සිංහල කවියේ පියනම සලකුණ | සිළුමිණ

සිංහල කවියේ පියනම සලකුණ

 

කාව්‍ය සංකල්පනාවලින් ද උපයුක්ත භාෂාවෙන් හා කාව්‍යෝක්තිවලින් ද ප්‍රකාශිත ජීවන හා සමාජ දර්ශනයෙන් ද අව්‍යාජ දේශීයත්වය ම පිළිබිඹු වන මර්සලීන් ජයකොඩි පියතුමාගේ කවි ගීතවල එතුමාගේ නම සඳහන් නොවූ නමුදු හඳුනාගත හැකි අපූරු අනන්‍යතාවක් ලැගුම් ගෙන තිබේ. භාෂාවේ සංගීතය මැනවින් හඳුනන පියතුමාගෙන් ලියැවුණු කවි ගීතාත්මක ය. ගීත කාව්‍යාත්මක ය. ශබ්දාර්ථ සුසංයෝගයෙන් සමූපේත ය. සුසරු බිමක අනගිතම දිය පොහොර ලබමින් වැඩුණු එතුමාගේ ගීත ලතාවේ බොරුමල් පිපුණේ ම නැත; කවි තුරෙහි නිරස ඵල සැදුණේ ම නැත; එතුමාගේ කවි ගීත මවුකිරි මෙන් මිහිරි ය; සුවඳ ය; රසවත් ය; ගුණවත් ය.

සිංහල දැයේ වාසනාවට පහළ වූ කිවිවරයන් අතරේ සිතින් ද, වතින් ද, සුදෙන් දිස් වූ මර්සලින් ජයකොඩි කිවිසඳාණෝ තමා බිහි වන යුගයට අදාළ පස්මහ බැලුම් බලා උපන්නෝ දැයි සැක සිතෙන තරම් ය. පූජකවරයකුට මෙන් කිවිවරයකුට හරිම කරුණාවන්ත දයාබර මොළොක් ගතිගුණ ඇති මවක ලැබීම සුන්දර ය. එනම් මුනිවරුන් උපදින කිවිවරුන් බිහි වන නොසිඳෙන උල්පත අම්මා ය. බෞද්ධ අම්මාගේ මෛත්‍රියේත්, කතෝලික තාත්තාගේ ප්‍රේමයේත් සුසංයෝගයෙන් උපන් පුත් රුවන දයාදර බවේත් සමානාත්මතාවේත් ප්‍රතිබිම්බයකි.

සැබෑ කලාකරුවා බිහි වන්නේ ඉසියුම් නිරීක්ෂණ ශක්තිය නිසාය. වතුර ගේන්න යනකොටත්, දර කඩන්න යනකොටත් පලා ටිකක් නෙළා ගන්න යනකොටත්, අම්මාගේ පස්සෙන් යමින් ලබාගත් සජීව අත්දැකීම්වලින් පිවිතුරු ළමා සිත සොබාදහමට හා ජීවන පරිසරයට අවදි වෙමින් තිබිණි.

පුංචි ජයකොඩි බිලිඳා උපදින්නේ අම්මා පිරිසිදුවට, ලස්සනට මල් වවා එළිපෙහෙළියට තියාගෙන සිටි කවුරුත් ‘මල් පැල’ නමින් හැඳින්වෙන පැල්පතක ය; සිදුහත් කුමරු උපදින්නේ තුරු මුලක ය; ජේසු බිලිඳා උපදින්නේ ගවලෙනක ය; ජයකොඩි ළදරුවා බිහි වන්නේ පැල්පතක ය; මහමැඳුරුවල මුනිවරු කවියෝ නූපදිති. ඉපදුණත් කවියා බිහි වන්නේ මැඳුරු හැරගිය පසු ය. ලෝක මානව ඉතිහාසය එයට දෙස් දෙයි. තාත්තා බුලත් අතේ ගෞරවයට වෙදකම් කළ සිංහල වෙද මහතෙකි. සිංහල වෛද්‍යවරයා බහුශ්‍රැත කවියෙකි. පැරැණි වෛද්‍ය ශාස්ත්‍රය පරම්පරාගත වූයේ පද්‍යයෙනි. තාත්තා නිතර කියූ උත්ප්‍රාසාත්මක කවියක් පුතණුවන්ට ධාරණය වී තිබිණි.

