එදා-මෙදා තුර ඩයි­ජස්ට් වර්ගයේ සිංහල සඟරා | සිළුමිණ

එදා-මෙදා තුර ඩයි­ජස්ට් වර්ගයේ සිංහල සඟරා

“පුද්ගලයකු වශයෙන් මනුෂ්‍යයා ඔහු උපන් සමාජයෙහි අවයවයකි. සමාජය ජාතියෙහි අවයවයකි; නොහොත් අංගයකි. ජාතිය ලෝකයෙහි අවයවයකි. ලෝකය විශ්වයේ අවයවයකි. නොහොත් විශ්වයේ ඇබිත්තකි. සමාජය ජාතිය, ලෝකය හා තමා ද අතර ඇති නෑ සබඳකම් පිළිබඳ තර්කානුකූල වැටහීමක් බුද්ධිමතකුට ලැබිය හැකිය. එහෙත් විශ්වය හා තමා අතර ඇති නෑ සබඳකම ගැන වැටහීමක් නූගතකුට පමණක් නොව, මහා බුද්ධිමතකුට වුව ද ලැබිය නොහැකිය. විශ්වය පිළිබඳ යම් කිසි දැනුමක් විද්‍යාව වහල් කොට ගැනීමෙන් ලැබිය හැකි ය. එහෙත් ඒ දැනුම නිසා විශ්වය හා තමා අතර ඇති නෑ සබඳකම් පිළිබඳ කිසිම නිශ්චිත හැඟීමක් මහා බුද්ධිමතකුට වුව ද ලැබිය හැකි යැයි මම නොසිතමි. මනුෂ්‍යයා හා විශ්වය අතර ඇති නෑ සබඳකම් අරබයා නූගතකු තුළ මෙන් උගතකු තුළ ද පහළ වන්නේ ගුඪ හැඟීමකි. ඒ ගුඪ හැඟීම කවර ආගමක වුවද හරය වෙයි.

බුදු සමය ගූඪ වාදය පිටු දක්නා ලද දහමකැයි කියතත්, බුදුසමයෙහි හරය ද ගුඪ වාදයකි. තර්කයෙන් නො දකිත හැකි කිසිවක් වතොත් එය ගුඪත්වයකි. තර්කයෙන් නො දත හැකි නිවණ බුදු සමයෙහි හරය වෙයි.”

මේ ලිපිය ‘මාටින් වික්‍රමසිංහ විසිනි’ යනුවෙන් පළවී ඇත්තේ 1954 ජුනි “පිය බස” සඟරාවේය. වික්‍රමසිංහ මහතා විසින් ලියූ “ආගම ඇදහිය යුත්තකි; උගත යුත්තක් නොවේ.” යන මැයෙන් ලියූ ලිපියේ ආරම්භයයි ඒ. වෝල්ටර් සිරිමාන්න විසින් සංස්කරණය ලද “පියබස” සඟරා බොහෝ ලිපි මෙරට, පිට රට උසස් ලේඛකයන්ගේ ලිපිවල සාරාංශ ඇතුළත් කොට පළ කරන ඩයිජස්ට් වර්ගයේ සිංහල සඟරාවකි.

හතළිහ දසකයේ “ඩයිජස්ට්” (Digest) වර්ගයේ සඟරා තුනක් බිහිව තිබුණි. “පිය බස” සඟරාවට කලින් “පාඨකයා” නමින් සඟරාවක් කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයකු ව සිටි එස්.පී. පෙරේරා මහතා විසින් සංස්කරණය කර තිබුණි. එහි මුල් සඟරාව පළ වී ඇත්තේ 1947 වසරේ අගෝස්තු මාසයේ ය. එහි මිල ශත 60කි. කොළඹ කෙළින් වීදියේ අංක 233 ස්ථානයේ පිහිටි ඩබ්ලිව්.ඒ. වාහිඩ් ස‍හෝදරයේ මේ සඟරාව ප්‍රකාශයට පත් කර ඇත. ලංකාවේ සිංහ‍ලයෙන් පළ වූ රීඩස්ට් ඩයිජස්ට් වර්ගයේ පළමුවැනි සඟරාව මෙය වෙයි. පාඨකයා සඟරාවේ සංස්කාරකවරයා ලියූ හැඳින්වීමයි මේ.

