හෙළබසට වැඩ වැඩූ අමරසිරි ගුණවඩූ | සිළුමිණ

හෙළබසට වැඩ වැඩූ අමරසිරි ගුණවඩූ

මාතර බ්‍රෝඩ්වේ ශාලාවේ දී මහා කවි ආනන්ද රාජකරුණා ගේ සභාපතිත්වයෙන් පැවති ප්‍රථම කවි සම්මේලනයේ දී මුල් තැන දිනා “මාතර කවියා” ලෙස ගෞරව නාමයෙන් සම්මානයට පාත්‍ර වූයේ ඔහු ය. පසු කලෙක ඔහු “මහතොට ලකර” නමින් මාතර ගැන නන් විරිතින් නන් ලකරින් බැඳුණු අගනා කාව්‍යයක් රචනා කළේය. මේ ඉන් කවි දෙකකි මේ.

උතුරු දිගට හිත්තැටිය ද කුඩාව යන දෙගම් වරය

දකුණු දිගට ලකඹ මෙවුල් බරවන් ඉන්දී සයුරය

ඉඳුරු දිගට වෙහෙර දුව ද මැද්දේවත්ත ද පවරය

වරුණ දිගට වල්ගම මඩිහ ද මායිම් වේ මෙපුරය

මේ කවියා‍ නම් අමරසිරි ගුණවර්ධන හෙවත් අමරසිරි ගුණවඩු ය. උපැන්නේ එන ආකාරයට අමරසිරි ගුණවඩු දොනු සවිමන් ය.

අමරසිරි ගුණවඩු කවියාණන් ගැන අපූරු සටහනක් තබන හෙළ හවුලේ අැත්තකු වූ සවිමත් ගුණතිලක ගුණවඩුවන්ගේ පසුබිම මෙසේ (“පූජිත ජීවිත” සිව්වන ‍වෙළුමේ) දක්වා ඇත.

“සසරින් ලද වාසනා ගුණ ඇති වැ කිතු වසින් එක් දහස් නවසිය නවයේ මාර්තු නව වැනි දින (1909.03.09) මාතරැ මැද්දෙවත්තේ දී රුහුණට මැණිකක් බඳු වැ, හෙළයට පහනක් වැනි වැ මෙලොවින් මුල් සුසුම නඟා - ගෙනැ ‘ඈ’ හඬින් ඔවුන් කන පිනා - ලු යැ, අමරසිරි ගුණවඩු බිලිඳු කුමරුවෝ. අමරසිරි ගුණවර්ධන, දොන් ජුවානිස් ඔවුන්ගේ පියාණෝ යැ. මෑණියෝ සෙනෙවිරත්න දෝන බේබි හාමිනේ යැ. මේ මා පිය දෙපළට දරුවෝ දස දෙනෙක් වූහ. එයින් පස් දෙනෙක් ගෑනු දරුවෝ යැ. පිරිමි දරුවන් පස් දෙනා ගෙන් අමරසිරි ගුණවඩුවෝ වැඩිමල් හු යැ. මවු පසින් අමරසිරි ගුණවඩුවෝ බැදිගම ඇන්.ඒ. වීරසිංහ (නිකලස් වීරසිංහ) කවියාණන් ගේ මුනුපුරු කෙනෙක් වෙයි. එපමණක් නොව රැ. තෙන්නකෝන් කවිසුරාණන්ගේත්, කුමාරතුඟු මුනිදසුන්ගේත් අතවැසි තන්හි සිටි දොණු දේවිඳු මොහොට්ටි සූරීහු ගුණවඩුවන්ගේ සොහොවිරියක් වන ඇග්නස් තමාරාවන් හා යුග දිවියට පත් හ.”