 

“සාස්තරේ දැනගත් වෙද රාලලට

නේත්තරේ නිදි නැත රෑ තුන්යමට

ගෝත්තරේ නැත කුසගිනි වෙලාවට

පාත්තරේ වැනි වෙදකම හිඟමනට”

 

ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමියන් සම්පාදිත ‘මල්පැලේ උපන් පන්සලේ පියතුමා’ නම් අපදානයෙහි මේ කවිය සිහිපත් කිරීමෙන් පසු පියතුමා මෙසේ පවසයි.

“ඕක කියලා තාත්තා හිනා වෙනවා. එතකොට අම්මත් හිනා වෙනවා. බලන කොට කවියෙන් කියැවෙන දේත් සහතික ඇත්තයි.”

එදා පියතුමාගේ පියතුමා කී කවිය මෙදා වෛද්‍ය වෘත්තියේ සිදු වී ඇති විපරිණාමය හඳුනා ගැනීම සඳහා විවර වී ඇති කවුළුවක් වැන්න.

සහජ ප්‍රතිභාවත් නිර්මල බහුශ්‍රැතතාවත්, සතතාභ්‍යාසයත් නිසා උද්දීප්තියට පත් සැබෑ කවීත්වයක් මර්සලීන් ජයකොඩි පියතුමා සතු විය. වැඩෙන තුරුලතාවලින් බිමෙහි සාරය හඳුනාගත හැකි ය. එතුමා ක්ෂණිකව පහළ වූ ආකස්මික කවියෙක් නොවේ.

මීසම් කීපය ම කටයුතු කළ එතුමා ‘මග්ගොනට’ ගිය පසු සිය සංගීතඥානය තවදුරටත් දියුණු කර ගත්තේ ය. එතුමා සඳහන් කරන ආකාරයට තම ජනප්‍රිය ගීතිකා සියල්ල ලියා ඇත්තේ මග්ගොනදී ය. 1949 වර්ෂයේදී ‘ඥානාර්ථ ප්‍රදීපය’ පත්‍රය පළ කිරීම සඳහා කොළඹට පැමිණීම නිර්මාණකරණයෙහි ද නවෝදයකි. ‘සුබස’ සමඟ සම්බන්ධ වී, රැපියල් තෙන්නකෝන්, ජයන්ත වීරසේකර, අමරසිරි ගුණවර්ධන වැනි වියතුන් ඇසුරු කිරීමෙන් හා ඔවුන්ගෙන් සිංහල ඉගෙනගැනීමෙන් භාෂාව හා සාහිත්‍ය පිළිබඳ ලද දැනුම පියතුමාගේ නිර්මාණ කුසලතාව වර්ධනය වීමට හේතු සාධක වී ඇත.

“56 අවුරුද්ද තමයි මගේ ග්‍රහයා මාරුවෙච්ච අවුරුද්ද...”

යනුවෙන් එතුමා සඳහන් කරයි. ශ්‍රී ලාංකේය දේශපාලනයෙහි ද සංස්කෘතියෙහි ද භාෂා සාහිත්‍ය කලා ප්‍රකාරවල ද ග්‍රහයා මාරු වූ වර්ෂයක්, නැත හොත් සංක්‍රාන්ති අවස්ථාවක් ලෙස 56 වර්ෂය හැඳින්විය හැකි ය. නවකතාව, නාට්‍යය, කෙටිකතාව වැනි සෑම මාධ්‍යයකම සාධනීය විපර්යාසයක් සිදු වූ මේ වර්ෂයේ, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ නම් වූ සිනමා නිර්මාණය බිහි වීම පියතුමාගේ නිර්මාණ ක්‍රියාවලියෙහි ද සන්ධිස්ථානයකි. ‘රේඛාව’ චිත්‍රපටයේ තේමා ගීතය ලෙස එතුමා විසින් ලියන ලද

