදී එකිනෙකා නොහඳුනති. එහෙත් සිංහබා’ යන වදන ශ්‍රවණය කිරීමත් සමඟ සිංහයා තම පුතු හඳුනා ගනී. සිංහබාහුගේ හද පිතු සෙනෙහසින් සැලෙයි. ආදර වදනින් අමතන සිය පියා ළදැඩිව මරා දමන්නේ කෙසේදැයි ඔහු තුළ විතර්කයක් ද නැගෙයි. මේ පිය පුතු ස්නේහය තුලාවක් සේ දෙපසට දෝලනය වී සැණින් එය වෛරයක් සේ ඇවිලෙයි. සිංහයාගේ මෙත් දැහැන බිඳෙයි. සිංහබාහුටද මර බිය දැනෙයි. කෝප මලින් යුතු දෙදෙනාම එකිනෙකා වෙත කඩා පනිති. සිංහබාහුගේ දෑත් ඉක්මන් වෙයි. එවිපත සිදුවෙයි. සිංහයා මරු මුව වැටෙද්දීම ප්‍රේක්ෂාගාරය, සිසාරා ගිගුම් දෙන්නේ පුතු සෙනේ සිඳ’ නැමැති ගීතයයි. ප්‍රේක්ෂාගාරයම නිහඬතාවක ගිලී යයි. ඔවුන් පිටව යන්නේ ද අප්‍රමාණ තරක විතර්ක ද සෝ සුසුම් ද මැද ය. යුක්තිය හා සාධාරණත්වය තම තමන්ගේ හෘදය සාක්ෂියේ ම තුළාවෙන් කිරා බැලීමට ප්‍රෙක්ෂකයාට සිදු වෙයි.

සිංහයාගේ සමාරම්භය පිළිබඳ වූ ඵෙතිහාසික වෘන්තාන්තය දැක බලා ගැනීමට කිසිවෙක් රඟහලට නොයති. තමන් දන්නා පුවත ප්‍රබල මානුෂික සංවේදනාවලින් පරිපූර්ණ ද්‍රශ්‍ය කාව්‍යයක් බවට පත් කර තිබෙන අයුරු ප්‍රේක්ෂකයා දකී. සිංහබාහු පීතෘ ඝාතකයකු ලෙස හා සුප්පා දේවිය සරාගී ලියක් සේ තිබුණු ප්‍රාග් විනිශ්චය බැහැර කරන සහෘදයෝ අතිශය හෘද සංවේදී මානව ගුණෝපේත නිර්මාණයක පරමානන්දයෙන් නිවී සැනහෙති.

සරච්චන්ද්‍රයන්ගේ අසාමාන්‍ය පණ්ඩිත්‍යය හා සියුම් කලා රසඥතාව ඔහුගේ සියලුම නාට්‍ය නිර්මාණ වල පමණක් නොව නවකථා වලද අනිවාර්ය ලක්ෂණයක් වී ඇතග සරච්චන්ද්‍ර නාට්‍ය ද්‍රෘෂ්ටිය ජීවිතය හා මනුෂ්‍යත්වය වෙන වෙනම හඳුනාගත් ගාම්භිර උදානයක් සේ අපට හැඟෙයි.

ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ රමණියත්වය සෞන්දර්ය ඇසින් දුටු ඔහු භෞතික ලාලසාවන් දෙස උපේක්ෂාවෙන් බලන ආධ්‍යාත්මික මුනිවරයකු වැන්න. පෙර පර දෙදිගම සංස්කෘතික හා ශාස්ත්‍රීය ධාරණාවන්ගෙන් ඔහු නිදහස්ව අභාසය ලබයි. ජාතක කථාවල හා ඇතැම් ජනශ්‍රැතිවල උත්කර්ෂයෙන් හුවා දක්වන ස්ත්‍රීන්ගේ නුගුණ හා කාමී ලකුණු ඔහු අලුතින් වර්ණ ගැන්වීමට මැළි වෙයි. ඔහු ඒ සියලු තේමාවන්ට නවීනත්වයක් එක් කර තිබෙන අතර සංස්කෘතික හා සාරධර්ම කෙරෙහි ඉමහත් භක්තියක් දැක්වීමට ද අමතක නොකරයි. සරච්චන්ද්‍ර කලාකරුවා සමඟ සරච්චන්ද්‍ර දාර්ශනිකයාද නිබඳව ගැවසුණු බව ඔහුගේ නිර්මාණ වලින් තහවුරු වේ.

සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය නිර්මාණ වල ප්‍රමුඛ අලංකාරයක් ලෙස ඒවායේ එන කාව්‍යමය බස්වහර හා ගීත සඳහන් කළ යුතුය. ආචාර්ය ගුණදාස අමරසේකරයන්ට අනුව සිංහබාහු නාටකය වුවද සියවස් ගණනක් ඈතට දිවයන අපගේ කවි බසෙහි ආඪයත්වය විදහා පාන්නකි. සරච්චන්ද්‍රයන්ගේ කවිත්වය, භාෂා සංවේදිත්වය මෙන්ම දාර්ශනික චින්තන විලාසය විදහා පාන විචිත්‍ර භාව ගීත සමුච්චයක් සිංහබාහු රචනයෙහි අඩංගු වී තිබේ. සම්භාවිත කවි සමයේ සංකල්ප රූප නවීන අලංකාර බවට පත් කරන සරච්චන්ද්‍රයෝ මෙලක බිහි වූ අසමසම කවින්ද්‍රයා ලෙස බුහුමනට පාත්‍ර වීමේ කවර වරදද? නිදසුන් කීපයක් දැක්වීම වටී. නාටකයේ එන තේමා ගීතය මෙසේය.

පුතු සෙනේ මස් නහර හම සිඳ - ඇට සොයා ගොස් ඇට තුළට වැද

අට මිදුලු මත රඳා සිට දුක් - දෙයි නිබන්දා

මේ භාවගීතයේ උපත මහාවග්ග පාළියෙහි එන මේ විවරණයයි. ඒ වූ කලී බුදුන් වහන්සේ ගේ මුවින් ගිලීහි ගිය පුත්‍ර ස්නේහයේ ගැඹුරු විලාසයයි. මේ මිහිතලයේ පියවරු කෙසේ නම් පුත් වියෝදුක් උසුලත්ද?

පුත්ත පෙමං භන්තේ ඡවි ඡින්දති

ඡවිං ඡෙත්වා චම්මං ඡින්දති

චම්මං ඡෙත්වා මංසං ඡින්දති

මංසං ඡෙත්වා නහරුං ඡින්දති

නහාරුං ඡෙත්වා අට්ඨං ඡින්දති

අට්ඨිං ඡෙත්වා අට්ඨි මිඤාණං අහාච්ච තිට්ඨති.

පාලි වදන් පෙළ කෙතරම් සරලව කවියට නඟා තිබේද?

පියකු හා සුරතල් දියණියකගේ සනාතන බැඳීම මෙසේ කවියට නගයි. බලනු මැනවි එහි රමණීය ස්වරූපය.

සුරතල් දියණිය -මොළ කැටි වදනින්

මා සනසන්නිය - අහර පිසින්නිය

කවන්නිය පොවන්නිය

සිංහයා, සිංහබාහු, සුප්පා දේවිය යන ප්‍රමුඛ චරිත ත්‍රිත්වය මුහුණ දෙන සියලු අවස්ථා මෙන්ම මානසික ගැටුම් ද ප්‍රබල ව කවියට නංවා තිබෙන අයුරු පැසසිය යුත්තකි.

සිංහබාහු පෙළ ඉංග්‍රිසියට පෙරළා ජගත් නාට්‍ය සාහිත්‍යයට එක් කිරීමෙන් පසු එයට භාරතයේ විශිෂ්ට සම්මානය වන කුමාරන් අසාන් සම්මානය පිරිනමන ලද බවද සඳහන් කළ යුතුය. මේ ගීත සම්ප්‍රදාය රාග තාල වලින් මනහරව ගායනා කරවීමටත් එමඟින් නාට්‍යයට අපූර්ව සෞන්දර්ය ආලෝකයක් ලබා ගැනීමටත් සරච්චන්ද්‍රයන් විසින් දරන ලද ප්‍රයත්නය ද අගය තළ යුත්තකි. එසේම සරච්චන්ද්‍රයන්ගේ දෘශ්‍ය කාව්‍ය වල ආඪ්‍යත්වය හා චමත්කාරය උද්දීපනය කරන ගීත වලට අමතරව සංගීතය, නර්තනය හා ගායනය ගැනද විශේෂයෙන් සඳහන් කළ යුතුය. මනමේ හා සිංහබාහු නිර්මාණවල ගීත සිංහල සංස්කෘතික ජනවිඥානය තුළ තැන්පත් වූ රසාලිප්ත භාව ගී සේ දැක්වුව මනා ය. නළු නිළියන් ගේ ගායනා රසභාව කුළු ගැන්වීම සඳහා අත්වැල් ගායක පිරිසක් යොදා ගන්නා සරච්චන්ද්‍රයෝ එයින් රංග කාර්යද දිදුලවති. මද්දල, බෙරය ඇතුළු දේශීය වාද්‍ය භාණ්ඩ වල නිපුණ සංගීතඥයෝ එයට තවත් අනුබල දෙති.

සිංහාබාහු දෘශ්‍ය කාව්‍යයට නාට්‍යමය චමත්කාරයක් එක් කළ සිංහයා සුප්පා දේවි, සිංහබාහු මෙන්ම සිංහ සීවලී ද ප්‍රෙක්ෂක මනසින් බැහැරට නොයන්නා සේම ඔවුන්ගේ ගැයුම් ද ප්‍රේක්ෂක හද තුළ ශේෂව පවතී.

