
අයිලින් සිරිවර්ධන මහත්මියගේ ‘අහසින් පොළොවට’ නවකතාව පිටවූ පසු චිත්‍රපට අධ්‍යක්ෂවරු ඇය සොයා ආවේ නවකතාව සිනමාවට නැගීමට අවසර ලබාගැනීමට ය. මේ අතර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ඉංග්‍රීසි පුවත්පතකට ලියා තිබුණේ රටේ මොනතරම් නවකථා ලිව්වත් බොහොම දෙනෙකුගේ අවධානයෙන් මිදිලා ගිය සමාජ පන්තියක ජීවිත මුහුණපාන අත්දැකීම ගැන පාඨකයාට පැහැදිලි කළේ ‘අහසින් පොළොවට’ නවකතාව යි කියා ය. තව සුළු කාලයකට පසුව ඇයට දුරකතනයෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා කතා කළේ ය. කතාවට කිසිදු හානියක් නොවන සේ එය චිත්‍රපටයට නඟන්න කැමති බව ඔහු කීවේ ය. එය ඇය කිසිසේත් නොසිතූ විරූ සිදුවීමකි. එය ඒ ආකාරයෙන් ම සාර්ථක ලෙස ඉටු විය.
කාන්තා ලේඛිකාවක තුන් ඇඳුතු නවකතාවක් ලියූ මුල් ම අවස්ථාව ඔබ අසා තිබුණි ද? මගේ මතකයට අනුව නම් ඇය අයිලින් සිරිවර්ධන මැතිනියයි. ඇය ලියූ මුල් ම නවකතාව ‘අහසින් පොළවට’ ය. එහි දෙවන කොටස ‘වෙරළින් සයුරට’ ය. තෙවෙනි කොටස ‘කතරින් එතෙරට’ ය. ‘අහසින් පොළවට’ නවකතාව වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ එය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් සිනමාවට නඟා 1978 කයිරෝ තුන් වැනි ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේදී තුන් වැනි ලෝකයේ හොඳම චිත්‍රපටය සඳහා වූ Akhnaton (අක්නටෝන්) සම්මානය දිනා ගැනීම නිසාය. ඒ චිත්‍රපටය ඉංග්‍රීසි භාෂාවෙන් නම් කර තිබුණේ White Flowers for The Dead කියා ය. දේශීය සම්මාන 12 ක් හිමි කරගෙන ඇත.
‘අහසින් පොළොවට’ නවකතාවේ රචිකාව වූ අයිලීන් සිරිවර්ධන මහත්මිය නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය, කොළඹ විශාඛා විද්‍යාලය, බෞද්ධ කාන්තා විද්‍යාලය, බී.එල්.සී. අන්තර්ජාතික පාසලේ ද විදුහල්පතිවරියක ලෙස කටයුතු කළා ය. ඇයගේ මුල් ම සාහිත්‍ය කෘතිය පරිවර්තනයක් වූ ඇල්බට් මොරේවියාගේ ‘රෝමන් ටේල්ස්’ (Roman Tales) නැමති කෘතියයි. එය ‘පලා යාම සහ තවත් රෝම කතා’ නමින් පළ විය. මුද්‍රණයෙන් පළ වූ ඒ පරිවර්තන කෘතිය ගැන පසුබිම් කතාව මෙසේ අපට විස්තර කර ඇත.
“මා ගුරු වෘත්තියට (මොරටුව වේල්ස් කුමරි විදුහල; නුගේගොඩ ශාන්ත ජෝසප් කන්‍යාරාමය; ශාන්ත ජෝන් බාලක පාසල/ ශාන්ත ජෝන් බාලිකා විද්‍යාලය) පිවිසි මුල් කාලයේ සිට මට වැඩි වශයෙන් පැවරුණේ අ.පො.ස. සාමාන්‍ය හා උසස් පෙළ පන්තියට සිංහල හා ඉංග්‍රීසි සාහිත්‍ය ඉගැන්වීමයි. ඒ මඟින් විශ්ව සාහිත්‍යයට පිවිසීමට අවස්ථාව ද ඔවුන්ට ලැබුණා. මගේ සිසුවියන් කෙරෙහි හට ගත් කරුණාවෙන් මා මගේ ගෙදර තිබූ පොතකින් එක් කෙටිකතාවක් පරිවර්තනය කොට, මගේ පන්තිවලට දුන්නේ එකිනෙකා අතර හුවමාරු කරගෙන කියවන්න කියා. ඔවුන් එය කියවා මට මෙසේ කීවා.
