මා නිර්මාණය කළා කියූ විට ඔහු රවා බැලීය... | සිළුමිණ

මා නිර්මාණය කළා කියූ විට ඔහු රවා බැලීය...

කෙතරම් කතා කළත් අත්දැකීම් කෙදිනකවත් ඉවර නොවේ. ජීවත්වීම ම අත්දැකීමකි. කාලය හා අවකාශය විසින් ඊට වෙනස් වෙනස් අර්ථකතන දෙනු ලැබේ. ඉපදුණු දිනයේ පටන් මැරෙන මොහොත දක්වාම විවිධ අත්දැකීම් අප වින්දනයට විඳවීමට ලක් කරනු ලබයි.

අත්දැකීම කුමක් හෝ ඉ‍ඟි කරයි ද; සංඥා කරයි ද; අාවරණ, අනාවරණ කරයි ද යන්න කලින් කිව නොහැකිය. අත්දැකීම් තීව්‍ර කරන්නේ හෝ මොට කරන්නේ හෝ නොතකා හරින්නේ කලා නිර්මාණකරුවා විසිනි. කලාව වනාහී හුදෙක් ප්‍රතිමා, පින්තුර, නවකතා, කෙටිකතා හෝ කවි පමණක් ම නොවේ. මේ සියල්ල තේරුම් ගැනීමේ බුද්ධිමය චමත්කාරය කලාව ය. කලාව යනු සමස්ත දැකීම යැයි අප කියන්නේ ඒ නිසා ය.

කලාකරුවාගේ ප්‍රධාන අරමුණ විය යුත්තේ කුමක්දැයි සදාකල්හිම ප්‍රශ්නයක් ලෙසින් අප මනසේ ගොඩනැගෙන්නේ ය. මට සිතෙන්නේ කලාකරුවාගේ ප්‍රධාන අරමුණ වන්නේ අත්දැකීමට සජීවි බවක් ලබාදීම කියා ය. අප සැමට ඇති අත්දැකීම් කලාකරුවා විසින් සජීවීව අනෙකාගේ අත්දැකීමක් බවට ද පත් කරයි. නැතිනම් එය චිත්ත­ාකර්ණීය දෙයක් බවට පත් කරයි. කවියා, නවකතාකරුවා, චිත්‍ර ශිල්පියා. මූර්ති ශිල්පියා අෑ මේ ඕනෑම කලාකරුවකු වස්තු බීජවලට; වස්තුවට යමක් කරයි.

පාඨක හෝ රසික මනසෙහි සදාකාලිකව රැඳී සිටින චරිත නිර්මාණය කරන කෙටිකතාකරුවෝ හා නවකතාකරුවෝ එකී චරිතවල අත්දැකීම පොදු පාඨක අත්දැකීමට සමාන කරති. සිංහල පාඨක අපට ගම්පෙරළියේ නන්දා, අනුලා, පියල්, මාතර හාමිනේ හෝ කතිරිනා ද අමතක නැත. “හෙවණැලි ඇදි මිනිස්සු’ හි වික්ටර් ශ්‍රීමා හෝ පියවතිත් මළගිය ඇත්තෝහි දෙවොන්දරා සං හෝ නොරිකෝ ද අපට කෙදිනකවත් අමතක නොවේ. ඒ චරිත අපට අපේ චරිත සේම මතකය. ඉංග්‍රීසි සාහිත්‍යයේ හීත්ක්ලීප්, ජේන් අයර්, ඩේවිඩ් කොපර්ෆීල්ඩ් වැන්නන් සේම රුසියන් සාහිත්‍යයේ ගුල්සාරි, ඇනා කැරනිනා, ජමිලා අපට අමතක වන්නේ නැත. ඒ චරිත ගොඩනැංවීම හෝ ඒ අත්දැකීම් චරිත ඇතුළතට කාන්දු කිරීම ලේඛකයාට; නිර්මාණකාරුවාට පහසු වන්නේ නැත. මේ සියල්ල ම ඒ ඒ චරිතවලට ආවේණික ගති ලක්ෂණ හා පොදු අත්දැකීම් පිළිබඳ මනා පරිචයක් තිබිය යුතුමය. ලෝක සාහිත්‍ය දෙස විමර්ශනයෙන් බැලුව ද මේ කාරණය සාක්ෂාත් වන්නේ ය.

චරිතවලට උස් පහත් භේද නැත. ඕනෑ ම නිර්මාණයක අසීරු ම කාර්යය චරිත නිරූපණයයි. නිර්මාණ බිහිවන්නේ ජනතාව හා බැඳි අත්දැකීම් නිරූපණයට විනා භාෂා හරඹ දැක්වීමට නොවන බව විදග්ධ මතය වී ඇත්තේ ඒ නිසා ය. විචාරක සන්දර්භ ගැන ලියන සෙබැස්ටියන් ෆවුල්ක්ස් නැමැති විචාරකයා හා නවකතාකරුවා සිය Faulks on Fiction නමැති කෘතියේ පෙරවදනෙහි මෙසේ මෙසේ සටහන් කරයි.