“සුදු සඳ එළියේ නල මත පොපියන - හිරිමල් කැකුළක රොන් කෙමියේ...” නම් ගීතය ද, සෙසු රචනා වන “ඕළු නෙළුම් නෙරිය රඟාලා...”, “වෙසක් කැකුළු අතු අග ඉඳ නටන විලාසේ...”, “සීගිරි ළඳකගෙ මල්වට්ටියෙ ලා...” ‘ආදරවන්තයෝ’ චිත්‍රපටයට ලියූ නන්දා මාලිනී ගැයූ “දවසක මා මුතු අඬනව...”, “පුංචි පුංචි මිංචි පැංචි...” වැනි ගීත අතිශය ජනප්‍රිය භාවයට පත් හෘදයාංගම ගේයපද රචනා ය. සංකල්ප සුකුමාරතාව, භාෂා සුඛනම්‍යතාව හා ශ්‍රැතිරම්‍යතාව මෙන් ම කවියාගේ අනන්‍යතාව ද පිළිබිඹු කෙරෙන කැටපත් බඳු මේ ගීත රචනා කොට ඇත්තේ, පුංචි සරල ලස්සන වචනවලින් ඉතා ලස්සන පණිවිඩයක් දිය හැකිය යන ආකල්පය ද සහිතව ය.

මර්සලීන් ජයකොඩි පියතුමා අමුණන වදන් ගොනු රසික සවනෙහි හා මනසෙහි අපූරු ලාවණ්‍යයක් ජනිත කරවයි. ‘ඕළු නෙළුම් නෙරිය’, ‘ගඟුල් තොටිල්ල’, ‘මල් ඇතිරිල්ල’, ‘යමු නැළවිල්ලේ’, ‘කබරගොයා උගේ සුරතලී’ වැනි යෙදුම් කොතරම් නම් සොඳුරු කාව්‍යාත්මක ප්‍රයෝගයන් ද? සාමාන්‍යයෙන් දුටුවන්ට ප්‍රිය නොවන බිය ගෙනෙන ‘කබරයා’ සුරතලකු බවට පත් කිරීම සඳහා ‘කබරගොයා’ යන පදයට ‘උගේ සුරතලී’ යන පද සංයෝජනය කරයි. කවියා යොදන ‘සුරතලී’ නම් යෙදුමෙහි ඇති සුරම්‍යතාව නිසා කබරගොයා ද සුරතලෙක් වෙයි. මෙබඳු ඔහුගේ සිතෙහි ම මැවෙන, ඔහුගේ මුවෙහි ම රැඳෙන ඒ අතින් ම ලියැවුණු සුමියුරු කිවිවදන්වලින් පළ වන්නේ පියතුමාගේ නිර්මාණ සතු වියත් බවයි.

සොබාදහම විසිතුරු වර්ණ බවට පත් කරගෙන එයින් මානව ජීවිතය චිත්‍රණය කොට, දාර්ශනික තලයක පිහිටුවීමට සමත් කවිකමක උරුමය එතුමා සතු වේ. එකී නිර්මාණ ප්‍රයාසය එතුමාගේ වදන්වලින් ම පවසන්නේ නම්,

“පොඩි රේඛාවෙක - රැස් රේඛාවෙක

මැණිකක මුළු ඉරණම සැතපේ

එක එක මැණිකක - එක එක රූපෙක...”

ස්වකීය කාව්‍යානුභූතීන් මැනවින් සංහරණය කරගැනීමේ ව්‍යුත්පතිඥානයක් එතුමා සතුව පවතී. එකී උචිතානුචිත විවේකී බුද්ධියෙන් අනුභූතිය මෙන් ම කාව්‍යාකෘතිය, සන්දර්භය, සංකල්පනා හා භාෂාව මැනවින් සංයෝජනය කරයි. 1988 වසරේ ලියා ඇති ‘පුංචි දුවට මල් දෝතක්” නම් ළමා ගීතයෙන් වුව ද ඒ සත්‍යය පසක් කරගත හැකි ය.

 

“විලක් ළඟින් ගියත් ඇති යි

පළිඟු වගේ දිලිසෙනවා

පට සළුවක් සුළ‍ඟෙ වගෙයි

පේළි පේළි රැළි යනවා

අව්ව ඇවිත් රැළි පාගා

රැල්ල එක්ක තැවරෙනවා

මොහොතින් ඒ පළිඟු විලේ

රන් ඇතිරිලි පාවෙනවා”

 

මර්සලීන් ජයකොඩි පියතුමාගේ ලෝකාන්වේශන ශක්තිය හා සමාජාන්වේශන ශක්තිය පෘථුල ය; සුනිශිත ය; එතුමා හුදෙක් ස්වභාව සෞන්දර්ය වර්ණනා කෙරෙහි ම ලග්න වූ කවියෙක් නොවේ.