“මිස් අපි ආසයි, මේ වගේ කතා තව තව කියන්න. අනේ මිස්, මිස්ට පුළුවන් නම් තව කතාවක් පරිවර්තනය කරලා දෙන්න.”
සිසුවියන්ගේ ඉල්ලීම ඉටු කිරීමට ‘රෝම කතා’ මම පරිවර්තනය කළා. මගේ ගුරු වෘත්තියේ වසර කීපයක් ඉතා සතුටින් ගෙවී ගියා. මගේ සිසුවියෝ පාසලින් අස්ව ගිය පසු ද, විවාහ වූ පසු ද මා හා පැවති සම්බන්ධතාවය අත් හැරියේ නැහැ. මා විවාහ වී සුළු කාලයක් ගෙවූ පසු සිසුවියන් මා හමුවීමට ඇවිත් කීවේ එකම දෙයයි.
“මිස් අපි හිතුවා විවාහයත් හරිම සුන්දර අත්දැකීමක් කියලා; පෙම් සමය වගේ. අපි දෙන්නා අතර ප්‍රශ්න. ගැටලු මතු වෙන කොට දුවල යන්න හිතෙනවා ආපහු ගෙදර.”
මේ වනවිට මා ද විවාහ වී ටික කලක් ගෙවී තිබුණා. අත්දැකීම් ඇත්තියක් ද වීමෙන් ඔවුන්ගේ ගැටලුවලට උපදෙස් දීමට මට හැකියාවක් තිබුණා. එකිනෙකා නියමාකාරයෙන් හඳුනා ගැනීමට හැකියාවක් ඇති වෙන්නේ විවාහයෙන් පසුවයි. දෙදෙනෙකු කියන්නේ දෙදෙනකුට. විවාහයෙන් පසු දෙදෙනෙක් එක් කෙනකු වන්නේ යැයි කීම මුළාවක්. එය දැනගෙන, විවිධත්වය හඳුනාගෙන, අවබෝධයෙන් ඉවසීෙමන් කටයුතු කිරීම වැදගත්. පෙම් සමය ගෙවන්නේ ඉතා සැහැල්ලුවෙන්. ජීවන ගැටලුවලට මුහුණපාන්නට සිදුවන්නේ විවාහයෙන් පසුව. ඒවා ඇතැම් විට පීඩාකාරී විය හැකියි. ජීවිතය යනු ප්‍රශ්න මාලාවක්. ඒ යථාර්ථය පිළිබඳව තරුණ තරුණියන් දැනුවත් කළ යුතු වෙනවා. විවාහයක ගාම්භීරත්වය, ආනුභාවය පිළිබඳ යොවුන් පරපුරටම පණිවිඩයක් දිය හැකි ක්‍රමයක් මගේ සිතට නැඟුණා. කතාවක් ලියැවුණා. මගේ මුල් ම නවකතාව ඒ. නම ‘අහසින් පොළොවට’. අයිලින් සිරිවර්ධන මහත්මිය කීවා ය.
තමා ලියූ නවකතාව ගැන අදහස් දැන ගැනීමට සිරිවර්ධන මහත්මිය ගුරු මණ්ඩලයේ හිතවත් මිතුරියකට කියවන්න දුන්නා ය.
“හරි ලස්සන කතාවක් අයිලින්. හැබැයි පළ කරන්න එපා.”
“ඇයි...?”
“මේ පොත කියවන අය හිතාවි මේ ඔයාගේ කතාව කියලා. එච්චර සංවේදීව ලියලා තියෙනවා. හරියට තමන්ට සිදු වෙච්ච දෙයක් වගේ. මම දන්නව එහෙම නෙවෙයි කියලා. ඒ වුණාට පාඨකයන් කොහොමද ඒක දන්නේ?”
මේ කාලයේ අයිලින් සිරිවර්ධන මහත්මියට විශේෂ ත්‍යාගයක් ලැබුණාය. පුතුන් දෙදෙනෙකුගෙන් පසු ඇයට දුවක ලැබුණා ය. ඇයට තමා ලියූ නවකතාව සිහි විය. තම සැමියාට ඇය මෙසේ කීවාය.
