හෙළ බසට, සිත්තම් කලා­වට නව පණක් දුන් වියතා: සඳ­දස් කෝප­ර­හේවා | සිළුමිණ

හෙළ බසට, සිත්තම් කලා­වට නව පණක් දුන් වියතා: සඳ­දස් කෝප­ර­හේවා

හෙළ හවුලේ දැනට දිවමන්ව සිටින ජ්‍යෙෂ්ඨතම සාහිත්‍යවේදියා වන සඳදස් කෝපරහේවාණෝ මෙරට සිටින සිංහල, ඉංග්‍රීසි, පාලි ආදි භාෂාවන්හි ප්‍රවීණතා දැක්වූ මහා පඬිවරයෙකි. සිංහල සාහිත්‍යය, චිත්‍ර කලාව, බුදු දහම ගැන ග්‍රන්ථ සම්පාදනය කළ මේ පඬිවරයා කවියකු, කලා විචාරකයකු, පරිවර්තකයකු ලෙස බොහෝ ඇසූ පිරූ තැන් ඇති දක්ෂ ගුරුවරයකු වශයෙන්ද ප්‍රකටව සිටියේය.

1923 ජනවාරි 23 වැනිදා මාතර පඹුරනදී උපත ලැබූ චන්ද්‍රදාස කෝපරහේවාණන්ගේ පියා වූයේ තංගල්ලේ විසූ චාල්ස් විලියම් කෝපරහේවාය; මව ලීලා අභයගුණරත්නයි. ඕ ‘සිළුමිණ’ පත්‍රයෙහි ප්‍රථම විශේෂාංග කර්තෘවරයා වූද 1934 ‘දිනමිණ’ වෙසක් කලාපයේ සංස්කාරකවරයකු වූද, සිළුමිණට ‘ස‍ීයා’ නමින් අර්ථවත් ලිපි ලියූ චාල්ස් අභයගුණරත්න මහතාගේ සොහොයුරියකි.

කුඩා කලම සිය පියා මිය ගිය හෙයින් පැනනැඟුණු දුෂ්කරතා මධ්‍යයේ වුව ඉගැනීමට හා පොතපතට දැක්වූ ඇල්ම අත්හළේ චන්ද්‍රදාස නොවේ. එනිසාම පඹුරන ශාරිපුත්‍ර විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව ශිෂ්‍යත්වයක් දිනා මාතර සාන්ත තෝමස් විදුහලට ඇතුළු වීමේ වරම් හිමි කරගන්නට හේ සමත් විය. චන්ද්‍රදාස ශිෂ්‍යයාගේ සිත හෙළ හවුලට ඇදී යන්නේ 1940දී පමණ කුමාරතුංග මුනිදාස පඬිවරයාණන් මාතරදී පැවැත්වූ දෙසුමකට සවන් දීමෙනි. තම පියාගේ නම් වෙනස හා බැඳුණු පැරණි මතක මෙසේ සිහිපත් කරන්නේ සඳදස් කෝපරහේවාණන්ගේ දෙටු පුත් කොළඹ සරසවියේ මහැදුරු සඳගෝමි කෝපරහේවා මහතාය:

“මාතරදී තාත්තා ඇසුරු කළ අය බොහෝ දෙනකු අද අප අතර නෑ.‍ ආර්. පල්ලෙවෙල, කු.බේ. ජයස‍ූරිය ගැන තාත්තා නිතර සඳහන් කරනවා. කුමාරතුංග පඬිතුමා තාත්තාගේ නම (චන්ද්‍ර-දාස) ‘සඳ-දස්’ යනුවෙන් වෙනස් කළ පසු තාත්තා සිංහලයෙන් ලිව්වේ ‘සඳදස් කෝපරහේවා’ නමින්. එහෙත් ඉංග්‍රීසියෙන් ලියද්දී ‘C. Coperahewa’ නම භාවිත කළා. ජයන්ත වීරසේකර, අමරසි‍රි ගුණවඩු, වෙල්ලාල ජයමහ වැනි හෙළ හවුලේ මුල්කාලීන වියතුන් වගේම අරීසෙන් අහුබුදු, සුනිල් සාන්ත, අලවු ඉසි සැබිහෙළ, දි.වි. රිචඩ් ද සිල්වා, කුමරසිහි කිත්සිරි වැනි වියතුන් සමඟ එකතු වෙලා වැඩ කළ ආකාරය තාත්තා නොයෙක් වර අපට පවසා තිබෙනවා‍. පසු කාලයක අනඳපිය කුඩාතිහි, ගුණපාල සේනාදීර වැනි හෙළ හවුලේ වියතුන් තාත්තා හමු මට නිවෙසට පැමිණි බව මට මතකයි.”

