වර්ණ රේඛා­ක්ෂ­ර­යෙන් ජීවි­තය සිත්තම් කරන කාව්‍ය­ක්කා­රයා | සිළුමිණ

වර්ණ රේඛා­ක්ෂ­ර­යෙන් ජීවි­තය සිත්තම් කරන කාව්‍ය­ක්කා­රයා

මහෞෂධයන් සඳුන් ගැටයක් අත දරා උපන්නාක් මෙන් හේ තෙළිතුඬක් මිටමොළවාගෙන උපන්නෙක් විය! එහෙයින්ම හේ තමා ජන්මයෙන් උරුම කරගෙන ආ නිසඟ හැකියාව පීඩිත ජන ජීවිතය වර්ණ රේඛාක්ෂරයෙන් ගෙත්තම් කිරීමට යෙදවූයේය. ඒ සැම සිතුවමක්ම භාවමය කාව්‍ය වැනි වූ නිසා දෝ මෙරට වෙසෙස් මඟක් ගත් විචාරකයකු වූ සිරිල් බී. පෙරේරා මෙරට බිහි වූ ‘විරෝධකාල්පනික සිතුවම් ශිල්පියා’ ලෙස ඔහු නාමකරණය කළේය. ‘මිහිර’ පුවත්පතින් ළමා චිත්‍ර ශිල්පියකු ලෙස ඇරඹූ ගමන ඇත්ත, ලක්බිම, මව්බිම ආදි විවිධ පුවත්පත්වල විශේෂාංග සිතුවම් නිර්මාණ ශිල්පියකු දක්වා ඔහු ඔසවා තැබීය. අනතුරුව ඔහු අතින් පොත් පිටුවැසුම් හා බතික් කලාවටද වෙසෙස් නිමැවුම් එකතුවක් දායාද විය. මේ වන විට චිත්‍ර ප්‍රදර්ශන අටක් පවත්වා ඇති මේ අපූර්ව සිත්තරා වෙනෙකෙක් නොව; කොල්වින් සෙට්ටිනායකය. ‘විරෝධකාල්පනිකයා’ නමින් එළඹෙන 22 වන දා සිට 25 වන දා දක්වා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී සිය 9 වැනි සිතුවම් දැක්ම ජනගත කිරීමට ඔහු සූදානමින් සිටියි. මේ සටහන ඒ වෙසෙසි අරුමැසි සිත්තරාට ගෞරවයෙනි.

කොල්වින් සෙට්ටිනායක හැදී-වැඩුණේ දකුණු කළුතර සරණ පාරේ පිහිටි කුඩා නිවෙසකය. දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූයේ කොල්වින්ය. ඥානෝදය සිංහල විද්‍යාලයෙන් අකුරු කළ හෙතෙම උසස්පෙළ හැදෑරීමට පොතුපිටිය මහ විදුහලට යන්නේය. 70-80 දශකය නියෝජනය කළ වේදිකා නාට්‍ය නිෂ්පාදකයකු වූ බෙනට් සෙට්ටිනායක ඔහුගේ වැඩිමහල් සොහොයුරා විය. කොල්වින් ලියූ ‘ඉසුරු බර සිටු පුතෙක්’ නම් නාට්‍ය පිටපත කරළියට ගෙනාවේ ඔහුය (මේ නාට්‍යයේ ප්‍රධාන නළුවා වූයේ ධර්මසිරි බණ්ඩාරනායකය). බාප්පා ඔවුන් කුඩා කල පටන්ම පන්සිය පනස් ජාතක පොත, යසෝදරාවත, වෙස්සන්තරය... ආදි පොතපත නිතර හඬ නඟා කියවූ අතර, ඒවා ආශාවෙන් අසා සිටීමට මේ දෙසොහොයුරෝ බෙහෙවින් ආශා කළෝය. මෙනිසාම මිතුරන් හා එක්ව බෞද්ධ සාහිත්‍ය පතපොත කියවීමට ඔවුහු පෙලඹී සිටියහ. ලෝවැඩසඟරාව, අමාවතුර, බුත්සරණ, සැලලිහිණි සන්දේශය, ගුත්තිලය, මහාවංසය... ඈ නොයෙක් කෘති ඒ අතර විය. පොතපත ඇසුර සඳහා හොඳ පුස්තකාලයක් එකල කළුතර නගරයේ විය. කළුතර බෝධිය ඔවුන් නිතර ආ-ගිය තැනකි. කොල්වින් පන්සල් චිත්‍රවලට බෙහෙවින් ඇලුම් කළේය. සිය නිසග හැකියාව දියුණු කරගැනීමට මේ පන්සල් චිත්‍ර ඔහුට මහත් සේ බලපෑවේය.

