‘නාට්‍ය නිෂ්පාදනය’ ගැන මුල් සිංහල පොත ලියූ පුවත්පත් කලාවේදී ලේඛකයා | සිළුමිණ

‘නාට්‍ය නිෂ්පාදනය’ ගැන මුල් සිංහල පොත ලියූ පුවත්පත් කලාවේදී ලේඛකයා

“ලේඛනය විද්‍යාවකි. කලාවක් වශයෙන් මෙතෙක් ගණන් ගන්නා ලද ලේඛනය විද්‍යාවක් ලෙස මෙහි සඳහන් කරන්නේ මන්දැයි පැහැදිලි කළ යුතුය. ඇත්ත වශයෙන් ම ලේඛනය කලාවකි. සංගීතය, චිත්‍ර කර්මය, නැටුම් ආදිය මෙන් ම එක්තරා පිහිටීමක් අවශ්‍ය කලාවකි. කලාකරුවා වූ කලී අන් කෙනකු අනුගමනය නොකරන කිසියම් ප්‍රමාණයකින් ස්රෛී භාවයක් අති පුද්ගලයෙකි. එවැන්නෙකු තැනෙනවා විනා කිසිවකු තැනිය නොහැකි ය. පිටස්තර කෙනෙකුගෙන් ඔහුට දිය හැකි එක ම ආධාරය නම් ඔහු ප්‍රගුණ කරන කලාව පිළිබඳ මූලික ගුරුහරුකම් පමණ ය.”

අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු හා ලේඛකයකු වූ පියල් වික්‍රමසිංහ මහතා හැටේ දසකයේ ලියූ ලිපියක් ආරම්භ කර තිබුණේ ඒ ආකාරයෙනි. වික්‍රමසිංහ මහතා මේ ලිපිය ලියා තිබුණේ එවකට තිබූ සිංහල ලේඛක සංගමයේ සභාපතිවරයා ලෙස ය.

ලේඛනය විද්‍යාවක් ශිල්පයක් වශයෙන් ගෙන සාර්ථක ලේඛකයකු වීමට අවශ්‍ය ගුරුහරුකම් කිහිපයක් ඒ මහතා නවක ලේඛකයන්ට එම ලිපි‍යෙන් දී තිබිණි.

“කොටින් ම, ලේඛනය සාර්ථක කරගැනීමට නම් එය පුහුණු කළ යුතුම ය. එය නිරායාසයෙන් ම අප තුළ රෝපණය වන තුරු බලා සිටිය නොහැකි ය. අකුරු ලියන්න හා කියවන්න දන්නා ඕනෑ ම කෙනෙකුට ලේඛන විද්‍යාව ප්‍රගුණ කළ හැකි ය. ඕනෑම කෙනකුට දියේ පීනන්නට ඉගෙන ගන්න හැකිය. එමෙන්ම ලේඛන කලාවත් ඉගෙන ගත හැකිය. පීනන්න ඉගෙන ගන්නේ නැතිව පීනන්න බැරිවා මෙන් ම ලේඛනය පිළිබඳ හදාරන්නේ නැතිව සාර්ථක ලේඛකයකු වීමටත් බැරිය.”

වික්‍රමසිංහ මහතා තවදුරටත් කියන ආකාරයට කෙනකුගේ ශරීර ශක්තිය අනුවත් ඕනෑකම අනුවත් දියකට බැස පීනීම කළ හැකි බවත්, එහෙත් සමහර විට එය පිහිනීමකට වඩා දියේ දැඟලිල්ලක් ‍බවට පෙරළෙන බව ය. එසේම කෙනෙකු‍ට ඕනෑ හැටියට ලියන්න පුළුවන් බවත්, එහෙත් එය අනුන්ගේ සිත් ගන්නා ගමන් තමන්ගේ අර්ථ සිද්ධිය ද ඇති කරන්නේ එක්තරා ලතාවක් අනුව ලිවීම කළ හොත් පමණක් බව ද ඔහු කියයි.