කෝපරහේවාණන්, මාතර ශ්‍රී ධර්මවංශ, කෝදාගොඩ ඤා‍ණාලෝක යන පඬි හිමිවරුන් වෙතින් පාලි භාෂා දැනුම ලැබූහ. ඔහුගේ ගුරු වෘත්තිය ඇරඹෙන්නේ මාතර වෙලේගොඩ සුදර්ශන විදුහලේ පාලි හා ඉංග්‍රීසි ගුරුවරයකු ලෙසිනි.

“තාත්තාට 1951දී ගල්කිස්සේ සාන්ත තෝමස් විදුහලට එන්න ලැබෙන්නේ එහි ගුරුවරයකු වූ පින්තු ජයවර්ධන මහතා නිසා. ඔහු මාතරදී තාත්තාගෙන් හෙළ බස උගෙන තිබෙනවා. ඉන් පසු තාත්තා අරීසෙන් අහුබුදු මහතාත් සාන්ත තෝමසයට සම්බන්ධ කරගන්නවා. තාත්තා සමඟ ඒ විදුහලේ ඉගැන්වූ අරීසෙන් අහුබුදු, විනී විතාරණ යන සියලු දෙනාම ඒ කාලයේ නැවතී සිට තිබෙන්නේ දෙහිවල මුහුදුබඩ ෆෙයාලයින් පාරේ නිවෙසක” මහාචාර්ය සඳගෝමි අපට පවසා සිටියේය.

කෝපරහේවාණන් සමඟ සාන්ත තෝමස් විදුහලේදී සමීපව සිටි ගුරුවරයකු වූ මහාචාර්ය විනී විතාරණ අප හා පැවසුවේ, ඔහු විද්‍යාලයේ සිටි ජනප්‍රියම ගුරුවරයා ලෙස කැපී පෙනුණු බවය:

“ඔහු කොතරම් දක්ෂ ගුරුවරයකුද යත්: විදුහල්පතිතුමා උපාධිධාරි ගුරුවරුන්ගේ වැටුපම උපාධියක් නැති කෝපරහේවාණන්ට ලබාදුන්නා. ඒ ඔහුගේ දැනුම හා ඉගැන්වීමේ දක්ෂතාව සලකලා. ඉසිඹු ලබා සිටි ඔහුට මෑතකදී ගල්කිස්සේ සාන්ත තෝමසු විදුහලේ සම්මාන ආදි ආචාර්යවරයකු ලෙස උත්තමාචාර ලැබුණත් රෝගි තත්ත්වය නිසා සහභාගි වූයේ නෑ. මට ඒ සම්මානය හිමි වූවත් මට වඩා වසර ගණනක් විදුහල‍ට උසස් විශිෂ්ට සේවයක් කළ (1951–1983) සේවය සලකා බැලීමේදී දිවමන් සම්මානය හිමි විය යුතුව තිබුණේ ඔහුටම පමණයි” මහාචාර්ය විනී විතාරණ පවසයි.

විදුහලේ සිංහල, චිත්‍ර කලාව, බුදු දහම ඉගැන්වීමෙන් පමණක් සෑහීමකට පත් නොවූ කෝපරහේවාණෝ චිත්‍ර කලාව ගැන සිංහලයෙන් පොතපත ලියූහ. ආර්.එච්. විලින්ස්කිගේ A Miniature History of European Art කෘතිය ඇසුරෙන් ‘යුරෝපා කලාවේ ලුහුඬු ඉතිහාසයේ සිංහල පෙරැළිය හා යුරෝපා කලා හෙළ කලා සසඳුව’ කෘතිය 195දී ප්‍රකාශයට පත් විය.