“සිරී මං කතාවක් ලියලා තියෙනවා...”
ඔහු නිහඬ ය. දවස් කිහිපයකට ඇය නැවත ඔහුට ඒ ගැන මතක් කළා ය.
“සිරී මම ආසයි මේ පොත මුද්‍රණය කරන්න...?”
“ඔයා! පොත් මුද්‍රණය කරවා ගන්න?
“ඇයි?”
“එහෙම කියන්නෙ ළමයෝ මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය සරච්චන්ද්‍ර මැදට යන්න ඔයාට පුළුවන්ද?”
“මගේ මුල් ම පරිවර්තන කෘතිය මුද්‍රණය කළා වගේ මේ නවකතාවත් ගුණසේන සමාගමෙන් මුද්‍රණය කර ගන්නවා.”
ඇය සන්සුන්ව පිළිතුරු දුන්නා ය.
ගතවූයේ දෙසතියකි. එය අමුතු කිසිදා නෑසූ අමුතු හඬකින් දුරකතන පණිවිඩයක් ඇයට ලැබිණි.
“ඔබතුමියගේ කතාව පළ කරන්න ගුණසේන සමාගම බාර ගත්තා.”
“කරුණාකරලා කියන්න ඔය කතා කරන්නේ”
පිළිතුර වූයේ සිනා හඬකි. ඒ නම් තමාගේ සැමියාගේ දඟකාර හඬ ය.
“අනේ, අනේ, ඇත්තට ඔයාව මම තේරුම් ගන්නේ කවදද සිරී”
ඔහු තවත් හිනා වෙයි. ඇයට ඇති වූ සිතුවිල්ල මෙසේලු.
“මගේ සැමියා මා හඳුනා ගන්නේ කවදාද? කෙසේද?”
අයිලින් සිරිවර්ධන මහත්මියගේ ‘අහසින් පොළොවට’ නවකතාව පිටවූ පසු චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ඇය සොයා ආවේ නවකතාව සිනමාවට නැගීමට අවසර ලබාගැනීමට ය. මේ අතර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ඉංග්‍රීසි පුවත්පතකට ලියා තිබුණේ රටේ මොනතරම් නවකතා ලිව්වත් බොහොම දෙනෙකුගේ අවධානයෙන් මිදිලා ගිය සමාජ පන්තියක ජීවිත මුහුණපාන අත්දැකීම ගැන පාඨකයාට පැහැදිලි කළේ ‘අහසින් පොළොවට’ නවකතාව යි කියා ය. තව සුළු කාලයකට පසුව ඇයට දුරකතනයෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා කතා කළේ ය. කතාවට කිසිදු හානියක් නොවන සේ එය චිත්‍රපටයට නඟන්න කැමති බව ඔහු කීවේ ය. එය ඇය කිසිසේත් නොසිතූ විරූ සිදුවීමකි. එය ඒ ආකාරයෙන් ම සාර්ථක ලෙස ඉටු විය.
අයිලින් සිරිවර්ධන මහත්මිය මීට හරියටම වසර හතළිහකට පෙර මම 1979 වසරේ ‘නවයුගය’ පුවත්පත වෙනුවෙන් හමුවීමි. ඇගේ ජීවිත කතාව ද නවකතාවක් සේ රසවත් ය.
1928 අප්‍රේල් 01 වැනිදා මාතර වේරගම්පිට උපන් අයිලින් වික්‍රමසිංහට අයියලා දෙදෙනෙක් හා නංගිලා හතර දෙනෙක් වූහ. මාතර ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලය, කොළඹ විශාඛා විද්‍යාලවල ඉගෙනුම ලැබූ ඇය ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවා ය. ඇය කලාවට තිබූ ආසාව නිසා විශ්වවිද්‍යාලයේදී නිෂ්පාදනය වූ තාගෝර්ගේ ‘බිලි පූජාව’ නට්‍යයේ රඟපා හොඳම නිළිය වූවා ය. ඩබ්ල්යු. ඒ. සිල්වාගේ ‘සුනේත්‍රා’ ඓතිහාසික නවකතාව ඇසුරෙන් වේදිකා ගත වූ නාට්‍යයේ ඇන්ජලිකා නම් පෘතුගීසි තරුණිය ලෙස රඟපෑ ඇයගේ සිත එකවරම ගියේ ඒ නාට්‍යයේ බිෂොප්වරයකු ලෙස රඟපෑ උස, කඩවසම් තරුණ ශිෂ්‍යයකු වූ ඩී.බී.අයි.පී.එස්. සිරිවර්ධන වෙත ය. ඩී.බී.අයි. ට අයිලින් සමඟ අමතන්නට අවස්ථාව ලැබී ඇත්තේ විශ්වවිද්‍යාලයීය මේලා සංගමයේ දී ය.