පියල් වික්‍රමසිංහ මහතා කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ අතර, ඔහු ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වී සිංහල ඩිප්ලෝමා උපාධිය ලබා 1949 දී “ලංකාදීප” පත්‍රයේ සේවයට බැඳී “ඉරිදා ලංකාදීප” පත්‍රයේ උප කතුවරයා ලෙස කටයුතු කරන කාලයේ සිය ප්‍රථම කෘතිය ලියා ඇත. 1957 වර්ෂයේ ශිෂ්‍යත්වයක් ලබා ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට බැඳී පුවත්පත් කලාව පිළිබඳ නීමන් උපාධිය හිමි කර ගත් අතර එහිදී අතිරේක වශයෙන් ඇමරිකන් නාට්‍ය කලාවත්, ටෙලිවිෂන් නිෂ්පාදනයත් ඉගෙන ගෙන ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් වික්‍රමසිංහ මහතා විසින් “නාට්‍ය නිෂ්පාදනය” නම් ග්‍රන්ථයක් ලිවීය.

වික්‍රමසිංහ මහතා එම ග්‍රන්ථයේ පෙරවදනේ මෙසේ ලියා තිබිණි.

“අප යමෙකුට කලාකරුවකු යයි කියන්නේ ඔහු තුළ කලා කෞශල්‍යයක් තිබෙන නිසා ය. ඔහු තුළ කලාව සම්බන්ධයෙන් සහජ දක්ෂතාවක් තිබෙන නිසා ය. කලාකරුවා තුළ සහජයෙන් පිහිටන්නේ කලාව නොව කලා කෞශ්‍යලයයි. මෙම කලා කෞශල්‍ය සහජයෙන් ඇති වූවකුට මිස වෙනත් අයෙකුට කලාකරුවෙක් විය නොහැකි ය. යමෙකු තුළ කලා කෞශල්‍යය සහජයෙන් ම පිහිටා තිබෙන්නේ නම් එය වැඩි දියුණු කර ගත හැකි මං පෙන්විය හැකි ය. මෙම සංග්‍රහයෙන් අප බලාපොරොත්තු වන්නේ මෙම සුළු කාර්යයි. සහජයෙන් පිහිටා තිබෙන ශක්තියෙන් ප්‍රයෝජනය ගන්න අන්දම පෙන්වා දීම ය. මෙම පොත පිළියෙළ කිරීමට‍ තවත් හේතුවක් වූයේ නාට්‍ය නිෂ්පාදනය සම්බන්ධයෙන් සිංහල බසින් ලියා ඇති අංග සම්පූර්ණ පොතක් නැතිකම ය. එවැනි පොතක් ඇති දැයි මම සැක කරමි. මට නම් දක්නට ලැබුණේ නැත. නාට්‍ය නිෂ්පාදනය පිළිබඳව අත් පොතක්වත් නැතිකමේ පාඩුව මට නොයෙක් වර පෙනී ගියේය. “නාට්‍ය නිෂ්පාදනය” මේ අඩුව පිරවීම සඳහා ගත් තැතක් පමණි.”

මේ අනුව මේ කෘතිය සිංහල බසින් ලියූ මුල් ම පොත බව පෙනේ. ඊට ඉහත ඉංග්‍රීසි භාෂාවෙන් ඊ.ආර්. සරච්චන්ද්‍ර මහතා The Folk Drama of Ceylon කෘතිය 1952 වසරේ ලියා තිබිණි. එම කෘතිය 1966 වසරේ “සිංහල ගැමි නාටකය” නමින් පළ වී ඇත.

ඔහු විසින් ලියූ “පබාවතී” නාට්‍යයේ පෙළ පළ වී තිබිණි. එහෙත් රේඩියෝ නාට්‍ය හා එහි කලාව ගැන ගුණසේන සමාගමේ ලිහිණි පොත් කිහිපයක් පනහ දසකයේ පළ වී ඇත. ඒවා නම් ඊ.ආර්. සරච්චන්ද්‍රගේ “බහින කලාව”, “කලිසමේ වැරැද්ද”, පී. වැලිකලගේ “රේඩියෝ නාට්‍ය කලාව” ය.