අමරසිරි ගුණවඩු කුමරුවා මාතර සාන්ත මරියා බාලිකා විදුහලින් ඉගෙනුම ලබා මාතර සරවේසස් විද්‍යාලයෙන් ද්විතීය අධ්‍යාපනය ලබා කේම්බ්‍රිජ් සීනියර් සමත්ව සිංහල, පාලි, සංස්කෘත, ඉංගිරිසිය ද මැනවින් ඉගෙන ගෙන ඌරුගමුවේ ධම්මානන්ද හිමියන්ගෙන් සංස්කෘත සිලෝ කට පාඩම් කොට ඒවා මිහිරි හඬින් ගායනා කිරීමට උපන් හපනෙකු වූ බව පැවසේ. බැදිවල රත්නපාල නාහිමි හා පුවක්දණ්ඩාවේ වීරසිංහ යන විද්වතුන්ට ඔහුට නෑකමක් තිබුණි. කුඩා කල සිට ම කවි තැනීමට සූරයකු වූ ගුණවඩුවෝ තරුණ වියේ ලියූ “මහතොට ලකර” මඟින් මාතර නගරය ද එහි විසූ ගිහි පැවිදි ප්‍රභූන් ද ගැන මුළු රටට ම හඳුන්වා දීමට සමත් වී ඇත. මේ කෘතිය ගැන සවිමන් ගුණතිලකයෝ මෙසේ දක්වති.

“සිරිලකැ රුහුණ කිරි පැණියෙන් පිනා ගිය වග කවර දාත් පළ වීයැ. නිරිත දිග ගිරි හෙල් අතරින් රූරා බහින රිදී දිය දහරින් පිරි වරෙකැ සොම්නසින් උතුරා යන, අනෙක් වරැ මෙත් සිලිලින් දෙ ගොඩ සිසිල් කරමින් ඇදී යන නිල්වලා නදිය මේ පෙදෙස සරසමින් සොඳුරු සයුර බලා දිවැ සිපැ ගනී.

මේ පුරේ මාතර ය. කෙ බඳු මාතර ද?

 

නිල් කවා ගිරි මිලීන වී ගලා එනා ලෙදින්

නිල් මිණී පැහැ දිසී පිරි සිරී යොවුන් බඳින්

නිල් වලා කුළා තුලා දුලා ගලා කඳින්

නිල් වලා නදී තොමෝ ගලා බසී පුරේ මැදින්

 

අමරසිරි ගුණවඩුවන් ජයන්ත වීරසේකර වියතාණන් හමු වී ඇත‍්තේ මංගල උත්සවයකදීය. මේ හමුව කොතෙක් දුර ගියා දැයි කිවහොත් ගුණවඩුවන් කොළඹ පැමිණි පසු නවාතැන් ගත්තේ කොළඹ මරදානේ ඩිබර්ගස් පාරේ (අද ජයන්ත වීරසේකර මාවත) වීරසේකරයන් සමඟ ය. ගුණවඩුවන් එහි හුදෙකලාවේ මිහිරි හඬින් කවි කියනු ජයන්ත වීරසේකරයෝ අසා සිටියෝ ය.

ගුණවඩුවන්ගේ ජීවිතයට නව මඟකට යොමු කිරීමට අඩිතාලම දැම්මේ වීරසේකරයෝය. එතැන් සිට තම මාර්ගෝපදේශකයා වූ වීරසේකරයන් ඔස්සේ මුනිදාස කුමාරතුංග වියතාණන් හඳුනා ගත් පසු ගුණවඩු තම ගුරුවරයා කර ගත්තේ කුමරතුඟුන් ය. කුමරතුඟුවන් ඇරඹූ හෙළ හවුළ ආරම්භ කරන විට එහි පෙරමුණ ගත් ත්‍රිමුර්තිය වූයේ රැපියෙල් තෙන්න‍කෝන්, ජයන්ත වීරසේකර හා අමරසිරි ගුණවඩු ය. කුමාරතුංග හා ජයන්ත වීරසේකර යන හෙළ හවුලේ පතාක යෝධයන් මිය ගිය පසු එහි පෙරමුණ ගත් ගුණවඩුවෝ ‍රෝග පීඩාවලින් පිරි ජීවිතයක් ගත කළ ද තමා තුළ සාහිත්‍යයට භාෂාවට තිබූ ආදරය නම් අබ මල් රේණුවක තරමවත් අත් නොහළේය.

කලක් ගුණවඩුවන් පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සහායකයකු ලෙස සේවය කළේ සරසවි ගුරු කුලයේ මදි පුංචිකම් මධ්‍යයේ ය. මේ ගැන ගුණවඩුවන් ගැන “ගත්කරු හමුව” ලියූ අමුණුගම තිලකරත්න මෙසේ දක්වා ඇත.