“මේලා සංගමයේ වූ අයිලීන්ට පැවරී තිබුණේ ශාලාවට ඇතුළු වන දොරටුව අසල රැඳී හිඳ අමුත්තන් අසුන් ගැන්වීම ය. මේ කාර්යය සිදු වෙමින් පවතින අතර කවුදෝ කෙනෙකු ඇයගේ උර හිස මත අතක් තබනවා ඇයට දැනුණි.
පිටුපස නොබලා ම ඇය ඒ ඒ අත තම අතින් තල්ලු කර දැම්මාය. ‘ඇට්ටර කෙල්ල’ යැයි කී හඬ ඇසී ඇය පිටුපස හැරී බැලූ විට ඒ ඩී.බී.අයි. විය. ඇයට වූ පුදුමය කිව නොහැකි තරම් ය. කිසි විටෙක කිසි අයුරකින් කිසි ම ශිෂ්‍යාවක සමඟ කිට්ටු සම්බන්ධයක් ඇති කර ගැනීමට තැත් නො කළ මේ පුද්ගලයාගේ මේ ක්‍රියා කලාපය පිළිබඳව ඇය අන්ද මන්ද වූවා ය.
කාලය කෙමෙන් ගෙවී ගියේ ය. දිනක් අයිලීන් පුස්තකාලයේ පොතක් කියවමින් සිටියා ය. ඩී.බී.අයි. ද එහි සිටියේ ය. හිටි හැටියේ අයිලීන් ළඟට ආ ඔහු ඇයට තම අතෙහි තිබූ පොතෙහි වැකියක් පෙන් වූයේ ය. එය මෙසේ ය.
“Who Knows, One day We might meet at the corossing of the roads.
“කාට කිව හැකි ද? අප දිනෙක මංසන්ධියක දී හමුවේවි.”
අයිලීන් එය කියවා ඩී.බී.අයි. දෙස බැලුවා ය. තරුණියක සමඟ කුලුපගව කතා කිරීම හෝ කාරුණික වෙත සෙනෙහස් බැල්මක් හෝ හෙළා නැති මේ තරුණයා මෙවැනි ක්‍රියාවකට පෙලඹවූයේ කුමන හේතුවක් ද? නිහඬ නිහතමානී ස්වභාවයෙන් යුතු වූ අයිලීන් විමතියට පත් වූවා ය. ඇය වදනක් හෝ නො පැවසුවා ය. ඔහු දෙස බලා සිනාසුණා පමණි.”
ඩී.බී.අයි. විශ්වවිද්‍යාලයේ කැපී පෙනෙන වේදිකා නළුවෙක් විය. 1947 වසරේ ඉංග්‍රීසි නාට්‍ය සංගමය ඉදිරිපත් කළ පින්රෝගේ ද සෙකන්ඩ් මිසිස් ටැන්කරි නාට්‍යයේ ඩී.බී.අයි. රඟපෑවේ අයිරාංගනී මීදෙණිය (සේරසිංහ) සමඟ ය. මහාචාර්ය ලුඩොවයික්ගේ ප්ලෝටස් ලියූ ‘ද ට්වින්ස්’ නාට්‍යයේ ද ප්‍රධාන චරිතය රඟපෑ ඔහු ‘කපුවා කපෝති’ නාට්‍යයේ පීටර් කරුණාරත්නගේ චරිතය ද 1949 දී බ්‍රෙස්ට්ගේ ‘ගුඩ් වුමන් ඔෆ් සෙට්සුවාන්’ නාට‍්‍යයේ ඔහු අයිරාංගනී ගොපල්ලව සමඟ ද 1950, සරච්චන්ද්‍රයන් නිෂ්පාදනය කළ ‘හැංගි හොරා’ නාට්‍යයේ ඔහු රඟපෑ අයුරු නොතිත් ආසාවෙන් බලා සිටියේ අයිලින් වික්‍රමසිංහ මිස අන් කවරෙක් ද?