වික්‍රමසිංහ මහතාගේ “නාට්‍ය නිෂ්පාදනය” කෘතියේ පරිච්ඡේද 20ක් පිටු 192 පුරා දිවයයි. (1) පෙරවදන (2) ආදී පුවත (3) අදහස (4) නිෂ්පාදකයා (5) නාට්‍ය ‍තේරීම (6) නළු නිළියන් තේරීම (7) රඟපෑම හා වේදිකාව (8) නළුවා (9) නොපෙනෙන නළුවෝ (10) පුහුණුව (11) රඟමඬල (12) වේදිකා සැරසිලි (13) ආලෝකය (14) නළු නිළියන් හැඩ කිරීම (15) නරඹන්නෝ (16) විවේචන (17) ප්‍රචාරය (18) ළදරු නළු නිළියන් (19) පාසැල් නාට්‍ය (20) සංදර්ශන

1961 වසරේ වික්‍රමසිංහ මහතා ‘චිත්‍රා’ නමින් ඒකාංක නාට්‍යයක් පරිවර්තනය කර ඇත්තේ ආධුනිකයන්ට හා පාසල් සිසුන්ට නාට්‍යයක් නිෂ්පාදනය කිරීමට පූර්වාදර්ශයක් සපයමින් බව අපට සිතිය හැකිය. මේ ඒකාංක නාට්‍යය රබීන්ද්‍රනාත් තාගෝර්ගේ “චිත්‍රා” නාට්‍යයකි.

1961 වර්ෂයට යෙදුණ තාගෝර් ශත වර්ෂ සංවත්සරය නිමිත්තෙන් පළ කොට ඇත. තමාට මේ නාට්‍ය ලිවීමට ඔහු පෙලඹුවේ ලංකා තාගෝර් සංගමය බවත් පරිවර්තනය කිරීමේ දී ඇල්.ටී.පී. මංජු ශ්‍රී මහතා හා කෝ‍ට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේ ආචාර්ය ඇල්.ඇම්.වී. ද සිල්වා මහතා බවත් සිහිපත් කර තිබිණි.

පියල් වික්‍රමසිංහ මහතා ද්වි භාෂා උගතෙකි. ඔහු 1924 නොවැම්බර් 29 වෙනිදා ගාල්ලේ ‍කනංකේ උපත ලැබූ බවත් කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේ (අද ජයවර්ධනපුර විද්‍යාලය) ඉගෙන ගන්නා කාලයේ සිටම ලේඛන කලාවට ඇල්මක් දක්වා ඇති බව දියණිය ප්‍රීති පෙරේරා වික්‍රමසිංහ මහත්මිය අපට කීවාය.

“මගේ පියා විවාහ වුණේ පිලානේ පාසලට නේවාසිකව ඉගෙනීමට ගිය වයලා හප්පාවන නම් මගේ මව සමඟ. මම පව‍ුලේ වැඩිමහල් දියණිය. මට බාල නැගණියක් වූ සඳපානි මිය ගිහින්. බාල නැගණිය දර්ශනී ඔස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නේ. මගේ තාත්තා නිශ්ශබ්ද චරිතයක්. අම්මා ටිකක් සැරයි. කිසිදා තාත්තා අම්මා එක්ක රණ්ඩුකර ගත්තේ නෑ. තාත්තා රෑ වෙනකං පොත් කියෙව්වා. ඔහුට අගනා පුස්තකාලයක් තිබුණා. එහි වැඩියෙන් ම තිබුණේ රුසියන් පොත්. ඉරිදා ලංකාදීප පත්‍රයේ විශේෂාංග කර්තෘවරයාව තාත්තගේ ළඟම ගෝලයා වුණේ සිරිපාල තිලකසේන මාමා. ගුණදාස ලියනගේ, කරුණාසේන ජයලත් නිතර තාත්තගෙන් උපදෙස් ගත්තලු. ලංකාදීප කර්තෘ මණ්ඩලයේ සිටින හැමෝගෙම පෞද්ගලික ජීවිතවල ඇති වන ගැටලු විසඳා දී උපදෙස් දුන්නේ තාත්තලු. කරුණාසේන ජයලත් මාමා මා පුංචි කාලේ අපි හිටපු නාවල ගෙදර පදිංචි වෙලා හිටියා. ඒකට හේතුවක් තිබුණා. ජයලත් මාමා ආදරය කළ පසුව විවාහ වූ රූපා නැන්දා පදිංචි වෙලා හිටියේ අපේ ගෙදර ගාව.