මහාචාර්ය සඳගෝමි තම සැමරුම් අවදි කළේ මෙලෙසිනි:

“1950 දශකය වැනි අවදියක යුරෝපා කලා ඉතිහාසය හා කලා විචාරය අරබයා එවැනි පොතක් මුල් වරට සිංහලයෙන් පළ වීම ඉතා වැදගත්. තාත්තා සිසුන් අතර ජනප්‍රිය ගුරුවරයකු ව‍ූ බව සාන්ත තෝමස් විදුහලේදී ඔහුගෙන් ඉගෙන ගත් බොහෝ දෙනකු මා සමඟ කියා තිබෙනවා. පාඩමක් පටන් ගැනීමට පෙර කතාවක් කියාදීම හෝ කළුලෑල්ලේ සිතුවමක් ඇඳ සිසුන්ගේ අවධානය දිනාගැනීම තාත්තාගේ සිරිතක් වුණා. තාත්තා පුරුද්දක් ලෙස චිත්‍ර ඇන්දේ නැති වුණත් ඇතැම් පොත්වල තාත්තා ඇඳි චිත්‍ර සටහන් දක්නට ලැබෙනවා. ඒ කාලයේදී තාත්තාගෙන් ඉගෙනගත් මුල්කාලීන සිසුන් අතර ගාමිණී ෆොන්සේකා, රංජිත් විජේවර්ධන, මහාචාර්ය ජී.එල්. පීරිස් ආදීන් සිටිනවා.

“මගේ අම්මත් ගුරුවරියක් වුණා. තාත්තාත් අම්මාත් 1976 දී පමණ මාදිවෙල තලපත්පිටියේ නිවෙසක් තනා පදිංචියට එනවා. ඒ කාලයේ කෙත් වතු බහුල මාදිවෙල පරිසරයට තාත්තා ගොඩක් ආසා කළා. ‘මාදිවෙල’ යන නමේ අරුත මා මුලින්ම දැන ගත්තේත් තාත්තාගෙන්. එය කෝට්ටේ රජ දවස දිවෙල් ගමක් වූ නිසා ‘මහ-දිවෙල’ යන්න මාදිවෙල වූ බව තාත්තා නොයෙක් වර සඳහන් කර තිබෙනවා. ළමා කාලයේ මල්ලිත් (දැන්, කොළඹ සොයිසා රෝහලේ වෛද්‍ය සනත් කෝපරහේවා), මමත් තාත්තා සමඟ උදෑසනම අප පදිංචිව සිටි නිවෙසේ සිට ගල්කිස්සට පාසල් ගිය හැටි මට තාම හොඳින් මතකයි. තාත්තා අප සමඟ බසයේ ඉදිරි අසුනක වාඩි වී පොතක් බලනවා. නිවෙසේ විවේක කාලයේදීත් තාත්තා බොහෝ විට පොතක් අරගෙන කියවනවා; නැත් නම් ලියනවා. පොත් කියවන විට ඒ පොත්වල තමන්ට අවශ්‍ය කරුණුවලට නොයෙක් සටහන් තැබීමටත් තාත්තා පුරුදුව සිටියා. තාත්තාගේ පොත් ගුලේ වැඩි තැනක් ලැබුණේ කුමාරතුංග මහතාගේ සහ හෙළ හවුලේ පොත්වලට. ඒ වගේම කලාව පිළිබඳ ලියවුණු ඉංග්‍රීසි පොත් රැසක්ද තාත්තා ළඟ තිබුණා. ඒ නිසා මමත් ළමා වියේ සිටම පතපොත කියවීමට යොමු වුණා.”

කෝපරහේවාණන්ගේ ධර්ම ඥානය හා භාෂා ඥානය විදහා දැක්වෙන කෘතියක්්‍ ලෙස දෙවන වීදාගම මෛත්‍රෙය හිමිපාණන්ගේ ‘දහම් ගැටමාලය’ හෙළි පෙහෙළි කරමින් 1958 වසරේ සම්පාදිත ‘දහම් ගැටමාලා විවරණය’ දැක්විය හැකිය. මහාචාර්ය එස්.ජී.එම්. වීරසිංහයන් මේ කෘතිය ගැන මෙසේ පවසා තිබිණි:

“පසළොස් වන සියවස්හි සිරි ලකැ වැජඹි මහ පඬිරුවනක් වන දෙවන වීදාගම මහමෙත් හිමිපාණන්ගේ ‘දහම් ගැට මාලාව’ අමුතුමැ මඟක් ගත් කාව්‍ය ග්‍රන්ථයෙකි. ප්‍රහේලිකා නියායෙන් රචිත මේ කෘතිය කාව්‍ය ග්‍රන්ථයක් වශයෙන් පමණක් නොවැ දාර්ශනික ග්‍රන්ථ රචනාවක් ලෙසද උසස් තැනක් ගනී. මුලින් සඳහන් මේ ගත් රුවන සඳහා සඳදස් කෝපරහේවා වියතාණන් විසින් සපයන ලද මනස්කාන්ත ශාස්ත්‍රීය විවරණයෙකි මේ.”

දහම් ගැට මාලාවේ, ඉංග්‍රීසි පරිවර්තනයක්ද මෙතුමන් අතින් සිදුව ඇති අතර, ඔහු 2006 වසරේදී ‘නවගමු දේවාලයේ පත්තිනි ඇදහිල්ල’ නම් කෘතියද 2010දී පත්තායමේ ලේකම් කිවිඳුන්ගේ ‘වියොවග රත්න මාලය’ ද සකස් කොට විවරණයක් සහිතව පළ කොට ඇත.

කුඩා කාලයේම මිය ගිය තම පියාණන් ගැන ‘පිය වියොව’ නමින් පැදි පොතක්ද ලියූ හෙතෙම තම මයිලණුවන් වූ බම්බලපිටියේ වජිරාරාමයෙහි වැඩ විසූ පඹුරන මෙ‍ත්ත්‍යෙය හිමිපාණන්ගේ ගුණ සමරමින් (1995) ‘මෙතේ හිමි සමරුව’ ලීවේය. සර් එඩ්වින් ආර්නෝල්ඩ්ගේ Light of Asia සිංහල පරිවර්තනයත්, තේලකටාහ ගාථා සිංහල පරිවර්තනයත් ළඟදීම මුද්‍රණය වීමට නියමිතය.

සඳදස් කෝපරහේවා වියතාණන්ගේ සමකාලීන මිතුරකු වන ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග විද්වතාණෝ මෙසේ අප සමඟ පැවසූහ:

“මම කෝපරහේවාණන් හඳුනාගත්තේ ජයන්ත වීරසේකරයන්ගේ අභාවයෙන් පසු පැවැත්වූ හෙළ හවුලේ රැස්වීමකදී. ඒ කාලයේ එතුමා විශිෂ්ට හා ජනප්‍රිය ගුරුවරයකු වශයෙන් ගල්කිස්සේ සාන්ත තෝමස් විද්‍යාලයේ ඉගැන්වූ, සිංහල හා ඉංග්‍රීසි භාෂාවල ප්‍රවීණතා දැක්වූ, චිත්‍ර ශිල්පයට විශේෂත්වයක් තිබූ විශාරදයෙක්.

“ඒ කාලයේ එතුමාත්, මාත් නවාතැන් ගත්තේ තෝමස් පාසලේම ආචාර්යවරයකු ව සිටි භාෂා විශාරද අරීසෙන් අහුබුදුවන් පදිංචිව සිටි දෙහිවල ෆෙයාලයින් පාරේ යෝද නිවෙසක. අපි එහි බෝඩිංකාරයෝ. එතැන සරස්වතී මණ්ඩපයක්! ඇතැම් දිනවල සුනිල් සාන්ත, ඩග්ලස් අමරසේකර, කිත්සිරි කුමාරසිංහ, ලියනගේ ජිනදස්, පින්තු ජයවර්ධන, වෙල්ලාල ජයමහ, රැ. තෙන්නකෝන්, වෛද්‍ය ශිෂ්‍යයකු වූ නන්දදාස කෝදාගොඩ වැනි ඇසූ-පිරූ තැන් ඇති විශාරදයන් එකතු වනවා. සාහිත්‍ය-වාද කෙළවරක් නැහැ. අපේ බුද්ධි මණ්ඩලය සු‍පෝෂිත වුණේ මේ සරස්වතී මණ්ඩපයෙන්. මම එතැනදී දැක්ක දෙයක් තමයි කෝපරහේවාණන්ට තිබූ සංවේදි හදවත. ඔහු ඉක්මනින් ‍කම්පා වනවා. ඔහු මට වඩා වසර කීපයකින් වැඩිමහල්. ඔහුගේ චිත්‍ර ශිල්පි මිතුරා වූයේ කලා ශිල්පි වසන්ත කුමාරයන්ගේ සොහොයුරු සෑම් ඩෙප්. සෑම් සහ සඳදස් කතා කළේ සිතුවම් කලාව ගැන. අප නවාතැන් ගත් ඒ යෝද නිවෙසේ කෙරෙන විවාදවලදී ඇතැම් විට එකා පරයා එකා අදහස් දක්වන විට ඔහු ඒවා දෙස බලා සිටියේ උපේක්ෂාවෙන්.