ස්වදේශ වාත්සල්‍යය, මානව භක්තිය මෙන් ම සමාජ අසාධාරණය ද පන්ති විෂමතාව ද දරිද්‍රතාව හා මානව පීඩනය ද ස්වකීය නිර්මාණ සඳහා වස්තුවිෂය කරගෙන තිබේ. ‘මුතු” (1980 රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ කාව්‍යය) ‘තටු” (1983), ‘තරු” (1987) වැනි කාව්‍ය සංග්‍රහවල ඇතුළත් නිර්මාණ පරීක්ෂා කිරීමේදී ඒ බව ප්‍රත්‍යක්ෂ කරගත හැකි ය.

ආගම දහම පිළිබඳ ද එතුමාගේ අදහස් උදහස් ගතානුගතිකත්වයෙන් තොර ය. නිරීක්ෂණශීලි ය. මේ උන් වහන්සේගේ ‘ආගම’ පිළිබඳ මානවවාදි සංකල්පයයි.

 

කොයි හංවඩුව ඇති වුව ආගමැයි කියා

කොයි පණිවුඩය තිබිණි ද බයිබලේ ලියා

‘ආදරයයි’ ‘ආගම’ යනු හිතේ තියා

මල් ‍ගෙන පුදමු ඒ ආගම ලොවේ සොයා

(මුතු)

 

‘තටු’ පද්‍ය සංග්‍රහයෙහි ඇතුළත් ‘පොඩිමාලි’ නම් නිර්මාණය කවියා ආදරය නමින් හඳුන්වා ‘මානව ප්‍රේමය’ අරුත් ගන්වන්නකි. පැල්පත්වාසී දිළිඳු පවුලකට අයත් දැරියකගේ ජීවන ඛේදය නිරූපණය කරමින්, ඇගේ පැල්පතට වඩින ලෙසත්, එක් රැයක් ඒ දැරිය සමඟ ඇය විඳින දුක විඳින ලෙසත්, කවියා දෙවියන්ට ආයාචනය කරයි. දේවත්වයෙන් සංකේතවත් කරන්නේ මානව ප්‍රේමයයි.

“පැල සැදු වඩුවා පලයන් උලට”

යන ධ්වනි පූර්ණ කාව්‍ය භාවිතයෙකි. මෙහි දී සහෘදයාගේ විශේෂස්මෘති අනුව බුදුන් වහන්සේගේ උදාන ගීයෙහි ඇතුළත් ‘ගහකාරකදිට්ඨෝසි’ යන යෙදුම සිහියට නැ‍ඟෙන්න ඉඩ තිබේ. එහි සසර නමැති ගෙය කරන වඩුවා තෘෂ්ණාවයි. එහෙත් මෙහි ‘පැල සැදු වඩුවා’ යන්නෙන් ධ්වනිත කෙරෙන්නේ පැල්පත් ජීවිතය, දරිද්‍රතාව බිහි කරන දේශපාලන තන්ත්‍රය හෝ සමාජ ක්‍රමයයි.

තටු පද්‍ය සංග්‍රහයෙහි ඇතුළත් ‘නඩුකාරයා කෙතට බසී’ නම් නිර්මාණය කවියා ප්‍රාර්ථනා කරන සමාජයේ නිදර්ශනයකි. එහි සමස්තාර්ථය මේ පද්‍යයෙහි සංගෘහීත ය.