“මේ නිසා අම්මයි තාත්තයි ජයලත් මාමාට හුඟාක් උදව් කළා. මගේ තාත්තා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ළඟම හිතවතෙක්. හැම මැයි 01 වැනිදාම අපිව ශ්‍රී ලංකා මැයි දින රැස්වීම් බලන්න එක්ක ගියා. කොටින්ම මැතිනියගේ අත්තනගල්ල ආසනයේ සම්බන්ධිකරණ කටයුතු භාරව හිටියෙ තාත්තා. තාත්තා පොත් ලිව්වට කවි ලියනවා මම දැකල නෑ.”

ප්‍රීති පෙරේරා වික්‍රමසිංහ මහත්මිය විවාහ වී සිටි කපිල පෙරේරා මහතා මහජන බැංකුවේ විධායක නිලධාරියකුව සේවය කොට විශ්‍රාම ගෙන ඇත. කපිල හා ප්‍රීති යුවළගේ එකම පුතු රසික පෙරේරා සුදත් දේවප්‍රිය අධ්‍යක්ෂණය කළ “අඹ යහළුවෝ” ටෙලි නාට්‍යයේ ‘සුනිල් අප්පෝ’ හැටියට ළමා චරිතයක් රඟ පෑවේය. එදා එහි නිමල්ගේ ළමා චරිතය රඟපෑවේ අද සම්මානනීය නළුවකු වන අශේන් මංජුල ය. අපට කපිල හා ප්‍රීති යුවළ සම්බන්ධ කර දුන්නේ ද අශේන් ය. රසික වෘත්තියෙන් තේ රස පරීක්ෂකයෙක්. ඔහු දැන් සවුදි අරාබියේ පදිංචිව සිටී. රසිකගේ පියා කපිල පෙරේරා මහතා බෙල්ලන්විල රජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරත්න හිමියන් හා අපවත්වී වදාළ මහාචාර්ය බෙලන්විල විමලරතන හිමියන්ගේ බාල සොහොයුරෙකි.

අපි නැවතත් පියල් වික්‍රමසිංහ මහතා වෙත හැරෙමු. ඩී.බී. ධනපාල මහතාගේ කර්තෘත්වයෙන් යුතු “ඉරිදා ලංකාදීපයේ” සහකාර කර්තෘ වූ වික්‍රමසිංහ මහතා සමඟ කර්තෘ මණ්ඩලයේ ප්‍රකට පුවත්පත්කලාවේදීහු රැසක් සිටියහ. වී.ඩී. ද ලැනරෝල් ප්‍රින්ස් ගුණසේකර, රත්න දේශප්‍රිය සේනානායක, ආර්. පල්ලේවෙල, ධර්මසිරි ජයකොඩි, මහානාම දිසානායක, ධර්මපාල වෙත්තසිංහ, කරුණාසේන ජයලත්, කේ.එම්. සිරිසේන, විමල් වීරසිංහ, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, පෙරමුණේ තිලක, ධර්ම ශ්‍රී කල්දේරා, මඩවල එස්. රත්නායක, දීගොඩ පියදාස, සිරිපාල තිලකසේන, ගුණදාස ලියනගේ, ඩී. එ‍ෆ්. කාරියකරවන, ගිල්බට් ඩයස්, ජී.එස්. ප්‍රනාන්දු, විමලවීර පෙරේරා, ගුණසෝම සමරසිංහ, සුනිල් හේවගේ, දයානන්ද කුමාරදාස, ධර්මසිරි ගමගේ, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, ඩී.වී. සෙනෙවිරත්න ඒ අතර කැපී පෙනෙයි.

පසු කලෙක වික්‍රමසිංහ මහතා “ඉරිදා ලංකාදීප” පත්‍රයේ ප්‍රධාන කතුවරයා ද වූ බව පැවසේ. ඉන්පසු ‘බජර හටන’ නමින් විකල්ප ප්‍රකාශයකට ඔහුගේ දායකත්වය ලැබී ඇත.

