රස වින්දනයක් ඇති අය ජූරි මණ්ඩලවලට පත්වනවා නම් හොඳයි | සිළුමිණ

රස වින්දනයක් ඇති අය ජූරි මණ්ඩලවලට පත්වනවා නම් හොඳයි

‘අච්චාරු සහ වෙනත් කතා’ නම් කෙටි කතා සංග්‍රහය පළ කරමින් සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසි ඇගේ ප්‍රථම නවකතාව වන ‘මකරානන්දය’ මේ වසරේ (2019) හොඳම නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානයත්, විද්‍යෝදය සාහිත්‍ය සම්මානයත් හිමි කර ගත්තේ ය. ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ නවක නිර්මාණ දායකත්වය වෙනුවෙන් ද ඕ සම්මානයට පාත්‍ර වූවාය. ඈ නමින් විරාජිනි තෙන්නකෝන් ය. මේ ඈ සමඟ සම්මානිත වීම පිළිබඳව කරන ලද සාකච්ඡාවකි.

තමන් ලියපු පළමු නවකතාව මේ විදියේ ඇගයීමකට ලක්වීම ඔබට දැනෙන්නේ කවර ආකාරයටද?

මේ ඇගයීම මට ලැබුණේ මං ගත්ත වෙහෙසට නේද කියන සිතුවිල්ලත් මා තුළ ඇති වුණා. ඕනෑම කෙනෙක්ට තමන් කරපු දෙයක් වෙනුවෙන් එවැනි ඇගයීමක් ලැබෙද්දි දැනෙන සතුට මටත් ඒ මොහොතේ දැනුණා. ඕනෑම ලේඛකයෙක් සාර්ථක කෘතියක් නිර්මාණය කරන්න විශාල වෙහෙසක් ගන්නවා. මාත් එහෙමයි, මේ කෘතිය නිර්මාණය කරනකොට ඊට අවශ්‍ය ඇතැම් සිද්ධි සම්බන්ධතා ගොඩ නඟන්න විශාල වෙහෙසක් දරන්න වුණා. උදාහරණයකට මං ජ්‍යෝතිෂ විද්‍යාව මේ සඳහා ම හැදෑරුවා. ධීවර ගම්මානයකට ගිහින් ඔවුන්ගේ ජීවන පැවැත්ම අධ්‍යයනය කළා. සමහරවිට ඒ දේවල් මේ කෘතිය තුළ මතු වෙන්නේ වාක්‍යකින් දෙකකින් වෙන්න පුළුවන්. ඒත් ඒකට කිසියම් අධ්‍යයනයක් අපට තිබිය යතුයි. එහෙම නැතුව නිකම්ම හිතට එන දේවල් ලිව්වා කියල ඒක දියුණු සාහිත්‍ය කෘතියක් වෙන්නේ නැහැ. මේ ඇගයීම ‘මකරානන්දය’ට ලැබෙන්න ඇත්තේ ඒ කළ අධ්‍යයන තුළින් කෘතියට ලැබුණු ආලෝකය නිසා කියලයි.

ඔබ මීට ප්‍රථම ලිව්වේ කෙටිකතා. ඒ මගේ තව ඉදිරියට නොගිහින් නවකතාවක් ලියන්න ඕන කියල හිතුනේ ඇයි?

මොකක් හරි වස්තු බීජයක් ලැබුණම ඒක හරියට උල්පතක් පෑදුණා වගේ නිරායාසයෙන් සිතට ගලාගෙන එනවා. ඒ උල්පතේ තියෙන පොඩි ජල ප්‍රවාහය ගලාගෙන යනකොට අපට තව තව අත්දැකීම් ලැබිල ඒ ජල ප්‍රවාහය ගංගාවක් වගේ උස්මහත් වෙනකොට මේක මම විතරක් විඳලා හරියන්නේ නැහැ කියල දැනෙන්න ගන්නවා. එතනදි හිතෙනවා, මේක නවකතාවක් විදියට ගොඩනඟල පාඨකයන් අතරට ගේන්න පුළුවන් නම් හොඳයි කියලා. එතනදි තමයි මං මේක නවකතාවක් විදියට ලියනවා කියලා හිතෙන්නේ. එහෙම නැතිව නවකතා ලියන්න වස්තු බීජ හොය හොය මම යන්නේ නම් නැහැ.