“පුංචි මිනිහෙක්, පණ්ඩිත කම පිළිබඳ මුළු සිරිලක යසගොස පිහිට වූ අපේ පේරාදෙණි සරසවියේ මහතෙද මහිම ඇති ඇදුරන්, මහ ඇදුරන් අතරට වැදී වර්ෂ කිහිපයකට පෙරදී පෙරළියක් කළේය. ඔහුට සිංහල හෝ ඉංග්‍රීසි හෝ කිසි ම උපාධියක් තිබුණේ නැත. එහෙත් උපාධියක් නැති කිසිවකුට කථිකාචාර්ය ධුරයක් පිරිනැමීමට විශ්වවිද්‍යාලය පනතින් අවසර නැතත්, මොහුට සිංහල අංශයේ කථිකාචාර්ය ධුරයක් දෙනු ලැබුයේ නිකම් ම නොවේ. සද්ධර්ම රත්නාවලිය, කුස ජාතකය, හංස සන්දේශය, එළු අත්තනගලු වංශය, පූජාවලිය, බුදුගුණ අලංකාරය, ගුත්තිලය, පැරැකුම්බා සිරිත ආදි පැරණි පොත පතට නව පණ පෙවූ මොහු පේරාදෙණියට අවශ්‍ය විය. එදා උපකුලපති ඔහු බඳවා ගත්තේ ය. එහෙත් වැඩේ වැරදිණි.

ගුරුකුලයේ අනික් මොළ තම කල්ලියට නොගැළපෙන ‘සුළු ඇත්තකු’ බඳවා ගැනීමෙන් තමන්ට කළ අවමානය ගැන විරෝධය පළ කළ නිසා ඔහු ටිකෙන් ටික කොන්විණි. ඔහු කියන අන්දමට උපාධි අපේක්ෂක ශිෂ්‍යයන්ට මුණ නොගැසෙන මුල්ලක ඔහු තබා තැබිණි. සිසුන්ට යමක් කමක් කරන්නට, අමුතුවෙන් යමක් කමක් හිතන්නට බැරි තනතුරක් ලැබිණි.

සිංහල අංශයේ පර්යේෂණ සහායක වශයෙන් පරණ පුස්කොළ පොත් ඔහු මුළුල්ලේ ම අත ගෑවේ ය. භාරගත් කාර්යය කෙළවරක් දක්වා කිරීමට ඇති කැක්කුම නිසා ඔහු පුරා වසර 4 ක් වෙහෙස නො බලා මෙය කළේය. තමන්ගේ හැකියාවන්ගෙන් පලක් නොගෙන නිෂ්ඵල වැඩක යෙදීමත් නිෂ්ඵල වැඩක් බව දැනගෙන දිගට ම එය කර ගෙන යෑමත් ඔහුගේ හෘදය සාක්ෂියට එකඟ නොවී ය.”

සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘවරයාව සිටි මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි විසින් අමරසිරි ගුණවර්ධන ගැන “දිනමිණ” පුවත්පතට (1976.07.14) ලියූ ලිපියක ලක් සරසවියේ සිටි කාලය මෙසේ මතක් කර ඇත්තේ මෙසේය.

ගුණවර්ධන මහතා කලක් ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ පර්යේෂණ සහායක වශයෙන් අගනා මෙහෙවරක් කළේය. එවකට අපට ද ඒ මහතුන් ඇසුරු කරන්නට අවස්ථාව ලැබුණේය.

උතුරු මධ්‍ය පළාතේ මහ දිසාපතිව සිටි සී.ඇල්. වික්‍රමසිංහ මහතුන් (අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සීයා ය.) විසින් ප්‍රසිද්ධ තරගයක් මඟින් එකතු කරන ලද උතුරු මැද පළාතේ සිරිත් විරිත් රැසක් පරීක්ෂා කොට බලා ඒවා මුද්‍රණයට සකස් කිරීමෙහිදී අතිශයින් ම උපකාරී වී ඇත්තේ ගුණවර්ධන මහතා ය.