 

පොලිසියෙ පොලු ඇත දෑකැති මිටට හැරී

ඇත කඩු යකඩයෙන් වෙල්යන නඟුල කෙරී

කළු කඩ මහසොහොන තීරයේ දවස් හරී

ගෙවිලිය දියට යයි ජීවන රසය පිරී

 

කවියා ප්‍රාර්ථනා කරන සාමකාමී සමාජයේ නිෂ්ක්‍රීය වූ පොලිසියේ බැටන්පොලුවලින් අස්වනු නෙළන දෑකැති මිටවල් සෑදිය හැකි ය. ඒ වැරදිකරුවන් සමාජයෙන් තුරන් වී ඇති හෙයිනි. සටන් වදින්න සාදා ගත් කඩු යකඩයෙන් නඟුල් සෑදී ඇත. ඒ වෛරය විරෝධය ක්ෂය වී ගොස් ඇති බැවිනි. කළුකඩ මුදලාලිලා වැනි සමාජය සූරා කන්නෝ අපාගත වී සිටිති.

විෂමාචාරවලින් හා අවනීතියෙන් තොර සහනශීලි සමාජයක ජීවිතාස්වාදය සහිත ගෙවිලිය දියට යයි. එබඳු සමාජයක නඩුකාරයාට ද කෙතට බැසිය හැකි ය. ඉටු කරගැනීමට හෝ ඉටුවීමට ප්‍රාර්ථනා තිබිය යුතු ය. කවියා මවන සංකල්පනා ලෝකය සැබෑ කළ යුතු වන්නේ පාලකයන් සමඟ ජනතාව ය.

නිදහස යනු මිනිසා සතු විය යුතු අගනා වරප්‍රසාදයකි. එහෙත් අවිධිමත් හා අනර්ථකාරී වල්බූරු නිදහස මිනිසාගේ විනාශය ළඟා කරන්නකි. පියතුමා රචිත, පහත දැක්වෙන පද්‍යයෙන් නිදහස පිළිබඳ සිදු කරන අර්ථකථනය සහෘදයන්ගේ අවධානය යෝග්‍ය වේ.

 

නිදහස නිදහසින් නැති වනු බැරිත් නැත

හිතුවක්කාරකම කොතැනත් සරින් නැත

නිදහස නිදහසට පිටුපා හැරිත් නැත

කඩුවට තුලාවට කිසි සෙත් පිරිත් නැත

 

‘නිදහස’ පද්‍ය නිර්මාණය ඇරැඹෙන්නේ අනුචිත නිදහස විඳින්න ගොස් මකුළු දැලක පැටලුණු සමනලයකු අමතමිනි. අප අපේක්ෂා කරන නිදහස, නොනිසි නිදහස නිසා ම නැති වීමට බැරි නැත.

සමාජ හා පුද්ගල ප්‍රගතිය සඳහා විප්ලවකාර ලෙස හිතුවක්කාරී වීම ද අවශ්‍ය ය. එහෙත් එය හැම තැනකට ම සුදුසු නැත. අර්ථවත් ලෙස නිදහස භාවිත කරමින්, පරමාර්ථ සාධනය කරගත යුතු ය. මෙහි දී

“කඩුවට, තුලාවට කිසි සෙත් පිරිත් තැන”

යන යෙදුමෙන් ධ්වනිත කරන්නේ සාම්ප්‍රදායික මර්දනකාරී පාලන තන්ත්‍රයක් අතිධාවනකාරි වාණිජත්වයක් ය. මේ දෙක පාලනය කළ හැකි සෙත් පිරිතක් ද නැත. නිර්මාණය සමාප්ත කරන්නේ, ප්‍රබල ජීවිතාර්ථයක් කුළුගන්වමිනි. ඉවුරු නැති නම්, ගංගාවලට සයුර වෙත ළඟා විය නොහැකි ය. ලජ්ජාව සහ භය සමාජය සංවරව ඉදිරියට රැගෙන යන ඉවුරු දෙකකි. නීතිය හා සදාචාරය ද සමාජය නිසි මඟ ගෙන යන ඉවුරු ය. අසීමිත නිදහස වනාහී හික්මීම නැතිකම ය. එහෙයින් නිදහස භාවිත කළ යුතු වන්නේ අර්ථවත් ලෙස ය. මෙකී ජීවිතාවබෝධය ලබාදීම සඳහා කවියා ස්වකීය නිර්මාණය උපයෝගි කරගනියි.