ඩී.බී.අයි.පී.එස්. සිරිවර්ධන හා අයිලින් වික්‍රමසිංහ යුග දිවියට එළඹුණාහ. තම සැමියා කීර්තිමත් සිවිල් නිලධාරියෙකි. ඔහු අග්‍රගණ්‍ය පරිපාලන නිලධාරියෙක්. කොන්ද කෙළින් තබා හදවතට එකඟව, දේශපාලන බලපෑම්වලට නතු නොවූ සාධාරණය ඉටු කළ උසස් තනතුරු හෙබවූ විශිෂ්ට මිනිසෙකැයි බිරිය තුළ තිබූ අහිංසක ආඩම්බරය සඟවා ගනිමින් ඇය සතුටට පත් වූවා ය. සැමියා ඇගේ සාහිත්‍ය ජීවිතයට අත හිත දුන්නත් ඒ නිර්මාණවල නිර්දය විචාරකයා ද විය.
‘අහසින් පොළොවට’ නවකතාවෙන් පසු එහි දෙවන කොටස ‘වෙරළෙන් සයුරට’ අයිලින් ලේඛිකාව ලියූවාය.
‘ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන’ සංකල්පය තහවුරු වන අයුරින් කාන්තා ප්‍රතිරූප චිත්‍රපට මඟින් ද, ටෙලිනාට්‍ය මඟින් ද නවකථා මඟින් ද නිරූපණය වන වකවානුවක කාන්තාවට සාධාරණයක් ඉටු කිරීම කාලීන අවශ්‍යතාවක් යයි මම සිතුවා.
ලෝකයේ උසස් ම තනතුර වන මාතෘත්වය දැරිය හැක්කේ කාන්තාවකට පමණය. පුරුෂාධිපත්‍යය පවතින සමාජයක, තම අයිතිවාසිකම් වෙනුවෙන් ඇතැම් ස්ත්‍රී සංවිධාන උද්ඝෝෂණ පවත්වනවා. එවැනි ක්‍රියා තුළින් ස්ත්‍රියගේ ප්‍රතිරූපයට තවත් හානි පැමිණෙනවා. ස්ත්‍රිය අවඥාවට ද පාත්‍ර වෙනවා. උද්ඝෝෂණය කරන්නේ අතළොස්සක්. බහුතරය හදවත් පෙළමින් නිහඬ වී සිටිනවා. හැම විටම තම හදවත පෙළමින්, දවස ගෙවූ ‘අහසින් පොළොවට’ කතාවේ බිරිය වන විනීතාට වඩා වෙනස් වූ චරිතයක් නිර්මාණය කිරීමට මට අවශ්‍ය වුණා. අපට ආවේණික වූ සංස්කෘතික ආගමික හරයන් අගයන පතිව්‍රතාව, මාතෘත්වය උතුම් කොට සලකන අතර, තම ආධ්‍යාත්මික අවශ්‍යතා සපුරා ගැනීමට වෙර දරන ස්ත්‍රියකගේ අභ්‍යන්තර අරගලයයි ‘වෙරළට සයුරට’ කතාවේ තේමාව වන්නේ. සිතට හදවතට වැටකඩොලු නැහැ. සම අදහස් ඇති කෙනකු වෙත කතා නායිකාව වන පුෂ්පා ඇදී යයි.
අහසින් පොළොවට කතාවේ බිරියගේ සිහින සුන් වෙනවා. නව සිහින මවන දෙවන කොටසේ බිරිය ‘වෙරළෙන් සයුරට’ යනවා. බිහිසුණු සුළිසුළං, දළ රළ මැද තනිව සටන් කරනවා. ‘කතරින් එතෙරට’ අවසන් කොටසේ දී ඈ ජය ගන්නවා.”