අප මිත්‍ර අමරසිරි ගුණවර්ධන වියතාණන් ගේ අගය දත්තවුන් අතර කොළඹ පදිංචි සත් ගුණවත් ආර්.පී. විජයරත්න දොස්තර මහතා ද මාතර ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරික හරිශ්චන්ද්‍ර සහෝදර මහත්වරු ද පැරණි සාහිත්‍යධරයන් ගේ වතගොත මැනවින් දැන කියා ගෙන ඒ සියල්ලක් අගය කරන්නා වූ වෙ.වී. අභයගුණවර්ධන මහතා වැන්නෝ ද සිටිත්.”

අමරසිරි ගුණවඩුවන් අප දැක ඇත්තේ ඔහු ගැන වියතුන් කී කතා හා විටින් විට පුවත්පතක පළවූ ඡායාරූප වලින් පමණි. අමුණුගොඩ තිලකරත්නයන් දුටු ජීවමාන ගුණවඩුවන් ගැන මෙසේ වර්ණනා කොට තිබුණි.

“අමරසිරි ගුණවඩු දොනු සවිමන් මහතා පසුගිය දී (1964 දී පමණ) මට මුණ ගැසිණි. සිහින් කෙසඟ සිරුරක් ඇති ඔහු සිනාසෙන විට අවංක හදවතකින් නැ‍ඟෙන පිරිසිදු සුහඳ හැඟුම් සමඟ රන්දතකින් විහිදෙන පැහැය එකට කැලතී අමුතු ම බලවේගයකින් මා හදවත ඔහු වෙත බැඳුණා සේ මට දැනිණි. ඔහු ප්‍රියංකර පුද්ගලයෙකි. ඔහු ශ්ලෝක, කවි, එක දිගට ම කියා ගෙන, කියාගෙන යයි. පැරණි පොත්පත්වල යෙදුම් උපමා හැම එකක් ම ඔහුට කටපාඩම් ය. ඔහු කථාවලට නම් හැබෑ ම රුසියෙකි. පොඩියක්වත් ව්‍යාකරණය නොවරද්දන ඔහු ව්‍යාකරණය රකින්න යැයි කියමින් බර බර යෙදුම් සහිත, අමාරුවෙන් ගෙතූ වාක්‍ය වලින් කථා කරන්නේ නැත. පොඩි ඈයින්ට වුවත් වැටහෙන ලිහිල් වචනවලිනි ඔහු කතා කරන්නේ.”

මුනිදාස කුමාරතුංග මහතා සමීපව ඇසුරු කළ ගුණවඩුවෝ, ඒ මහා වියතා සිය දරුවකු මෝටර් රිය අනතුරකට මුහුණ පෑ අවස්ථාවේ දරුවා ආරෝග්‍ය ශාලාවට ගෙන ගොස් ඇතුළු කොට අම්බලන්ගොඩ භාෂා රැස්වීමකට ගිය බවත් ටිකක් ප්‍රමාද වීමට හේතු වශයෙන් එම කරුණ සඳහන් කොට “දරුවාට වඩා ජාතිය ලොකුයි” යනුවෙන් ප්‍රකාශ කළ බවක් ගුණවඩුවේ අමුණුගොඩ තිලකරත්නයන්ට පවසා තිබුණි.

“වනිතා රත්නය” කාව්‍ය සංග්‍රහය ගුණවඩුවෝ රචනා කළෝ 17 වැනි වියේ දී ය. එහි එන කවි දෙකකි මේ.

 

සිරි ලක රජවලියැ හෙබ පින් සිරිනි සොඳ

නිරි ඳුන් දවස දිලි පුරඳර පුරය ලෙද

ගිරි වා දනවු බද විදු මිණි නිදන බඳ

සිරි බර පුවක් දණ්ඩාවේ උපත ලද

සමිඳු රුවන් පල් බැදිගම පදැසුරුව

නොමඳු තෙ බ ස කවි නළු රස දනැ සුරුව‍

මිගිදු සිරිත් දවු රිපු කවි ගජ සරුව

කවිඳු වීරසිහ ඇන්.ඒ. මුනුබුරුනුවන් මවුපසින් අමරසිරි ගුණවඩුවන් බැදිගම ඇන්.ඒ. වීරසිංහ (නිකලස් වීරසිංහ) කවියාණන් ගේ මුනුබුරු කෙනකු වන බව සයිමන් ගුණතිලක (සිංහල ශබ්දකෝෂයේ සහාය සකසු; හිටපු විදුහල්පති) පවසති.