කවියකු අව්‍යාජ වූ තරමට ඔහුගේ කාව්‍ය සංකල්පනා ද අව්‍යාජ වේ. දේශීය ආගම දහම හා සංස්කෘතිය පිළිබඳ එතුමා තුළ වූ අව්‍යාජ හැඟීම් අභීත ලෙස කවියට නැඟිණි. මර්සලින් ජයකොඩි පියතුමා කිසිවකුගේ හෙණ්ඩුවකින් මෙහෙයවිය නොහැකි ‘නිරංකුශ’ කවියෙකි. වෙනත් අයුරකින් කිව හොත් එතුමා කිසිදු ප්‍රතිගාමී බලවේගයකට යටත් වූයේ නැත. තටු කාව්‍ය සංග්‍රහ‍යේ ඇතුළත් ‘මා රිසි තැන’ නම් නිර්මාණයෙහි මෙසේ සඳහන් වේ:

 

මට හිරිකිතයි, රජයේ හිඟමනක් එපා

ඔව් මට පිනට කවදත් කිසි දෙයක් එපා

 

මෙයින් පිළිබිඹු වන්නේ ‍පියතුමාගේ නිදාසමතික භාවයයි. ස්වාධීනත්වයයි. ආගමික අන්තගාමීභාවයෙන් තොර මධ්‍යස්ථ මතධාරියකු නොවේ නම්; ‘සිවුරු පවුර’ වැනි නිර්මාණයක් පියතුමාගෙන් බිහි වීමට කෙසේවත් අවකාශ නැත. මේ එහි ඇතුළත් පද්‍යයකි:

 

ඇත්තක් ඇති සැටියට කිව යුත්තේ

සිවුරෙයි හෙළයේ අනුපණ ඇත්තේ

සිවුරයි පණ දී රට රැක ගත්තේ

අදත් නඟින්නේ මේ රට මත්තේ

 

ගතානුගතික මතානුලම්බනයට වඩා විමර්ශනශීලි යථාර්ථ නිරූපණය කලාකරුවකුගේ පාරිශුද්ධ කාර්යභාරයකි. ජයකොඩි පියතුමා රචිත ‘නත්තල’ නම් නිර්මාණය නවීකරණය හා වාණිජ අර්ථක්‍රමය විසින් ආක්‍රමණය කරන ලද සැණකෙළියක් බවට පත් වූ වර්තමාන නත්තල පිළිබඳ කඩතුරාව ඉවත් කොට, සැබෑ නත්තලේ පරමාර්ථ ලක්ෂ්‍යය කරන්නකි. කවියා එය සිදු කරන්නේ මනා කලාත්මක සංයමයකින් යුතුව ය.

නත්තලේ සම්ප්‍රාප්තිය පිළිබඳ කවියාගේ ආලෝචනා මෙසේ ය:

 

දිග මුතුවැල් වැසි අහසේ එල්ලෙනවා

බිම වැටි වැටී මොහොතක් මුතු මල්වෙනවා

කළු දිය කොට මැදි රැය තරු දල්වනවා

බොර දිය පීන පීනා නත්තල් එනවා

 

නත්තල් එන්නේ ‘බොරදිය’ පීනමිනි. මෙහි ‘බොරදිය’ යනු සංකේතාත්මක යෙදුමකි. එයින් අශ්‍රද්ධාව ගම්‍ය කෙරේ. ශ්‍රද්ධාව සම්ප්‍රසාදන ලක්ෂණයෙන් යුත් විනිවිද පෙනෙන ගුණයකි. මිනිස් සමාජය පුරා පවතින අශ්‍රද්ධාව, අවිශ්වාසය තුරන් කරමින් නත්තල පැමිණෙන අයුරු සූචිත ය. වර්තමානය වන විට නත්තලෙහි පවිත්‍ර සංකල්ප අපවිත්‍ර වී ඇත. එහෙයින් යළි පවිත්‍ර සංකල්ප නමැති ජලය පිළිකුල සෝදමින්, හොඳ ගුණ පාදමින් බාධා බිඳ හෙළමින් තැන් තැන්වලට නව පොකුණු විල් සාදමින් පීඩිතයන් හා අසරණයන් සනසමින් නත්තල අර්ථවත් විය යුතු බව කවියාගේ ප්‍රාර්ථනාවයි.