“ලෝකයේ නා නා දේශයන්හි නිකුත් කරනු ලබන පත්‍ර මඟින් පළවන ස්ථිර වටිනාකම ඇති රසවත් ලිපිවල සාරාංශය ගෙන කලක් ප්‍රයෝජන ගත හැකි සේ එක් තැන් කොට දෙන කුඩා පුස්තකාලයෙකි.”

පෙරේරා මහතා “ඩයිජස්ට්” වර්ගයේ සඟරාවක් මුල්වරට සංස්කරණය කර ප්‍රකාශයට පත් කොට පවත්වා ගෙන යෑම පිළිබඳව ඉතිහාසයට එකතුව තිබුණත් ඊට පෙර ගනු ලැබූ එවැනි උත්සාහයක් ගැන ද පුවත්පත් ඉතිහාසයේ සඳහන් වෙයි. ඒ 1872 දී පමණ බටුවන්තුඩාවේ පඬිතුමා විසින් සංස්කරණය කරන ලද “යත ලබ” සඟරාවය. “යත ලබ” යනු යම් යම් තැන්වලින් ලබා ගත් යන තේරුම ගෙන දෙන්නකි. නමුත් එය පෙරේරා මහතාගේ “පාඨකයා” සඟරාව මෙන් සම්පූර්ණ පරිවර්තනයක් නොවීය.

Reader යන වචනය මහාචාර්ය සුචරිත ගම්ලතුන්ගේ ඉංග්‍රීසි මහා ශබ්ද කෝෂයේ අර්ථ ගන්වා ඇත්තේ කියවන්නා; පාඨකයා; කියවන්නා; පාඨකය; පාඨ ග්‍රන්ථය ශුද්ධි පත්‍ර බලන්න; බහු පාඨකයා; යාච්ඤා කරන්නා; යන තේරුමෙනි. Digest යනු සංග්‍රහය; සම්පිණ්ඩනය; අවබෝධය; සංහිතාවඤ ධාරණය; දිරවීම වශයෙන් අරුත් අර්ථ ගන්වා ඇත. Reader’s Digest යනු “පාඨකයාගේ, කියවන්නාගේ සංහිතාව” ලෙස අර්ථ දැක්විය හැකිය. මේ සඟරාව සන්නිවේදන ලෝකයේ ජය කෙහෙළි නැංවූ ලෝකයේ වැඩි ම පිරිසක් කියවීමෙන් වාර්තා තැබූ මාසික සඟරාව පිටපත් දෙකෝටියක් පමණ අලෙවි වෙයි. අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අපට පැවසුවේ මේ සඟරාවට තමාගේ වයස මෙන් අවුරුදු 97ක් සපිරී ඇති බව ය.

“රීඩස් ඩයිජස්ට්” සඟරාවේ නිර්මාතෘ ඇමරිකාවේ ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කළ ඩ්වට් වොලස් (Dewitt Wallace) බවත්, මේ සඟරාව එක් මහා පුරුෂයකුගේ නිර්මාණයක් මෙන් ම දූරදර්ශී, උත්සාහවන්ත, ඥනවන්ත ප්‍රයත්නයක් ලෙස මුළු සන්නිවේදන ලෝකයේ ම ගෞරවාදරයට පත්ව ඇති බව ආචාර්ය ආරියදාසයෝ පවසති.

ඩිවට් වොලස් 1899 නොවැම්බර් 11 වෙනිදා ඇමෙරිකාවේ ඉපිද 1984 ජුනි මාසයේ මිය ගොස් ඇත. තම බිරිය වූ ලීලා බෙල් ඇඩිසන් සමඟ විවාහ ඩිවට් තම පුංචි නි‍ෙවසේ බිම් මහලේ සීතල සිමෙන්ති පොළොවේ හිඳගෙන 1922 දී “රීඩස් ඩයිජස්ට්” සඟරාව සැලසුම් කොට ඇත. අග හිඟකම් මැද ජීවත් වූ ඔවුන් සඟරාවට අවශ්‍ය ලිපි ටයිප් කොට රෝනියෝ මුද්‍රණයෙන් බෙදා හැරීමට ගත් උත්සාහය මුල් පියවර වූහ.