සිංහබාහු පිළිබඳ මේ ආස්වාදනීය සටහන තැබීමට හේතු වූ සුවිශේෂ නිමිත්තක් ද විය. ඒ ඉකුත් 6 වැනිදා (2019 ජුලි 06) අප දුටු විශේෂ සිංහබාහු දර්ශනයයි. එදින සිංහබාහු රංග ගත වූයේ සුප්පා දේවියගේ භූමිකාව සඳහා අභිනවයෙන් පුරුදු පුහුණු කළ නිළිය වූ කාංචනමාලා රණසිංහ සමගය. කාංචනා යනු මේ සිංහබා පරපුරේ පළමු සුප්පා දේවි භූමිකාව නිරූපණය කළ මාලනී රණසිංහගේ හා පොතේගුරු වූ ටෙරන්ස් රණසිංහගේ ප්‍රිය දියණියයි. මාලනී ටෙරන්ස් යුවලගේ රංග භූමිකාව ගිනස් වාර්තා පොතට ද එක්වූවකි. දශක හතරකට නොඅඩුව සිය දෙමව්පියන්ගේ රංග ප්‍රතිභාව විදහා දැක්වූ සිංහබාහු රංගනයට දායක වීමට ඔවුන්ගේ දියණිය කෙබඳු පින්කමක්, ප්‍රාර්ථනයක් කරන්ට ඇද්ද? කෙසේ වුවද ඒ නම් හාස්කමකි

කෙසේ හෝ වේවා සිංහබාහු දෘශ්‍ය කාව්‍ය රඳවා තබන මහා කුලුනක් බඳු සුප්පා දේවියගේ භූමිකාව රඟ දැක්වීමට ලැබීම පවා කිසියම් රංග ප්‍රාර්ථනාවක් වැන්න. ඒ සඳහා උචිත රූපකාය මෙන්ම රංග ප්‍රතිභාව ද කාංචනා සතු බව මගේ නිරීක්ෂණයයි. රාජකීය භූමිකාවට අවශ්‍ය තේජස මෙන්ම ස්ත්‍රීත්වයේ සියුමැලි ගුණය ද අැය කෙරෙහි නොමඳ ව විය. ඇගේ අභිනයද නර්තතනය ද භාව ප්‍රකාශනයේ චමත්කාරය ද අය කෙරෙහි අප ඇඳ බැඳ රඳවා තබා ගැනීමට හේතු විය. ගීතවත් වැකියෙන් යුතු උච්චාරණය ඇය මනාව ප්‍රගුණ කළ බව පෙනුණි.

දුක, ප්‍රහර්ෂය, උද්යෝගය, බිය සංකාව ආසක්ත බව යනාදී භාව මාත්‍ර සියුම් ව පළ කිරීමෙන් අය තම රංග කාර්යට අපූර්වත්වයක් එක් කළාය. විශේෂයෙන් අය සමඟ රංගනයට එක් වූ ප්‍රවීණ නළුවන් දෙදෙනා (සරත් විමලසිරි, රජිත හේවාතන්තිරි) සමඟ ඇගේ රැඟුම් මනාව සැසඳුණි. ලලිතා සරච්චන්ද්‍රගේ රංගෝචිත උපදෙස් අකුරටම පිළිපැදීමේ වාසිය ඇයගේ සාර්ථකත්වයට හේතු වූ බව නිසැකය. ප්‍රේමයේ සුකුමාරත්වයද ස්ත්‍රිත්වයේ අපූර්වත්වයද කාංචනා මැනවින් දැන හඳුනාගෙන සිය රංග ප්‍රතිභාව විදහා දැක්වූ බව මනාව තහවුරු විය.

ඇගේ වේශ නිරූපණය මෙන්ම අංග රචනය ද මනාය. ඇගේ හඬ ගීතවත්ය. එහෙත් ඇතැම් ගැයුමකදී ඒ හඬ ප්‍රේක්ෂාගාරය පුරා විසිර යෑම නිසා කිසියම් අඩුවක්ද දැනුණි. ස්වරය තරමක් මන්දගාමී යැයි හැඟුණේ ප්‍රේක්ෂාගාරයේ විවෘත භාවය නිසා යැයි සිතමි.

කෙසේ වුවද සිය ප්‍රථම රංග සම්ප්‍රාප්තියෙන් ම අැය සුප්පා දේවිය ලෙස දැක්වූ රංග පෞරුෂය අගය කළ යුතු වේ. සිය මව් පිය උරුමයෙන් ලද ඒ රංග ප්‍රතිභාවත් මහත් කැපීමෙන් හා පුන පුනා සිදු දළ රංග අභ්‍යාස වලිනුත් ඇය සුප්පා දේවි පරපුරේ අභිමානය හා ගෞරවය සුරැකීමට සමත් වූ බවද සටහන් කළ යුතුය.

 

Comments