මේ නවකතාව ගත්තොත් සාම්ප්‍රදායක ආරම්භයකින් බැහැරව ගිහිල්ලා වෙනස් විදියේ අභ්‍යාසයකට ඔබ මුල පුරනවා. මේ කතාව ඔබ කියන්නේ සේපාල උපයෝගී කරගෙන.

ඔව්, මං මේ නවකතාව ලියද්දි සාම්ප්‍රදායක ආරම්භයකින් බැහැර වුණා. මේ නව කතාව ආරම්භ වෙන්නේ කෙනෙක් තව කෙනෙක්ට කියන කතාවක් විදියටයි. අනෙක් අතට මේක කියන්නේ ස්ත්‍රියක් නෙමෙයි, පිරිමියෙක්. සාර්ථක ලීවීමකට මනුස්සයකුගේ උගත් නූගත්කම බලපාන්නේ නැහැ. ඒ මනුස්සයාට අත්දැකීම් ලැබෙන ප්‍රමාණය සහ ඒ මනුස්සයා තුළ තිබෙන සතතාභ්‍යාසය, කියැවීම ඒ හැමදේමත් එක්ක ලේඛකයෙක් ගොඩනැගෙන්න පුළුවන්. ඒ අර්ථයෙන් මේ කෘතිය ඇතුළෙ සේපාල අපට මුණ ගැසෙනවා. ඔහු හොඳ අධ්‍යාපනයක් නැති කම්කරුවකු වුණත් එයා ඇතුළේ ලේඛකයෙක් ඉන්නවා. මෙහි ආරම්භයේ වෙනසක් ඇති කරන්න මම මේ චරිතය යොදාගත්තා. ඒවගේම ලේඛකයෙක් ඕනම තැනක හැංගිලා ඉඳල මතුවෙන්න පුළුවන් කියන කාරණාව මට මේ හරහා ඉස්මතු කරන්න ඕන වුණා.

මේ තුළ ඔබ ගොඩනඟන ස්ත්‍රී චරිත හරිම අව්‍යාජයි. විශේෂයෙන්ම රන් මැණිකා. ඈ තුළ සියලු ස්ත්‍රීන් සතු ගුණාංග ඔබ පිටපත් කරනවා.

රන්මැණිකා කියන්නේ නෙල්ලි ගෙඩියක් වගේ චරිතයක්. ඈ තුළ ඔබ කිව්වා වගේ ස්ත්‍රිය සතු හැම ගුණාංගයක් ම තිබෙනවා. ගුණ - අගුණ ; හොඳ - නරක; යහපත්- අයහපත් මේ හැම දේම ඈ තුළ තිබෙවා. ස්වභාවය ගත්තත් අපි හැමෝම එහෙමයි. මේ නවකතාවේ රංහාමි ඇරෙන්න වෙනත් සුදු චරිත අපට හමුවන්නේ නැහැ. කළු චරිතත් නැහැ. හැම චරිතයක් ම අළු චරිත. නමුත් රන්මැණිකා තුළින් මට වුවමණා කළේ සාමාන්‍ය ස්ත්‍රියක සතු ස්වභාවය ඉස්මතු කරන්න. අපි රන්මැණිකා කියන චරිතය අමතක කරල ඇය සතු ගුණාංග විතරක් අධ්‍යයනය කරල බැලුවොත් ඇය ගමකද ඉන්නේ නගරෙකද ඉන්නේ, උපාධියක් අරගෙනද ඉන්නේ, රස්සාවක් කරනවද - නැද්ද, උගත්ද - නූගත්ද මේ කිසිම දෙයක් අදාළ නැහැ. ඇය නියෝජනය කරන්නේ සමස්ථ ස්ත්‍රී ස්වභාවය. ගැහැනිය සතුව පවතින මේ ස්ත්‍රී ස්වභාවය තමාවටා ගොඩනැගෙන පරිසරයත් එක්ක ඕනෑම මොහොතක ඉස්මතු වෙන්න පුළුවන්. අනෙක් අතට මේ සමාජය තුළ කාන්තාවක් වූ නිසාම ඇය කොතරම් දුක්විඳිනවද කියන කාරණයත් මට මෙතනදි ඉස්මතු කරන්න ඕන වුණා. ඒවගේම ස්ත්‍රීභාවය නිසා නැත්තම් ගැහැණු කම නිසා කොයිතරම් දුකට පත්වෙනවද; පිරිමියකුගේ හවුහරණක් නැතිව කොයිතරම් අමාරුවෙන් ඒ දේවල් දරාගෙන ඉන්නවද කියන කාරණාව වගේම මේ හැම දෙයක් ම දරාගෙන නැඟී සිටින්නේ කොහොමද කියන කාරණාවත් මට පෙන්නන්න ඕන වුණා. ස්ත්‍රිය සතු මේ හැම ගුණයක් ම, දෝෂයක් ම රන්මැණිකා හරහා මම ගේන්න උත්සාහ කළා.