“ඩිවයිට් පුදුම උත්සාහවන්තයෙක්. ඔහු කියවීමට පුදුම සූරයෙක්. අතට හසුවන සෑම සඟරාවක් ම, පොතක් මෙන් ම ගෙදරට ගෙනෙන පාර්සල් ඔතා එන පුවත්පත්වල පිටු පවා කියවා රසයක් ලැබූ ඔහු තමා කැමති ලිපි සාරාංශ කොට පැහැදිලි අකුරින් ලියා පරෙස්සම් කර ගත්තා. සොහොයුරෙක්ගෙන් ණයට ඉල්ලා ගත් ඩොලර් 300 කට රෝනියෝ යන්ත්‍රයක් හා ටයිප් රයිටරයක් මිලට ගෙන සිය බිරිය සමඟ එක් වී පිටු 64කින් යුත් මුල් රිඩර්ස් ඩයිජස්ට් සඟරාව නිකුත් කළා. සඟරාවේ උස අඟල් 7 1/2ක්. පළල අඟල් 5 1/2ක්. 1922 පෙබරවාරි කලාපය පිටපත් 5000ක් මුද්‍රණය කර ග්‍රහකයන්ට තැපෑලෙන් යවා තිබෙනවා. ඩිවට් යුවළ හිතුවාටත් වඩා වාසනාවන්ත වුණා. මේ යුවළ උදෑසන නැගිට අසල තිබූ මහජන පුස්තකාලයට ගොස් අලුත් සඟරා, පුවත්පත් කියවා පාඨකයාට රුචි ලිපි සාරාංශ කළා. එවර පිට වූ සඟරා පිටපත් 7,000 විකුණා ඔවුන්ට ඩොලර් 15,000ක පමණ ආදායමක් ලැබී ඇත.” ආචාර්ය එඩ්වින් ආරියදාස “රිඩර්ස් ඩයිජස්ට්” ඉතිහාසය විස්තර කළේ එලෙසිනි.

මුළු ලෝකය පුරාම පැතිරි ගිය මේ සඟරාව අලෙවිය ලක්ෂ 20ක් පසුකරමින් 1936 වසරේ වාර්තාවක් පිහිටුවමින් ඩිවට් යුවළ සුපිරි ධනවතුන් බවට පත් වූහ. 1938 මේ සඟරාව බ්‍රිතාන්‍ය සංස්කරණයක් ඇරඹීමත් එහි සංස්කරණ 20ක් විවිධ භාෂා 15කින් පළ වී ඇත. දෘශ්‍ය ආබාධිතයන් සඳහා බ්‍රේල් ක්‍රමයට විශේෂ කලාපයක් ද නිකුවීය. මේ සඟරාව කොතරම් ඇමෙරිකාවේ ජනප්‍රිය වී ද යත්, “ඩයිජස්ට් ගම්මානයක් පවා ඇමරිකාවේ ඉදි වී ඇත. ලෝකයේ ජනප්‍රියම පුවත් සඟරාව වන TIME සඟරාවේ මුල් පිටුව ඩිවට් වොලස් හා ලීලා වොලස්ගේ ඡායාරූපයකින් සරසා තිබුණි.

ලංකාවේ සිංහලයෙන් පළ කළ රීඩර්ස් ඩයිජස්ට් වර්ගයේ සඟරාවේ සංස්කාරකවරයා වූ එස්.පී. පෙරේරා කොළඹ ආනන්ද විද්‍යාල‍යේ ගුරුවරයකු ලෙස සේවය කොට ඇත්තේ විදුහල්පති පී. ද ඇස්. කුලරත්න මහතාගේ සමයේ ය. ඇන්.ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, රොබට් ගුණවර්ධන, සෑම් විජේසිංහ (හිටපු පාර්ලිමේන්තු මහලේකම්) බර්නාඩ් සොයිසා, ඔස්මන්ඩ් ද සිල්වා (හිටපු පොලිස්පති) ගුණසේන ද සොයිසා (හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම්) පෙරේරා මහතාගේ ගෝලයන්ය. ඒ මහතා ගේ පුත්‍ර ටාසි විට්ටච්චි ජාත්‍යන්තර මාධ්‍යවේදියෙකි. “ඔබ්සවර්” පත්‍රයේ කර්තෘවරයාව සිටියේ ය. ඔහු ද ආනන්දයේ ආදි ශිෂ්‍යයෙක්. මේ පිය පුතු දෙදෙනා ම ජීවිතයෙන් සමුගෙන ය.