“1993 දී මගේ හතරවැනි නවකතාව ‘Birdsong” ප්‍රකාශයට පත්වීමෙන් පසුව පාඨකයා මහත් උකටලී ස්වභාවයට පත්ව සිටින බවක් මට සාක්ච්ඡාවලින් දැකිය හැකි විය. සමහරුන් සිතා සිටියේ මා අවුරුදු 105ක් වයසැති ප්‍රංස ජාතික මහලු කාන්තාවක් විය හැකි බවයි. ඒ නවකතාවේ විස්තර වන ‘සොම්හි සංග්‍රාමය’ පිළිබඳව එක් පුද්ගලයෙක් මගෙන් කරුණු විමසා සිටියේ ය. මා ඔහුට පැවසුවේ මා ඒ සටන පිළිබඳ බොහෝ වාර්තා අධ්‍යයනය කර තව දුරටත් ඒ භූමි ප්‍රදේශය ගවේෂණය කරමින් ඒ විස්තර නිර්මාණය කර ඇති බව ය. “ඔබ නිර්මාණය කළා” ඇසූ ඔහු කෝපයෙන් මා දෙස රවා බැලීය. ඔහු මෙන්ම අනෙක් පිරිස ද මා කී දේ පිළිගත් බවක් නොදනිති. ඔවුන් සිතා ඇත්තේ මා කාගෙන් හෝ පැරණි වාර්තා රැසක් එකතු කරගෙන මගේ නමින් නවකතාවක් ලියා පළ කර ඇති බව ය. විනස් කේබල් නැමැති දේශපාලනඥයා එක්තරා සඟරාවකට ප්‍රකාශ කර ඇත්තේ මගේ සීයාගේ පරණ පෙට්ටියක තිබුණු ලියකියවිලි වලින් මා ඒ නවකතාව ගොතා ඇති බවය! නමුත් ඔහු පවසන එවැනි ලියැවිලි නම් මට කිසිවිටෙකත් හමුව නැත!”

තත්ත්වය එසේය. ප්‍රබන්ධන චරිත හා අත්දැකීම් ස්වකීය ඒවා බැව් බොහෝ දෙනා නොසිතති. ජීවිතයට ආකෘතියක් ඇත්තේ යම් තාක් ද, ඒ තරමට එය කලාවක් වන්නේය. ශිෂ්ටාචාරයේ අවුල හෝ චින්තනමය පීඩාව ද වැඩි වන්නට වන්නට එය කලාවක් වේ. කලා කෘතිවලදී ගැඹුරු ලෙස ද පොහොසත් ලෙස ද සංවේදනා පැහැදිලි කරන්නේ සවිඥානික හා සැමට පෙනෙන ප්‍රකට රටා ඔස්සේ ය. කලාවේදී සියලු අත්දැකීම් හා වස්තුවලට පැහැදිලි ස්ථානයක් ලබා දෙයි. ප්‍රිය උපදවන, ලලාසාව වර්ධනය කරන සිහිනමය දෑ පවා කලාවේදී එක්තරා හික්මීමකට ලක් කරයි. එසේත් නැතිනම් තාර්කික රටාවකට යටත් කරයි. ඔබට ඒ ගැන උදාහරණයක් දෙන්නට මට අවැසි ය. ඕනෑම දෙයක් විස්තර කිරීමට යොදා ගන්නා චරිත තිබේ. ආඩම්බරයේ අන්ධ බව නිසා ඇතිවන දුක්ඛදායක ශෝකාන්තය “ඊඩිපස්” වැනි නාට්‍යයකින් පෙන්වන්නට නම් “ සොෆොක්ලීස්” කෙනකු අවශ්‍ය වේ. ආදරයේ මරණීය මමත්වය හෝ අධිකාරි ස්වාමීත්වය ‘ඔතෙලෝ’ වැනි නාටකයකින් පෙන්වා දෙන්නට ශේක්ස්පියර් කෙනකු අවශ්‍ය ය. ආදරයේ විරාගිකත්වය පෙන්වන්නට නම් විරාගයේ අරවින්ද කෙනකු හෝ දෙවොන්දරා සං කෙනකු අවශ්‍ය ය. ගුඹුරු විදග්ධ කල්පනා ශක්තියෙන් අඩු අය පවා යම්කිසි දිනෙක ජීවිතයේ නිස්සාරත්වය හෝ අතහැරීම හෝ සෞන්දර්යය අත්විඳ ඇත. මේවා ක්‍රමවත්ව සංවිධානය කර ගන්නේ අහඹු ලෙස කෙනෙකි. ඒ නිසාය කලාකරුවාගේ ප්‍රයත්නය වැදගත් වන්නේ. අප හදවත්හි අර්ධ වශයෙන් ප්‍රකාශිත ජීවිතයේ වියවුල, අවකාශය නැවත නැවත අප හදවත්හි සිදු වුවද එහි සැබෑ ස්වරූපය හඳුනා ගැනීමට අප බොහෝ දෙනා අසමත්ය. එහෙත් කවියකදී, නවකතාවකදී හෝ නාට්‍යයකදී ඒවා සඳහට ම පැහැදිලි කෙරේ. යාන්තමට අවබෝධ වුණු හැඟීමක්, සිතිවිල්ලක්, සාහිත්‍යයේ හෝ සංස්කෘතියේ පැහැදිලි කිරීමකට සමපාත වන්නට ඒ අනුව අපට හැකි වේ.

නිර්මාණයේදී අත්දැකීම්හි වන වැදගත්කම නිර්මාණකරණයේ රන්සුනු සොයා යන ඔබ අභ්‍යන්තයෙන් ම දැනගත යුතු යැයි මා පවසන්නේ ඒ නිසා ය.

[email protected]

Comments