වික්‍රමසිංහ මහතාගේ නි‍ෙවසේ නවාතැන් ගෙන සිටි කරුණාසේන ජයලත් ගැන ගුණදාස ලියනගේ විසින් ලියූ “ගොළුනොවූ හදවත” කෘතියේ මෙසේ සඳහන් වෙයි.

“අඩු ගණනේ රූපා දැක ගැනීමටවත් අවස්ථාවක් නැතිව මහත් හිත් වේදනාවෙන් යුතුව ජයලත් කල්ගත කරන අතර ලංකාදීප කර්තෘ මණ්ඩලයේ පියල් වික්‍රමසිංහ, නුගේගොඩ ඇල්බට් පෙරේරා මාවතේ නිවසක් කුලියට ගෙන සිය බිරිය හා දරුවන් සමඟ එහි පදිංචියට ගියේය. එම නිවස පිහිටා තිබුණේ රූපාගේ නිවසට ඉදිරිපිටින් විහිදුණු පටු පාර යටි පැත්තේ ය. ටික දිනකින් පියල්ගේ නිවසේ නතර වීමට ජයලත්ට අවස්ථාව ලැබුණි. එහි ප්‍රතිඵලය වූයේ රූපාගේ ඡායාව හෝ දැක ගැනීමට ජයලත්ට අවස්තාව ලැබීම ය.

ජයලත් සහ රූපා අතර ප්‍රේම සම්බන්ධයට එරෙහිව පැවති විරෝධතා ඉවත් කොට එම ප්‍රේමය විවාහයෙන් කෙළවරවන තැනට කටයුතු කෙරුණු ප්‍රධානතම මධ්‍යස්ථානය වූයේ පියල් වික්‍රමසිංහ පදිංචිව සිටි කුලී නි‍ෙවසය. ඇල්බට් පෙරේරා ගමන් කර පොඩි වංගුවකින් දකුණට හැරුණු විට වම් පැත්තෙන් හමු වන්නේ සුනන්ද මහේන්ද්‍ර ද මැල්ගේ නිවසය. ඔහු එවකට කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙක් විය. සුනන්දගේ නිවසට අල්ලපු නිවස වූයේ රූපාගේ නි‍ෙවසය. එය ඉදිරියෙන් පියල් පදිංචිව සිටි කුලී නිවෙස තිබුණි. ‘ලංකාදීප’ පත්‍රය මඟින් ලංකාවේ විශිෂ්ට ගණයේ කලාකරුවන් රැසක් හඳුන්වාදීමෙන් ඉමහත් සේවයක් කළ පියල්ගේ නි‍ෙවස නිතරම කලාකරුවන්ගෙන් පිරී තිබිණි. ‘ලංකාදීප’ පත්‍රයේ වැඩ කළ අපි කිහිප දෙනෙක් ද පියල්ගේ නි‍ෙවසට යෑම සිරිතක් කරගෙන සිටියෙමු. ඊට අතිරේකව මංජු ශ්‍රී ප්‍රේමකුමාර එපිටවල, හර්බට් එම්. සෙනෙවිරත්න සහ සුනන්ද මහේන්ද්‍ර එහි දී නිතර වූ අයගෙන් කිහිප දෙනෙකි.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර අපට පැවසුවේ පියල් වික්‍රමසිංහ මහතා තමා විසින් ‘ටිකිරි කතා’ ලංකාදීප හා ‘වනිතා විත්ති’ පත්‍රවල පළ කර දෙමින් ලේඛන කලාවට ඒමට අත හිත දුන් ගුරුවරයා බව ය.