අමරවඩුවන් ලියූ “සුව දුක” නම් කාව්‍ය සංග්‍රහයට පසුබිම් වූයේ ගිරවකුගේ පලා යෑම හා එයින් හටගත් සිත් තැවුල කියවෙන කතාවකි. “පිළියම” උපහාසාත්මක කාව්‍යයකි. මේ කාව්‍යයට කුමාරතුංගයන් කවට පෙරවදනක් ලීවේලු. සුව දුක, පිළියම, පෙරැළිය (ගැදි) රසවිට (පැදි) මඩොල් දූවේ හැටි (විචාරාත්මක පොතකි) සිදත් සඟරාවෙහි තද්ධිත කාණ්ඩය දක්වා මුනිදාස කුමාරතුංග වියතාණන් කළ විවරණය සම්පූර්ණ කරමින් අනතුරු කොටසට සැපයූ සිදත් විවරණය ද හංස සන්දේශය වැනි කාව්‍ය ග්‍රන්ථයන්ට කළ සාරගර්භ විවරණ ග්‍රන්ථ ද, 1 වැනි ප්‍රමාණයේ සිට 5 වන ප්‍රමාණය සඳහා “සිංහල රාජ මාර්ගය” ද, “සුළඟ” වැනි කාව්‍යය ද ගුණවඩුවන්ගේ සාහිත්‍ය කරණයේ මං සළකුණු ය.

ගුණවඩුවන් විසින් ලියූ එහෙත් පළ නොකළ ග්‍රන්ථ කිහිපයක් ගැන සවිමන් ගුණතිලකයෝ දක්වති. තිරිසන් උයන, (මහකව) මහ වියෝව (මහකව) පින් කම, පෙළහර (නළුව), පර‍‍ලෝ හමුව, සිය ලොව, වන සරුව, වලප, අමර පැදිය මේවායි.

ගුණවඩුවන් විවාහ වූයේ 1935 අ‍ගෝස්තු 05 වන දාය. ඇය චාර්ලට් පෙරේරා නම් වුවත් විවාහ රෙජිස්ටරයේ “චන්ද්‍රලතාවෝ” වූවාය.

කුමරතුඟු මුනිදස් මහා හෙළයාණන්ගේ නායකත්වයෙන් ඇරඹි “හෙළ හවුල” රට පුරා පතළ කිරීමට දෙසුම් පැවැත්වූ එදා පසු පෙළේ සිටි අනු නායකයන් අතර ජයන්ත වීරසේකර, රැ. තෙන්නකෝන් සමඟ ගුණවඩු, ජයමහ වෙල්ලාල, අබිරම් ගම්හේවා, චාරුලස් සිළු (චාර්ල්ස් සිල්වා) වෙ.ම. පෙරේරා, එඩී ප්‍රනාන්දු පෙරමුණ ගත්හ. කුමරතුඟුවන්ගේ වියෝවෙන් පසු හෙළ හවුලේ නායක ධුරය ජයන්ත වීරසේකරයන්, කිවිසුරු රැ. තෙන්නකෝන් ද, කෝදාගොඩ සිරි නැණලු (කෝදාගොඩ ඤාණාලෝක හිමි) ඉසූළූ ඉක්බිති එහි නයු (නායක) පදවිය හිමි වූයේ අමරසිරි ගුණවඩුවන්ට ය. ඒ යුගය ගැන සවිමන් ගුණතිලකයෝ මෙසේ දක්වති.