1895 ජූලි 06 වෙනිදා මීරිගම උපත ලැබූ විට්ටච්චිගේ සොලමන් පෙරේරා මහතා යක්කලටත්, මිරිස්වත්තටත් අතර පිහිටි බුත්පිටිය සිංහල පාසලින් මූලික අධ්‍යාපනය ලබා කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් ද්විතීය අධ්‍යාපනය ලැබූ බව මට කීවේ 1982 වසරේ එඩ්වින් ආරියදාස මහතා සංස්කරණය කළ “නවයුගය” පුවත්පතේ විශේෂාංගයක් ලිවීමට ගිය අවස්ථාවේය.

එස්.පී. පෙ‍ෙර්රා මහතා “පාඨකයා” සඟරාව සිංහල පාඨකයාට ප්‍රදානය කළේ “අදහස් නිදහස් ය. සත්‍යය පූජ්‍ය ය.” යන පැරණි පුවත්පත් පිරුළ උසස් ලෙස සලකමිනි. “පාඨකයා” සඟරාවට ඇතුළත් ලිපි මෙසේ වර්ග කළ හැකිය. දේශපාලන ධර්මය - මානසික විද්‍යා - අධ්‍යාපන පර්යේෂණ - නවීන වෛද්‍ය ක්‍රම - නූතන නිෂ්පාදන - සත්ව විද්‍යාව - සෝවියට් රාජ්‍ය ධර්මය - සාහිත්‍ය ලිපි - විචාරක ලිපි - ඉන්දියාවේ තත්ත්වය - පරිණාම වාදය - විනෝදාත්මක ලිපි, ප්‍රහේලිකා, විකට කතා ආදි වශයෙනි. මෙහි පළ වී ඇති ලිපි “ද ඉවිනිං ස්ටෑන්ඩ්”, “නිව්යෝක් වෛයිම්ස්”, පුවත්පත්වලින් මෙන් ම “එයාර් ෆැක්ට්ස්”, “ටුමෝරෝ”, “රීඩර්ස් ඩයිජෙස්ට්”, “නිව්යෝක් ජරනල්”, “ඇමෙරිකන් මැගසින්”, “නේචර් මැගසින්”, “යුවර් ලයිෆ්”, “සයන්ටිෆික් ඇමෙරිකන්”, “ඩෛජෙස්ට් ඔෆ් ඩෛජෙස්ට්ස්” “ද ලිස්නර්” “ස්ටාර් වීක්ලි” ආදි සඟරාවලින් උපුටා ගෙන තිබුණි.

“පාඨකයා” සඟරාවෙන් ගැඹුරු ලිපි මෙන් ම සරල විනෝද කතා ද, පැනපොඩි ද නිරතුරුව ම පළ වී තිබිණි.

“පාඨකයා” සංස්කාරක පෙරේරා මහතා ලේඛකයෙකි. ශබ්ද, ගණිත, ප්‍රයෝගික නියමික, ප්‍රහේළිකා, අභියෝග පැනපොඩි ඔහු ලියූ පොත් අතර වෙයි. චෙස් ක්‍රීඩාවේ සූරයකු වූ ඔහු “ක්ෂාන්ති” නම් ඉංග්‍රීසි නාට්‍යයක් රචනා කළ අතර 1956 කොළඹ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කොට ඇත. පනහ දසකයේ ඔහු ඉංග්‍රීසි - සිංහල ශබ්ද කෝෂයක් සම්පාදනය කළේය. එය Wahids English - Sinhalese Dictionary” නම් විය. රු. 12.50 විශේෂ මිලකට වාහීඩ් සහ සහෝදරයෝ පළ කර තිබුණි. පෙරේරා මහතා ගේ බිරිය වූ නේඩ්රා ගෙන් මේ කටයුතුවලට නිරතුරු සහාය ලැබී ඇත. මේ යුවළට දරුවන් 13ක් ද මී මුනුපුරන් 14 කුද (1984 දී) සිටි බව මට කියා ඇත. එයත් පෙරේරා මහතාගේ වාර්තාවකි.