කුඩා කල පටන්ම දරිද්‍රතාවේ පතුලටම ඇදවැටුණු ජීවිතයක් ගත කළ නිසා දෝ ඔහුගේ ජීවන දහම බවට පත් වන්නේද මෙකී පීඩිත ජීවිතය විය. දුක දුකක් සේ ගෙන හඬනු වැලපෙනු වෙනුවට, දුක සනාතන සත්‍යයක් සේ හැඳින ඒ මඟින් අපිස් ජීවිතයේ ගැඹුර ස්පර්ශ කිරීමට හේ උත්සාහ කළේය. එනිසා කඨෝර රළු ප්‍රකාශන වෙනුවට හේ සිය වර්ණ රේඛාක්ෂර මඟින් මේ ජීවන දහම මනාව සිතුවම් කළේය. ඒ බව ඔහුගේ වර්ණ රේඛා තැවරුණු සිතුවම් අධ්‍යයනය කරන විට මනාව වැටහේ. එනිසා මෙම සිතුවම් කියවීමට සුඛදුක්ඛයථාවාදය යන යෙදුම යෝග්‍යයැයි හඟි මි.

කුඩා කල පටන් පුවත්පතකට සිතුවම් ඇඳීමට කොල්වින් නොයිවසිල්ලෙන් පසු විය. සිය පාසල් අවධියේදීම ඒ අවස්ථාව ළඟා කරගැනීමට ඔහුට වාසනාව උදා විය. ඒ, ලේක් හවුස් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළ ළමා පුවත් පතක් වූ ‘මිහිර’ පුවත්පත මඟිනි. පූර්ණ පිටු දෙකක් කොල්වින්ගේ තෙළිතුඬට වෙන් කර දීමට තරම් එවක ‘මිහිර’ කතුවරයා ඔහුගේ සිතුවමට ආසක්ත වී සිටියේය. පසුකලෙක ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර විසින් මාර්ක් ඇන්තනී ප්‍රනාන්දුට (‘සිංහබාහු’ නාට්‍යයේ සිංහයාගේ චරිතයට මුලින්මපණ දුන් නළුවා) ඔහුව හඳුන්වාදීමත් සමඟ ‘ලස්සන’ නම් චරිතකතා පුවත්පතට සම්බන්ධ වීමට කොල්වින්ට අවස්ථාව උදා වන්නේය. ඇන්තනී එහි කතුවරයා විය. පසුකාලීනව ඔහුගේ අතිජාත මිත්‍රයා වන තිලකරත්න කුරුවිටබණ්ඩාර කොල්වින්ට මුණගැසෙන්නේද එහිදීය. ‘සිතුවම කාව්‍යයක් විය යුතුය’ යන අදහස කොල්වින්ට එන්නේ මේ ඇසුර නිසාමය. ‘සිතුවම යනු හුදු සටන් පාඨයක් ම නොවේ. එය කාව්‍යාත්මක ප්‍රබන්ධයක් විය යුතුය. ඒ මඟින් රසිකයා ප්‍රකෝපකාරි නොවන ගැඹුරු අවබෝධයකට රැගෙන ගොස්, පරිකල්පන හැකියාව නංවාලිය යුතුයැ’යි හේ කල්පනා කළේය. බෞද්ධ චින්තාවෙන් ඔපවත් වූ සාම්ප්‍රදායික කලාවේ පෙනෙන වර්ණ රේඛා හැඩතලවල නම්‍යශීලි බව සිය ජීවිතානුභූතියෙන් ගෙන භාවකාව්‍යක් මෙන් ගෙත්තම් කරන්නට හේ පෙලඹෙන්නේ මෙනිසාය.

කොතරම් අගහිඟකම් පැවතියද කොල්වින් කිසිවකුට අත පෑවේ නැත. එසේම තම සිතුවම් මිල කිරීමටද හේ කිසිදිනෙක උනන්දු නොවූයේය. ඉඩ ලැබුණු විට කුරුවිටබණ්ඩාර හාල්තුනපහ රැගෙන සිය මිතුරා බැලීමට යෑමට අමතක කළේ නැත. ඒ තම මිතුරාගේ මේ පැවැත්ම පිළිබඳව ඔහු දැන සිටි බැවිනි. දිනක් “ඔහොම ඉඳල බෑ අයිසේ! චිත්‍ර ටිකක් විකුණගන්න විදියකුත් කල්පනා කරන්න ඕනෑ”යැයි කුරුවිට යෝජනා කළද ඊට එකඟ වූයේ කොල්වින් නොවේ. මේ නිසාම කුරුවිටබණ්ඩාර චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමට ඔහු එකඟ කරවාගත්තේය. ඔහුගේ ප්‍රථම සිතුවම් දැක්ම 1974දී කොළඹ සමුද්‍ර ගැලරියේදී පැවැත්වීමට කටයුතු යෙදෙන්නේ ඒ අනුවය.