මේ කෘතිය ඇතුළේ කතුවරියගේ දෘෂ්ටිය ඩෙනිස් කියන පිරිමි චරිතය මඟින් ප්‍රකාශයට පත් කෙරෙනවා. ඔබ රන්මැණිකා නොවී ඩෙනිස් වුණේ ඇයි?

එතනදි ඩෙනිස් පුරුෂයෙක් වෙන්නේ පද්ම ශ්‍රී පුරුෂයෙක් වන නිසා. මොකද පුරුෂයකුට වඩා ළංවෙන්න පුළුවන් පුරුෂයෙක් විදියට. ස්ත්‍රියකට එහෙම ළං වෙන්න බැහැ කියල මං ඒකෙන් කියන්නේ නැහැ. නමුත් යහළුවෙක් විදියට වඩාත් සමීප වෙන්න පුළුවන් පුරුෂයකුට. සමාන්‍ය සමාජයේ එහෙම ස්ත්‍රී පුරුෂ සබඳතා තිබෙනවා. නමුත් කතාවකට එනකොට වඩා විශ්වසනීයත්වයක් රඳව ගන්න ඕන නිසා මං ඒකට පුරුෂ චරිතයක් ඇතුළත් කළා. ඒ දෙන්නා එකිනෙකාට ප්‍රතිවිරුද්ධ චරිත දෙකක්. නමුත් ඒ දෙන්නව ම මිත්‍රත්වය කියන තැනදි එකම රේඛාවකට මම අරගෙන එනවා. ඒ ස්ථාන ගත කිරීමෙන් තමයි මං ඒ දෙන්නගෙ බැඳිම ගොඩනඟන්නේ. නමුත් ඒ දෙන්නා ඉන්නේ කොන් දෙකක; පන්ති දෙකක.

සම්මාන උලෙළක් පැවැත්තුවම ඒකේ ජූරිය ගැන හැමදාමත් චෝදනා නැඟෙනවා. ඔබ ඒ ගැන හිතන්නේ කොහොමද?

ඒ ජූරි මණ්ඩල ඒ අය කියන විදියට ස්වාධීන ඇති. නමුත් එහෙම ස්වාධීන වීම විතරක් මේ සඳහා සුදුසු කමක් වෙන්නේ නැහැ. ඒ වගේම ඒ අයට කියන්න ලියන්න විතරක් හැකියාව තිබිල වැඩක් නැහැ. ඒ අයට හොඳ රසවින්දනයක් තියෙන්න ඕන කියන එකයි මගේ විශ්වාසය. එහෙම අය ජූරී මණ්ඩලවලට සම්බන්ධ වෙනව නම් ඒක ඉතාම හොඳ තත්ත්වයක්.

Comments