“ඒ කාලයේ පියල් මහත්තයා වොලිබෝල් ක්‍රීඩාවට ඉමහත් සේ ඇලුම් කළා. ‘වොලිබෝල් මඟ’ නමින් මුල්වරට ඒ ක්‍රීඩාව ගැන පොතක් ලියූ ලේඛකයා ඔහු. පියල් මහත්තයා කාඩ් සෙල්ලම් කරන්න අතිදක්ෂ සූරයෙක්. මේ ගෙදරට එන ඊ. ඩබ්ලිව්. අදිකාරම්, රැ. තෙන්නකෝන්, ගුණසේන ගලප්පත්ති, මහින්ද පලිහවඩන, ඇලන්සන් පියදාස, ධර්මදාස කල්දේරා, විද්‍යා පොත් ලියූ කොස්තා, එම්.එම්. ගුණසේකර යන මහත්වරු නිතර ආවා ගියා. සිංහල හා ඉංග්‍රීසි භාෂා එක ලෙස ඉගෙනීමට කුඩා කාලයේ මට ධෛර්යය දුන්නේ ඔහුයි.”

1957 වර්ෂයේදි ශිෂ්‍යත්වයක් ලබා ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට බැඳී පුවත්පත් කලාව පිළිබඳ ‘නීමන්’ උපාධිය හිමි කරගෙන පෙරළා පැමිණි පසු පියල් වික්‍රමසිංහ විසින් “ඇමරිකන් හදවත” නමින් කෘතිය 1960 වසර නිකුත්කරන විට ඔහු “දවස” පුවත්පතේ නියෝජ්‍ය කතුවරයාව සිටියේය. 1960 වසරේ සිංහලයෙන් පළ වුණු අන්තර් ජාතීය අවබෝධය පිළිබඳ පොත්වලින් ඉතාම හොඳ පොත හැටියට එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) විසින් “ඇමරිකන් හදවත” නමැති කෘතියට ත්‍යාගයක් පිරිනමා ඇත. මේ පොත ගැන වික්‍රමසිංහ මහතා 1962 “රිවිදින” පත්‍රයට මෙසේ කියා තිබිණි.

“මේ කෘතිය ඇමරිකාවට ප්‍රශංසා කිරීමට හෝ ඇමරිකාව වර්ණනා කිරීමට ලියන ලද පොතක් නොවේ. ඇමරිකානු ජීවිතය පිළිබඳ හැම අංශයක් ම ඉතා කරුණු සහිතවත් මධ්‍යස්ථවත් මෙම පොතින් විවේචනය කරනවා. මෙය ඇමරිකානු මිනිසුන්ගේ සිතුම් පැතුම් පැවතුම් හා ජීවිතය ද මුල් හා ජීවිතය ද මුල් කරගෙන ලියූ පොතක් මිස ඒ රටේ දේශපාලනය, විදේශි ප්‍රතිපත්තිය, විදේශ ප්‍රතිපත්තිය හා ආර්ථික ක්‍රමය ආදිය මුල් තැන තබා ලියූ පොතක් නොවේ. ඔවුන්ගේ දේශපාලනය, විදේශ ප්‍රතිපත්තිය, සුදු කළු වෙනස්කම (භේදය නොව) ආර්ථික ක්‍රමය ආදිය විස්තර කරන්නේ ඇමරිකානු මිනිසුන් පදනම් කොට ගෙනයි.”

1963 වසරේ වික්‍රමසිංහ මහතා ලියූ “සිතුම් පැතුම්” නම් කෘතියට පෙරවදනක් ලියමින් මෙසේ පවසා ඇත.

“විදේශීය පාලකයන් යටතේ දුක් විඳ යළි යන්තම් නිදහසක් අත් කර ගත් අපේ ජාතිය සුමඟට යොමු කිරීමේ කාර්යය අපට යම්තම් හයහතර තේරුම් කරගන්නට හැකි වූ වයසේ සිට ම හැකි තරමින් කර ගෙන යමු. මේ පොතට ඇතුළත් ලිපි අපගේ එම ව්‍යායාමයේ ප්‍රතිඵලයි.”

මේ කෘතියේ එන “ඉතිහාස පාඩම” නම් ලිපිය ආරම්භ කර තිබුණේ මෙසේය.