මිනිසුන් විඳින නොයෙක් දුෂ්කරතා, කරදර, හිරිහැර, අසාධාරණකම්, පුරුෂ මූලික සමාජයක ස්ත්‍රීන්ට විඳීමට සිදු වන ගැහැට හේ සිතුවමට නැඟීය. ඊට සරිලන සිතුවම් ශෛලියක් බිහි කිරීමට හේ සමත් විය. ඔහුගේම වචනයෙන් පවසන්නේ නම් “ජීවිතය ගැන හිතුවාම සමහර වෙලාවට හැකිළෙනවා; සමහර වෙලාවට ඇදෙනවා. මේ දෙක අතර තියෙන්නේ සතුටයි - අසතුටයි. දුකේදී අපි බයට හැකිළෙනවා. සතුටේදී අපි ඊට ආශා වෙලා ඇදෙනවා. ඔය ගතිය තමයි මගේ චිත්‍රවල මූලික ලක්ෂණය වුණේ. ඒ නිසා මම අදත් හිතන්නේ කලාවේ පරමාර්ථය විය යුත්තේ මානවහිතවාදය කියලයි. එතනදී මම වෙළෙඳ චිත්‍රයට යන්නේ නැහැ.” අදත් කොල්වින්ගේ අනන්‍යතාව කොපි කිරීමට හැකි අයකු බිහි වී නැත්තේ, පීඩිතයකුගේ සැබෑ ජීවිතය ඇසුරෙන්ම මේ සිතුවම් ජීවය ලැබූ නිසාම විය යුතුය. අද බොහෝ දෙනා සිතුවම් අඳින්නේ ඒ වෙනුවෙන්ම සකසාගත් පරිසරයක හිඳය. එහෙත් කොල්වින් සිතුවම් අඳින්නේ තම නිඳන කාමරයේය. ඒ සඳහා මිල අධික ඇක්‍රලික් සායම් ඔහුට අවශ්‍ය නැත. මෙනිසා ‘ඇත්ත’ පත්තරයට අවැසිව තිබූ සිත්තරා ඔහුම විය.

එහි විශේෂාංග සිතුවම් ශිල්පියා ලෙස ගත කළ කාලය ඔහුගේ ජීවිතයේ අමරණීය මතකයන් විය. ‘ඇත්ත’ පත්‍රයේ කතුවරයා වූ සිරිලාල් කොඩිකාර “කොල්වින් මේක ඇඳපන්. මේ කාටූන් එක මේ විදියට ඇඳපන්”යැයි කවර දාක වත් කොල්වින්ට කියන්න ගියේ නැත. පුවත්පතට අවශ්‍ය දේ හේ ඉවෙන් මෙන් දැන සිටියේය. එවක ‘ඇත්ත’ පුවත්පතේ සේවය කළ සයිමන් නවගත්තේගම ‘අයියාර්සීකාරයා’ (පසුව ‘සුද්දිලාගේ කතාව’ නමින් ලියවෙන්නේ මේ කතාවය) නමින් කතාවක් ලියුවේය. එහි සිතුවම් ශිල්පියා වූයේ කොල්වින්ය. මේ ඇසුර සයිමන් හා කොල්වින් අතර අපූරු මිත්‍රත්වයකට පෙරළී තිබිණි. කොල්වින්ගේ රේඛාවේ සියුම් භාවපූර්ණ කාව්‍යමය හැඩය සයිමන්ද හැඳින ගෙන තිබිණි. ‘අයියාර්සීකාරයා’ එතෙක් පළ වූ චිත්‍රකතා අතර නවමු ආකෘතියක් රැගත් වෙනස් මාදිලියේ නිර්මාණයක් විය. එනිසාම එය බෙහෙවින් ජනප්‍රිය චිත්‍රකතාවක් බවට පත් විය.

විශ්වවිද්‍යාලයකට නොගිය කොල්වින්ට තක්සලාව බවට පත් වූයේ මේ අපූර්ව මිත්‍රසමාගමය. ඔවුන් අතර යට දැක්වූ මිතුරන්ට අමතරව සිරිල් බී. පෙරේරා, ධර්මසිරි බණ්ඩාරනායක... ඈ නොයෙක් දෙන වූහ.