අයිලින් සිරිවර්ධන මහත්මිය විසින් ලියූ සෙසු වූයේ ‘කබලෙන් ලිපට’, ‘බලන් හරිමි කඩතුරාව’ (1,2,3), ක්ෂේම භූමි (1 සහ 2), තරණය (ක්ෂේම භූමි 3 කොටස), ‘ජනාදරී’, ‘නව යොවුන් මැහැල්ල (කෙටිකතා), ‘කවටයා සහ තවත් රෝම කථා’, ‘ප්‍රපාතය’, ‘ඉකේ දා කවියා හා ඔහුගේ නිර්මාණ’ ‘තහනම් වස්තුව’, ‘නිසල මොහොත’, ‘මං මුලාවී පාර සෙව්වෙමි’, සහ The Heart Awakened, On Perilous Seas, White Flowers for the Dead, Another Dawn was Breaking, Realisation, Crossing Over, Stirring Moments in the life of Buddha වෙයි.
2011 වසරේ අයිලින් සිරිවර්ධන මහත්මිය ‘ජීවන ගීතය මගේ ජීවිත කථාව’ නම් ස්වයං ලිඛිත චරිතාපදානය ප්‍රකාශයට පත් කළා ය. ඒ කෘතිය පිරිනමා ඇත්තේ ‘සදානුස්මරණීය සැමියාණන් සිරිට, පෙම්බර දරුවන් උදය අරුණ හා සයිරිනීට දයාබර බෑණා හා ලේලිය පෝල් හා ශිවානිට, සුරතල් මුනුබුරු මිනිබිරියන් සුමායා, බිරේන්ද්‍ර, ප්‍රවීන් හා සරිකාට, මා හා දහම් අමා ගඟෙහි පිහිනමින් වසර දහයක් ගෙවූ ආදරණීය ශිෂ්‍යාවන් ලලිතා සරච්චන්ද්‍ර, ඉන්ද්‍රානි ගුණසේකර, ගුණතිලකා පීරිස්, රුක්මණී අමරසූරිය, ඩී.එම්.එම්. සෝමලතා හා කාන්ති පෙරේරාට හා මා දිවියට තවත් අරුතක් එක් කළ මගේ දයාබර පාඨකයන්ට’ ය.
තම කෘතියේ අවසාන පරිච්ඡේදය වූ ‘දවසේ හා ජීවිතයේ අවසන් කාල පරිච්ඡේදයේ ඇය ‘අඳුර පැතිරෙමින් එද්දී’ තුළින් මෙසේ පවසා තිබුණා ය.
‘සතර වටින් අඳුර පැතිරෙමින් නිශා කත තම දුහුල් සළුවෙන් ලොව වසා ගැනීමට ආසන්න ය. ගෙතුළට යෑමට පිය නඟමි. තනියම, තනියම? නැත මා යන්නේ හද මිහිරි කරවන, සුපහන් කරවන, හද පිරි සැමරුම් අමා දහරක් සමඟ ය. ඒ සැමරුම් සැඳෑ අහස මෙන් විසිතුරු ය; රමණී ය; ඒවා මා අදත් ජීවත් කරයි”
ගෙතුළට පා තැබූ ක්ෂණයකින් ම මගේ ජීවන ගීතයේ මේ සැදෑ තත්සර, මගේ දෙසවන් පුරා හදවත පුරා අධ්‍යාත්මය පුරා රැව් දෙන්නට විය.”
අයිලින් මහත්මියගේ දයාබර සැමියා වූ සිරි (ඩී.බී.අයි.පී.එස්. සිරිවර්ධන මහතා) 1984 ජූලි 08 වැනිදා මිය ගියේ වයස අවුරුදු 65 පසුකර තිබියදී ය. අයිලින් සිරිවර්ධන මහත්මිය 2016 ජනවාරි 20 වැනිදා ජීවිතයෙන් සමු ගත්තා ය.
සිරිවර්ධන මහත්මිය ගැන ඇය විදුහල්පතිනියක ලෙස කලක් සිටි නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකවූ ප්‍රවීණ ලේඛිකා සමන්මලී පද්මකුමාර ලියූ සටහනින් මේ ලිපිය අවසන් කරමු.
“අත ගසන හැමදේකම, ඇස ගැසෙන හැම දේකම මගේ හදවතට ලැබිය යුතු වූ, මනසට බැඳිය යුතු වූ කරුණුම හමුවේ. හරියට ඔබ පාසලේ උගන්වන විට “මේ කියන්නේ මටම යැයි” සිතුණා වගේ මට සැපත එයම විය එදා.”