“මරදානේ දිරිබරග මාවතේ (දැන් ජයන්ත වීරසේකර මාවතේ) ජයන්ත වීරසේකර (සංගීතවේදි සේන වීරසේකරයන්ගේ පියා) නිවෙස හෙළ හවුලේ ඇත්තන් හමුවන තැනෙකි. රැකියාව සඳහා දින පතා මෙන් කොළඹට ඇදෙන ගුණවඩුවෝ කොළඹින් ද යහළු පිරිසක් ඇති කොටැ ගත් හ. ගිලන් වූ විටැ කොළඹැ දී සොයා ගිය කෙනෙකි දොස්තර ආර්.පී. විජේරත්න මහ වෙදැදුරාණෝ. ඔවුන් හා ඇති කොටැ ගත් සැබැඳියාව ගුණවඩුවෝ දිවි තෙක් නො හළ හ. ජ්‍යෝතිෂ විශාරද විජයසිරි විද්‍යාරත්න සූරීහු තව එක් මිතුරෙකි. දැනුමට දැනුමත්, නුවණට නුවණත් පැහැසෙන්නා සේ ඔවුන් ගේ බැඳුම ද දෙදෙනා ගේ වියෙන් මුත් නොනවතින එකක් වී යැ. තෙවැන්නා කේ.ඒ. ආරියදාස සූරීහු ය. ඔහු එ නමින් වූ පොත් සමාගමයේ අධිපතිහු ය.

ගුණවඩුවන් ගේ වැඩියක් මැ පත පොත පළ කෙරුණේ ඔවුන් ගේ පැහැරුයෙනි. කොළඹැ දී ඇසුරෙහි ඇලුණු තව ද බොහෝ අය වූ හ. එයින් ජයන්ත වීරසේකරයනුත්, රැ. තෙන්න‍කෝන් කිවිසුරාණනුත් ගුරු තන්හිලා ගත් හ. ගුණවඩුවෝ.”

අමරසිරි ගුණවඩු (1957) ලියූ කුමරතුඟු මුනිදස් මහ හෙළයාණන් ගේ අපදානය වූ “මහ හෙළ වත” ගුණවඩුවන් සදහටම සිහිපත් කරවීමට නඟා ලූ මහඟු ස්මාරකය යැයි මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි වියතාණන් සටහන් කර ඇත. මේ මහ ගත ලිවීම ගැන ගුණවඩුවන් එම ගතෙහි හඳුනවුව (හැඳින්වීමේ) මෙසේ දක්වයි.

“හෙළ බස ඇස්වෙනුයේ යම් මැ තැනෙකැ ද එ තැනැ මුනිදස් නම ද ඇස්වෙන පමණට ඒ පළ යැ අද නම එ තරම් පළට ගිය ද මුනිදසුන් පිළිබඳ තතුත් සැබැවින් මැ එතරම් පළට ගියේ ද? නො ගියේ මැ යැයි සිතම් හ. මහ වියතකු, මහ කවියකු, මහ වියරණ ඇජරකු, මහ දෙසුවකු, මහ වාදුවකු, මහ හෙළයකු හැටියට මුනිදස් හු ඉතා පතළ යැ. එ තෙකින් මැ නියම මුනිදස්හු නම් පළ නො වෙති. එබැවින් ඔවුන් යම් තම් හෝ හඳුනන්නාහු ඉමඳ මැ යැ. මෙ වත පැවෙනුයේ නියම මුනිදසුන් අඳුන්වන්නටත් පළ කරන්නටත් පතා යැ. එ මැ යැ මෙහි පරමරුත!’

ගුණවඩුවෝ මහා ධනවතකු නොවුවද හැකි ඉහළ ම ආකාරයෙන් ආගන්තුක සත්කාරයේ අග්‍රේශ්වරයෙකි. මාතර සිට කොළඹ කුමරතුංගුන්ගේ සෙවණට යන විට ඉස්තරම් ම රුහුණේ කිරිත්, පැණිත් ගෙන ගිය ඔවුන් මාතර මැද්වදෙත්තේ ඔහුගේ “අමර ගිරියට එන සැමට රස මසවුළෙන් සංග්‍රහ කොට අනතුරුව කිරියෙන් පැණියෙන් රස ගැන්වීමට, අමරගිරි පතිනිය (ගුණවඩු මහත්මිය) සැදී පැහැදී සිටියා ය. ඒ අතර විශේෂයක් තිබිණ. පාණදුර ‘සෙව‍ෙණ’ සිට මාතරට එන කුමරතුඟු පඬිවරයා නවාතැන් ගත් එක මැ හෙවණ අමරගිරි යයි. එහි දී හීලට කුමරතුඟුවන් මනාප කිරිබත පිළිගැන්වීමට අමරගිරි පතිනිය සැදී පැහැදී සිටියා ය.