වත්මන් නත්තල් උදාවේදී නෙත ගැටෙන්නේ දැවැන්ත නත්තල් ගස්, විදුලි බුබුළු නන්විසිතුරු සැරසිලි ය. එහෙත් කවියාගේ නෙත ගැටෙන්නේ, අනෙකකුගේ සිත නොයන, නෙත නොගැටෙන ක්ෂූද්‍ර දේවල් ගැන ය. එයින් සංකේතවත් වන්නේ නිර්ධන පන්තික පීඩත ජන සමාජය ය. ඉල්හතු වෙල් ඉවුරේ, තණ මල් පන් පඳුරේ කොරවක් හඬ, බටමල් පොකුරු ළඟ බත්කූරා, වැනි දේවල් ය. මේ හැම යෙදුමක ම සංකේතාර්ථ ගැබ් වී ඇත.

දෙවියන් පැමිණෙන්නේ සිනිඳු පියවිලි අතුළ විසිතුරු මාවතක නොවේ. මඩ පිඩ උඩ පාද තබමිනි. මිනිසාගේ ගමන සිදු වන්නේ, තූර්ය නාද මධ්‍යයේ ගීත ගයමිනි. එහෙත් දෙවියන් වඩින මඩ උඩ මලක් පිපේ.

මිනිසාගේ මාවතේ සිටින්නේ විෂකුරු නයෙකි. නත්තලේ ඇත්ත, සරල චාම් සුන්දරත්වයකි. දෙවියන් වැඩ ඉන්නේ මල්පැලක ය; ගවලෙනක ය; මිනිසා ලෝකයේ සිඳෙන බිඳෙන අනිත්‍ය ස්වභාවය නොදැන නටබුන් වන මාලිගා ඉදිකරයි.

අතිශය කාමභෝගී ජීවිතයකට පිවිසෙයි. නැති බැරි අය අසරණ බවේ පතුලෙහි ම ගිලෙයි. එහෙයින් කවියා ප්‍රාර්ථනා කරන්නේ උත්සවශ්‍රීයෙන් විරාජමාන ව්‍යාජ නත්තල් සැණකෙළි නොව අසරණයාට සරණ ලැබෙන මානව හිතශීලි සර්වප්‍රාණ භූත හිතානුකම්පී නත්තලකි:

 

මගෙ නත්තල දුගියා බත් කන දාය

මගෙ නත්තල වැරහැලි නැති වන දාය

මගෙ නත්තල ඔබ දුක සැනසෙන දාය

මගෙ නත්තල පව පල්ලිය යන දාය

 

දුගියාගේ සා පවස නිවී වැරහැලි තුරන් වී මානව ගෞරවයෙන් යුතුව ජීවත් වීමට වරම් ලැබෙන්නේ නම් එයින් දෙවියන්ගේ ද කවියාගේ ද ප්‍රාර්ථනා ඉටු වේ. මිනිසා කෙතරම් පල්ලි ගියත් ඔහු තුළ පව ශේෂ වී පවතී. ඒ නිසා පල්ලි යෑමෙන් නිමා විය යුත්තේ පාපයයි. එහෙත් දිනෙන් දින පාපය සුරැකෙමින් පවතී. කවියා පව පල්ලියට යන දවස බලා සිටින්නේ ඉමහත් අපේක්ෂාවෙන් යුතුව ය.

සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ සභාපති පදවිය හෙබවූ, ‘මැග්සෙයිසයි’ සම්මානයෙන් ද සම්මානිත, සොඳුරු කිවියර මර්සලීන් ජයකොඩි පියතුමාගේ කවි, ගීත, සංගීතාදී නිර්මාණ කවර කෝණයකින් හා මානයකින් විමසා බැලුවත් ඒ නිර්මාණවලින් දිස් වන්නේ ආදරය හා විශ්ව දයාවයි.

එය එතුමාගේ ආගමයි. ඒ ආගම ජීව ලෝකයේත් මාන සංහතියේත් හිත සුව පිණිස පවතී. එහෙයින් එතුමා දෙවියන් සමඟ සිටින කවියෙකි. එතුමාගේ කාව්‍ය උද්‍යානයේ මල් සම්පත් හා ඵල සම්පත් සාර්වත්‍රික ආස්වාදනීය ජාතික දායාදයෝ වෙති.

 

Comments