“ප්‍රසිද්ධ මහා සභාවක පැවැත්වෙන ගුවන්විදුලි වැඩසටහනකදී සාමාන්‍ය දැනීමේ ප්‍රශ්නයට පිළිතුරු දීමට ඉදිරිපත්වී සිටියේ කාර්යාලයක සේවය කරන වැඩිහිටියෙකි. “දුටුගැමුණු රජුගේ සහෝදරයාගේ නම කුමක්දැයි” යන ප්‍රශ්නය අසන ලදී. ඔහු සිතා බලා උත්තර දුන්නේ “කාවන්තිස්ස” යනුවෙනි. තිස්ස කෙනෙක් තමයි. එහෙත් කාවන්තිස්ස නොවෙයි. කී ප්‍රශ්න විචාරක තව වාරයක් දුන්නේය. උත්තරකුරු නිහඬ විය. තවත් දවසක දී ඈත පුරාණයේ ලංකාව හා ඉන්දියාව අතර වූ සටනක් ගැන මතක් කොට “ඉන්දියාව වෙනුවෙන් සටන් කළේ රාම කුමාරයා ය. ලංකාව වෙනුවෙන් සිටියේ කවුරුන්දැයි” ඇසීය. සිතන්නටවත් වෙලාවක් ගත කළේ නැත. පිළිතුර එක වරටම ආවේය. “හනුමා” යයි බියක් සැකක් නැතිව එකවරම පිළිතුරු දුන්නේ එක්තරා ලිපිකරුවෙකි. අපේ නවීන සිංහල සමාජයේ ඉතිහාස ඥානය මැන ගැනීම සඳහා මේවා හොඳ සාධකයෝය.”

වික්‍රමසිංහයන් කවි නොලියූ බව පවසතත් මේ පොතෙහි එන “සිත හා ගල” අපූරු කාව්‍ය නිර්මාණයක් වැනිය.

(1) හිත

කළු ගලක් තරම් දැඩි විය හැකි නම්

ඒ හිත

ගලකට වඩා

සිය දහස් ගුණයෙකින් දරුණු ය.

(2) ගලකට

සිනාසිය නොහැකි ය.

දුකක් නිසා

අඬා වැලපිය නොහැකි ය.

කෙනෙකු කෙරෙහි

වසඟ වී හෝ

තරහ වී‍ හෝ

වෙනස් විය නොහැකි ය.

(3) එම නිසා ගල

දුකටත් සැපතටත් එක ම ය.

තිරසර ගුණයෙන් යුතුවෙයි.

නිදොස් වෙයි.

(4) ඇගේ සිත ගලකි.

එහෙත් ඒ සිත සැලෙන්නේ ය.

සදොස් වන්නේ ය.

(5) මා වෙනුවෙන් පණ දෙන්නට

ආ හිතක්

මාහෝ පණ ගන්නට තරම්

දැඩි වෙයි

(6) එහෙනම් ඇගේ සිතට ගලක් යයි කීවොත්

එය

ගලට කරන නිගාවකි.

අවමානයකි.

(7) ගලක් ගලමය.

හිතක් හිතමය.

හිතත් ගලත්

කවදා එක් වේද?

කලක් පේෂකර්ම සංස්ථාවේ සාමාන්‍යාධිකාරිව සිටි වික්‍රමසිංහ මහතා 1965 වසරින් පසු හෙක්ටර් අබේවර්ධන රෙජී පෙරේරා සහ ඇස්.පී. අමරසිංහම් මහතුන්ගේ මෙහෙය වීමෙන් ඔහු “ජන සතිය” පුවත්පතේ ප්‍රධාන සංස්කාරකවරයා විය. ඉන් පසු ටී.බී. ඉලංගරත්න මහතා සමඟ එක් වී ඔහු “ජනදින” පුවත්පත සංස්කරණය කළේය.

1993 මාර්තු 13 වෙනිදා අභාවප්‍රාප්ත වන විට ඒ මහතා හැට නවවන වියේ පසු විය. ලෙඩ ඇ‍ඳේ සිට අවසාන වරට සිය සහෝදර පත්‍ර සගයා වූ ලයනල් සරත්ට කියා ඇත්තේ “අද හැම දෙයක්ම ව්‍යාකූලයි. ඒවායින් බේරී කටයුතු කිරීම තමයි අපේ ද වගකීම විය යුත්තේ” කියා ය.

 

ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්

Comments