කුමරතුඟුවන් සමඟ වසර 12 ක් ද, ජයන්ත වීරසේකරයන් සමඟ වසර 19 ක්ද සමීපව ඇසුරු කළ ගුණවඩුවන් හමු වී 1964 දී ඔහුගෙන් සමු ගත් සංවේදී අවස්ථාව ලේඛක අමුණුගොඩ තිලකරත්න සටහන් කර තිබුණේ මෙසේ ය.

“කුඩා කල සිට ම භූමිතෙල් පහනෙන් රෑ තුන්යම පොත් කියවීමේ ප්‍රතිඵලයක් වශයෙන් දැන් සිය දෙනෙත් අඳුරු ඡායා පටලයකින් වැසී ඇති බව ගුණවඩු මහතා පැවසුවේ මට මගේ පාසල් සමය සිහිගන්වමින් නෙත්කොන් උණු කඳුළෙන් තෙත් කරවන තරම් ශෝකස්වරයකිනි. අපේ පැරැණි පොතට නව පණ පොවා, රන් මිණි මුතු මේවා යැයි හඳුන්වා දුන් සාහිත්‍යධරයකුට, ලස්සන කව් කී, උගතුන් ප්‍රිය කරන කව් පබැඳි උපන් හපන් කවියකුට, දක්ෂ විවේචකයකුට, හුරතල් දරුවන් දෙදෙනකුට ආදරණීය පියකුට ආයුබෝවන් කියා මා පිටවන විටදී ද මගේ නෙත් කොන්වල කඳුළු ධාරාව වියැළී නොතිබිණි.”

කුමරතුඟුවන් ‍ෙග් හද ගුණවඩුවන් කෙරෙහි ඇදී ගියා දැයි, ගුණවඩුවන් අමතා ලියැවුණු මේ පැදියෙන් මොනවට පැහැදිලි වෙයි.

 

තෙරුවන සරණයි ම - සිත් ගෙයින්

කොටසක් අත් කැරැ - ගත් මුදල් නොදී

ගුණවඩන නමේ අරුත එයින්

හඟවන්නාණෙනි වක් බැවින් මිදී

 

අමරසිරි ගුණවඩුවන්ගේ අන්තිම මොහොත හෙළ හවුලේ ඇතුළතාණ සවිමන් ගුණතිලකගේ මේ වදන් හොඳට ම සෑහේ යයි හඟමි.

“මහ ලොකු වැඩ කළ ද, මහ තැන් ගත ද ඉහළින් වැජැඹුණ ද ගුණවඩුවෝ සිහින් සිරුරු ඇත්තෝ යැ. එහෙත් හිත දැඩි යැ, මහත් යැ. කෙසඟ සිරුර හැමදා වැලැඳ ගත් නමුත් වැඩෙහි පළෙහි නො පැකුළුණ හ, ඔහු. කිසෙහි මැළි නො වූ හ. කරට ගත් වැඩේ සපුරා ලීමේ අදිටනින් මැ යෙදුණා හ.

අවසන් සමය කරා එත් මැ හිසත් ඇසත් වඩ වඩා වද දෙන්නට වී යැ. ඔවුනට, ගිලන් බවින් තොර වීම අපහසු මැ කාරියක් වූයේ යැ. සරසවි බැල්ම නොමඳ වැ ලැබැ සිටි ඔවුන් ගේ මියෙහි හඬ හීන් වී යැ. වදන දුබල වී යැ. හිතැත්තන් දෙස යොමු කළ නෙත් කඳුළින් පිරී ගියේ යැ. සසරෙහි අනියස බව ඔවුනට තේරුම් ගියා සේ යැ. එහෙත් පර හට දයාවෙන්, හෙළ තෙ රුවනට බැතියෙන් කළ මහ මෙහෙය සිතට දුක් කැඳවන්නට ඉඩ නොදුන් වග නම් නිසැක යැ. 1977 ජූලි 13 වන දා තිඹිරිගෙහි දී නඟා ගත් සුසුම් වැළෙහි අවසන් සුසුම මාතරැ මැද්දෙවත්තේ ඔවුන් තනා ගත් අමරගිරේ දී හෙළා නම නො මැරෙන සේ තබා මෙ ලොවට නෙත් පියා ගත් හ.”

ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්

අදහස්