පෙරේරා මහතා 1963 ‘දැනුම’ ආරම්භ කර ඇත. “සිව් දිගින් දැනුම ගෙන දෙන මාසිකය” නමින් යුත් මේ සඟරාවේ මිල රුපියලකි. එහි පළ වූ ලිපි දේශීය හා විදේශීය සඟරාවලින් හා පුවත්පත්වලින් ලබාගත් ඒවාය. උදාහරණ “කම්කරුවා ලෙඩවන්නේ ඇයි” (රුන්ටෂෙ නම් ජර්මන් පුවත්පතින්) “පොටෝ සාප්පුවෙන් ජනාධිපතිකමට” (වියට්නාම් සඟරාවෙන්), “ඉංග්‍රීසි කොඩිය මෙහි එසෙව් දා” (ලක්මිණි පහන පුවත්පතින්) ගිනි පෑගීම (ටොරොන්ටෝ ස්ටා වීක්ලි සඟරාවෙන්) ලෝ සමුළුව (එවේක් සඟරාවෙනි) මෙස්මර් - සූරයෙක් ද? පල් හොරෙක් ද? (සයන්ස් ‍ෛඩජෙස්ට් සඟරාවෙනි), රෝහල් අනතුරු (එවේක් සඟරාවෙනි) නින්ද (පොපියුලර් මෙකෑනික්ස් සඟරාවෙනි) ගෙදරත් ඉස්කෝ‍ලයෙකි. (ද ආට් ඔප් ටීචිං සඟරාවෙනි) ගොළු බෙලි පෙළපත (සයන්ස් ඩෛජෙස්ට් සඟරාවෙනි). 1953 මාර්තු ආරම්භ කරන ලද ආනන්ද කුමාර විසින් ආරම්භ කළ “පියබස” සඟරාව ඩෛජෙස්ට් සඟරාවකි. ‍එම සඟරාව “ජාතිය මුද්‍රණාලය” මඟින් මුද්‍රණය කර ඇත. මිල ශත 75කි. මෙරට පිටරට උසස් ලේඛකයන්ගේ ලිපිවල සාරාංශ ඇතුළත් කොට පළ කරන මාසික සඟරාවකි. “සිංහල ජාතිය” පුවත්පතේ ප්‍රධාන කර්තෘකම මෙන්ම “පියබස” සඟරාව ද සංස්කරණය කළ ආනන්ද කුමාර මහතා ද තම සඟරාවට ක්‍රිස්ටියන් සයන්ස් මොනිටර් සඟරාවට කැමරන් ගිප් විසින් ලියූ “ලියුමක් ලියන හැටි ඔබ දන්නෙහි ද?” රීඩස් ඩයිජෙස්ට් සඟරාවේ පළ වූ පර්ල් බක් ලියූ “ගොළු දරුවා” කෙටිකතාවේ පරිවර්තනය ද, බඹරැන්දේ සිරි සීවලී හිමියන් විසින් ලියූ “ඇදහීම ද? විමසීම ද?”, ජේ.ඒ.සී. බ්‍රව්න්ගේ රාජ්‍යය හා පුද්ගලයා ජෝර්ජස් වර්ප්‍රේට් හා එඩ්වින් මුලර් ලියූ “ධනය හා ශ්‍රමය” ජේ.ඩී. රැට්ක්ලිප් ගේ “ශල්‍යකර්මයේ අභිනව සීමාව”, සිරිල් බී. පෙ‍ෙර්රා විසින් ලියූ අභිරහස කෙටිකතාව ද, තෙන්න‍කෝන් පියතිලක විසින් “මහා භාරත කතුවරයා” ඇලන්සන් පියදාස ලියූ කටුකරෝසන (කෙටිකතාව), රත්නපාල විතාන ලියූ “වැහි කබාය” කෙටිකතාව ද, ලෝරි යෝක් අර්ස්කයින් ලියූ “හිම බල්ලා”, රූත් තෝමස් ගේ “කුරුල්ලකුගේ පෙම් සටන” ජෝර්ජ් කෙන්ට් ලියූ “එවැනි පොත්හලක්”, යන ලිපි සාරවත් කෙටිකතා ඇතුළත් කොට තිබුණි.

ආනන්ද කුමාර මහතා තම “පියබස” සඟරාවේ වාසනාවන්තිය නම් සත්‍ය සිනා කතාවක් ලියා තිබුණි.

පුරා විද්‍යාඥයකු හා විවාහ වුණු සුප්‍රසිද්ධ ගත් කතුවරියක අගතා ක්‍රිස්ටි තම සැමියාත් සමඟ බොහෝ කලක් වාසය කෙළේ බැග්ඩෑඩ්හී ය. ඇගේ සැමියා ඒ ප්‍රදේශයේ පුරාවිද්‍යාව පිළිබඳ වැදගත් දේ සෙවීමෙහි යෙදී සිටියේය. දිනක් මේ ගත්කතුවරිය ඇගේ සැමියා ගැන පුරාජේරුවක් වශයෙන් මෙසේ කීවාය.