“කෝපරහේවාණන් හා අහුබුදුවන් අතර විශාල වෙනසක් තිබුණා. සිංහල හා ඉංග්‍රීසි පිළිබඳ විශාරදයකු වුවත් කෝපරහේවාණන් හැම විටම කතා කළේ ඉංග්‍රීසියෙන්. අහුබුදුවන්ද ද්විභාෂා උගතකු වුවත් කතා කළේ ශුද්ධ සිංහලයෙන්; හුදු හෙළයෙන්. පාසල් නිවාඩුවට කෝපරහේවාණන් මාතර ගමට යන්නේ ට්‍රන්ක පෙට්ටියක පොත් පුරවාගෙන. අප මේ වැඩේට හිනා වෙන කොට එතුමා එයට ප්‍රතිචාර දක්වන්නේ අව්‍යාජ සිනා රැල්ලකින්. ‘කොළඹ ඉඳලා මාතරට හෝ කතරගමට හෝ යන කොට ඕනෑ කෙනකුට කවියකු වෙන්න පුළුවන්’ එතුමා කියන විට මම කියනවා: ‘මම මාතර කොපමණ ගිහින් තියෙනවද! ඒත් මට කවියෙක් වෙන්න බැරි වුණා’ කියලා විහිළුවට කියනවා. එතුමා මාතරට ඒ තරම්ම ආදරෙයි. අවසාන වශයෙන් කිව යුත්තේ ඔහු අප්‍රමාණ මිනිසකු බවයි.”

තම පියා ඉංග්‍රීසි, පාලි වැනි භාෂා ගැනද ප්‍රාමාණික දැනුමක් තිබූ නමුත් හෙළ බසට මහත් සේ ආදරය කළ බවත්, හොඳ මතකයක් පැවති නිසා දෙසුම්වලදීත්, කතා-බහේදීත් සිංහල, ඉංග්‍රීසි පොත්වලින් බොහෝ කොටස් මතකයෙන් කීමේ ශක්තිය ඔහුට පැවති බවත් මහැදුරු සඳගෝමි පවසයි. තාත්තාගේ අත්අකුරු එතරම් පැහැදිලි නැති බැවින් බොහෝ අවස්ථාවල ඔහු ලියූ දෙයක් මුද්‍රණයට යැවීමට ප්‍රථම වෙනත් කෙනකු ලවා පිටපත් කරවාගන්නට සිදු වූ බවද, තමා පාසල් සිසුවකු ලෙස ඔහුගේ ඇතැම් පොත් පිටපත් කිරීම හේතුවෙන් සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාසය, පද බෙදීම වැනි කරුණු ගැන අවබෝධයක් කුඩා වියේදීම ලබන්නට හැකි වූ බවද ඔහු අපට කීවේය.

සිංහල, ඉංග්‍රීසි, පාලි යන ත්‍රිත්ව භාෂා සංකලනයෙන් පරිප‍ූර්ණ සඳදස් කෝපරහේවා වියතාණෝ 2015 වසරේ ගොඩගේ ජාතික සාහිත්‍ය උලෙළේදී දිවමන් සම්මානයෙන්ද පිදුම් ලැබූහ. දිවිම‍ඟෙහි අනූ හත් වැනි විය කරා පියමං කරමින් සිටින ඒ පඬිවරයාණන්ට අපිදු නිදුක් නීරෝගි දිගාසිරි පතමු!

අදහස්