සිතුවම් ශිල්පයෙහි අග පැමිණ දියතම ජය ගත් මෙරට සිත්තරුන් ඇත් නම් ඒ කිහිප දෙනෙකි. ඒ බොහෝදෙනා සිය නිසග හැකියාව මොනවට පෑ නිසාම ලොව හැඳිනගත්තා විනා; පරම්පරාවෙන් පැමිණි නිසා හෝ ආයතනගතව විධිමත් අධ්‍යාපනයක් ලැබූ නිසා හෝ එලෙස බැබළුණා නොවේ. එසේම දියත ජය ගත හැකිව සිටි සිත්තරුන් මතු නොවී සැඟව ගිය අවස්ථාද මෙරට නැතුවා නොවේ. කොල්වින් සෙට්ටිනායක නම් මේ අරුමැසි කව්‍යක්කාර සිත්තරාද හැඳින්විය හැක්කේ එවැනි අයකු ලෙසය. ඔහු මෙරටින් ලෝකයට යා යුතු සිත්තරෙකි.

මෙරට බොහෝ කලා විචාරකයන් -විශේෂයෙන්ම සිරිල් බී. පෙරේරා- ඔහු හඳුන්වාදී ඇත්තේ ‘විරෝධකාල්පනිකයකු’ ලෙසය. එනිසාමදෝ කොල්වින් මෙවර තම සිතුවම් දැක්ම සඳහාද එකී නාමකරණයම යොදාගෙන තිබේ. එහෙත් ඔහුගේ සිතුවම් දෙස වඩා සුපරීක්ෂාකාරිව බලන විට පෙනෙන්නේ වර්ණ රේඛාවෙන් මොනවට ගෙත්තම් කළ භාවමය කාව්‍යයයන්ය. නෙක වර්ණයන් තෙළිතුඬට ගෙන රේඛාක්ෂරයෙන් ජීවිතය නමැති තෙරක් නොපෙනෙන සාගරයේ නොයෙක් චලනයන් හේ සිත්තම් කරයි. හේ වර්ණ රේඛාවෙන් මේ අනර්ථකාරී දේශපාලන ක්‍රමය තුළ පීඩාවට පත් මනුෂ්‍ය ජීවිතය අවධාරණය කරයි. එනිසා කෙනකු මේ තුළ විරෝධකාල්පනිකයකු දැකීමද වරදක් නොවේ. එහෙත් ඊට තවත් ළංව බලන්නේ නම් අපට ඉන් එහාට ගිය කාව්‍යමය විදර්ශනාවක් දැකගත හැකිය.

අවිඥානය තුළ සඟවාගත් මර්දිත අපේක්ෂා මානවයා සිහින තුළින් අත්විඳින බව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් හෙළි කරයි. මෙකී මනෝමය සන්දර්භය හෙළි කළ සිත්තරුන් ලෙස අදත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් හදාරන්නේ සැල්වදෝර් ඩාලිලා ගැන පමණය. එහෙත් කිසිදු විශ්වවිද්‍යාලයකට පය නොතබා ජීවිතය නමැති තක්සලාවෙන් මානව සිතුම්-පැතුම් මොනවට ගෙත්තම් කරන කොල්වින්ලා ගැන ඔවුන් නොදන්නා තරම්ය. ඩාලිට යන්න බැරි බොහෝ දුර මේ ඉන්ද්‍රජාලික කාව්‍යමය සිතුවම් ශිල්පියා ගමන් කර ඇත. එහෙත් ඒවා අධ්‍යයනය කරන්නෝ කවුරුද? ශාස්ත්‍රීය කුහකකම විසින් අද අපේ මඟ බොහෝ සෙයින් වියවුල් කර, පරගැති චින්තනයක වහලුන් බවට අප පත් කර තිබේ. මේ පිළිබඳ සංවාදයක් වහා ඇවැසිය. නැත් නම් ෆූකෝ කීවාක් මෙන් ධනේශ්වර බටහිර දැනුමේ අධිපත්‍යයට යටව වහලකු වනු විනා ඉන් මිදිය නොහැකි වේ.

කොල්වින් මේ මහපොළොවෙන් අපට උරුම වූ දැනුම උකහාගනිමින්, තමාටම අනන්‍ය, එකිනෙකට වෙනස් ශෛලීන්ගෙන් සිතුවම්කරණයට නවමු හැඩයක් යෝජනා කරයි. එනිසා මේ අපූර්ව සිතුවම් දැක්ම දෑසින් බලා විඳගන්න එළඹෙන 22 වන දා සවස 04:30ට ලයනල් වෙන්ඩ්ට් කලාගාරයට ගොඩ වන්නැයි ඔබටත් ආරාධනා කර සිටිමු.

 

අදහස්