“පුරාවිද්‍යාඥයකු තම සැමියා වශයෙන් තෝරා ගත් ගැහැනිය මෙලොව වසනා ඉතාමත් වාසනාවන්තියයි. ඔහු ‘පුරාණ දේවල ඇති වටිනාකමත්, වැදගත්කමත් දත් නිසා මහලු වියට පත්වන තම බිරියට ද ඉතා හොඳින් සැලකිලි දක්වයි.”

ආනන්ද කුමාර මහතා ලේඛකයෙකි. සිංහල “ජාතිය” කර්තෘකමින් ඉල්ලා අස් වූ ඔහු 1954 “දිනමිණ” පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ සේවය කළේය. ඉන්පසු චීන තානාපති කාර්යාලයේ භාෂා පරිවර්තක ධුරයට පත් විය. ඔහුගේ ජීවන තොරතුරු අප්‍රකටය. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි සෝමසිරි කස්තුරිආරච්චි මහතා අපට පැවසුවේ ආනන්ද කුමාර මහතාගේ මුල් නම රූබන් දැකුම්පිටිය බවත්, අනගාරික ධර්මපාලතුමා “ආනන්ද කුමාර” නමින් වෙනස් කළ බව ය. වාමාංශික අදහස් දැරූ පොත් කිහිපයක් ම ලියා ඇත. බා ජින් නම් චීන ලේඛකයාගේ ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් චීන නවකතාව “පවුල” නමින් සිංහලයට පෙරළුවේය.

ආනන්ද කුමාර මහතා විසින් කැප්ටන් මැරියට් ගේ මාස්ටමන් රෙඩී “යහපත් යාත්‍රිකයා” ද, ලුෂුන් වැනි පොත් පරිවර්තනය කර ඇත.

ආනන්ද කුමාර විසින් සංස්කරණය කළ “පියබස” ඉදිරියට පවත්වා ගෙන ගියේ වෝල්ටර් සිරිමාන්න මහතා විසිනි. ඔහුගේ සහකාර සංස්කාරක වූයේ ඉතා භද්‍ර යෞවනයේ සිටි සිරිල් බී. පෙරේරා ය. මේ කාලයේ සිරිමාන්න මහතා “සිංහල ජාතිය” පත්‍රයේ ප්‍රධාන කර්තෘ ලෙස ද සිරිල් බී. පෙරේරා එම පත්‍රයේ කර්තෘ මණ්ඩලයේ ද සේවයකළේය. “පියබස” සඟරාවේ දේශීය හා විදේශීය ලේඛකයන්ගේ ලිපි හා පරිවර්තන පළ වී ඇත. එහි ද සිනහා කතා ඇතුළත්ව තිබුණි.

වෝල්ටර් සිරිමාන්න විසින් “පියබස” කලාප කිහිපයක් සංස්කරණය කිරීමෙන් පසු ලේක් හවුස්හි “ජනතා” කර්තෘ මණ්ඩලයට බැඳුණි. ඔහු ප්‍රහේලිකා හැදීමේ සූරයෙකි.

ඉන්පසු ඩයිජස්ට් වර්ගයේ සඟරා හා පුවත්පත් රැසක් බිහි වූහ. “මනහර” (සංස්: මු. අරුක්ගොඩ/රිචඩ් විජේසිරි), මුතුහර (සංස්: බන්දුල පද්මකුමාර), තුලන (සංස්: එඩ්වින් ආරියදාස), “සිව් දෙස” (සංස්: දයාසේන ගුණසිංහ/ඇල්බට් වැලිවිට), “විදර්ශි” (සංස්: සුනේත්‍රා රාජකරුණානායක), “සයුරි” (සංස්: ගුණසිරි සිල්වා), “විශ්ව” (සංස්: සුනිල් ආරියරත්න), “සමුදුර” (සංස්: බන්දුල පද්මකුමාර/නිහාල් පීරිස්/නිශානි දිසානායක, භාරතී වීරසිංහ) අද දක්වා වසර කිහිපයක් පවත්වාගෙන එන “ධ්‍යාන” (උපදේශක සංස්: සුනන්ද මහේන්ද්‍ර/ සංස්: රෝහණ වෙත්තසිංහ) යනු ඒ අතරින් කිහිපයකි.

 

Comments